ශ්‍රී ලංකන් ප්‍රමාදයට හේතුව සල්ලි

1316

ගුවන්යානා 7ක් ගන්න ඉල්ලුවා

ඊයේ ගමන්වාර 7ක් අවලංගු වුණේ නෑ: ප්‍රමාද වුණා – ශ්‍රී ලංකන් සභාපති කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදයට ගුවන්යානාවල අඩුවක් ඇතුළු ගැටලු කිහිපයක් බලපාන බව ශ්‍රී ලංකන් සභාපති අශෝක් පතිරගේ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය.

මේ වනවිට ගුවන්යානා 7ක් ලබාගැනීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බවත්, ඒවා ලබාගැනීම සඳහා මූල්‍යමය ගැටලු මතුවී තිබෙන බවත් ඒ මහතා කීය.

ඊයේ ගුවන් ගමන් 7ක් අවලංගු කිරීමට සිදුවූයේ දැයි ඒ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ගුවන් ගමන් අවලංගු කිරීමක් නොව, ප්‍රමාදයක් සිදුවූ බවයි. ගුවන් ගමන් තුනක් අවලංගු කළ බවත් ඒවා අවලංගු කරන බවට පෙරේදා (26 දා) මගීන් දැනුවත් කළ බවත් ඒ මහතා පැවසීය.

මේ අතර ඊයේ ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගු වීම සහ ප්‍රමාදවීම්වලට ලක්වීම නිසා ගුවන් මගීන් පත්වී ඇති අපහසුතා පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා සිය කනගාටුව පළ කළේය.

කටුනායක මාක්ෆෙඩ් පරිශ්‍රයේ පිහිටි නිල නිවසේ ඊයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සභාපතිවරයා එසේ කනගාටුව පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ අර්බුද රාශියක් පවතින බවත්, ඒ අතර තාක්‍ෂණික ගැටලු, ගුවන්යානා සඳහා අමතර කොටස් හිඟය, සේවක ගැටලු ඇති බවත් පැවසීය.

මෙම ගැටලු විසඳාගැනීම සඳහා තමන් සතුව ද යෝජනා කීපයක් ඇති බවත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග සාකච්ඡා කර මේ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි බවත් අතුල ගල්කැටිය මහතා පැවසීය.

ගුවන්යානා සඳහා ප්‍රවේශ පත්‍ර මාස කීපයකට පෙර අලෙවි කරන බවත්, ඒ අතරතුර හදිසියේම ගුවන්යානයක් කාර්මික දෝෂයකට ලක් වුවහොත්, එම යානයේ ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවන බවත් ඒ මහතා පැවසීය.

ඉන්දියාව, තායිලන්තය සහ මැදපෙරදිග රටවල ගමනාන්ත වෙත ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 06 ක් ඊයේ අවලංගු කර තිබිණි.

එහෙත් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යෑමට ඊයේ නියමිතව තිබූ ගුවන්යානා 07 ක ගුවන් ගමන් අවලංගු කිරීමක් නොව ගුවන්යානා ප්‍රමාදවීමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානි දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය.

ගුවන්යානයක් ප්‍රමාදවීමට කාර්මික දෝෂ සහ වෙනත් රටක සිට පැමිණෙන ගුවන්යානයක් ප්‍රමාදවීම (ඇතැම් මගීන් වෙනත් ගුවන්යානයකින් පැමිණ මෙරටින් වෙනත් රටකට යෑමට සිටීනම්) ඇතුළු කරුණු කිහිපයක් බලපාන බව ද ඒ මහතා කීය.

මේ අතර ගුවන් සමාගමේ තවත් උසස් නිලධාරියකුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන්යානා 27 ක් අවශ්‍ය වුවත් දැනට තිබෙන්නේ ගුවන්යානා 20 ක් පමණක් බවයි. ගුවන්යානයක මීයකු සිටීම නිසා ගුවන්යානය දින 03 ක් රඳවාගෙන පරීක්‍ෂා කළ බවට ගුවන් සමාගමට චෝදනා එල්ල වන බව ද ඔහු පැවසීය.

2021 වර්ෂයේ පැවැති කොවිඩ් තත්ත්වයත් සමග ගුවන්යානා මිල අඩුවී තිබියදී ගුවන්යානා 11 ක් මිලදී ගැනීමට උත්සහ කළ ද කමිටු ඇතුළු විවිධ බලධාරීන්ගේ දෝෂාරෝපනයට ලක්වූ බවත්, එම වකවානුවේ අඩු මිලට ගත හැකිව තිබූ ගුවන්යානාවල මිල මේ වනවිට අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය. දැනට භාවිතයට ගන්නා ගුවන්යානා ද ණය වාරික යටතේ ගත් ඒවා බවත් මෑතකදී ගුවන්යානා මිලදී ගැනීමට උත්සාහ කළත් රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකාවට ගුවන්යානා ලබාදීමට ඇතැම් සමාගම් අකමැත්ත පළ කරන බවත් ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා, ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment