එන්එස්එල් පිටියේ ලකුණු වැසි වසියි

289

තරග දෙකයි ලකුණු 1243යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානත ම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ පෙරේදා පැවැති තරග දෙකේ දී කණ්ඩායම් හතරේ ක්‍රීඩකයෝ ලකුණු 1243ක් රැස් කිරීමට සමත්වී තිබේ.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති එම තරග දෙකේ එක් ඉනිමක ලකුණු සාමාන්‍ය ඒ අනුව 310.75ක් වී ඇත.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර හා යාපනය අතර තරගයේ මුලින් පන්දුවට පහර දුන් මහනුවර පළාත් පිල කඩුලු 7කට ලකුණු 359ක් රුස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ යාපනය ක්‍රීඩකයෝ කඩුලු 9කට ලකුණු 360ක් ලබා ජය වාර්තා කළහ.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කොළඹ පළාත් පිල කඩුලු 9කට ලකුණු 261ක් ලබාගත් අතර, දඹුල්ල පළාත් පිල කඩුලු 7කට ලකුණු 263ක් ලබා ජයග්‍රහණය සනිටුහන් කළේය.

යාපනය පිල ජය මාවතට යොමු කළ ජනිත් ලියනගේ පන්දු 106ක දී හයේ පහරක් හා හතරේ පහර 14ක් සමග ලකුණු 130ක් ලබා ශතකයක් කළේය. මහනුවර පිලේ ළහිරු උදාර, නිරෝෂන් දික්වැල්ල, කමීල් මිෂාර, සහන් ආරච්චිගේ, යාපනය පළාත් පිලේ ළහිරු මධුසංඛ, දඹුල්ල පිලේ පවන් රත්නායක, රනේෂ් සිල්වා, කොළඹ පළාත් පිලේ අවිශ්ක ප්‍රනාන්දු හා තරිඳු රත්නායක අර්ධ ශතක වාර්තා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment