අඹන්වෙල, අඹේපිටිය සහ විතානාච්චි

1040

(දූෂණයට එරෙහිව පරලොව ගිය මිනිස්සු)

මීට අවුරුදු 22ට පමණ පෙර ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විගණන නිලධාරියකු වූ ලලිත් අඹන්වෙල මහනුවර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විගණනයක් සඳහා යෑමට මහනුවර නගරයේ පයින් ගමන් කරමින් සිටියේය. පරණ හම් බෑගයකුත් ඔසවාගෙන බලවත් කල්පනාවක නිමග්න වී යමින් සිටි ලලිත් අඹන්වෙලට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මහනුවර නගරය මැදදීම ඇසිඩ් ගසන ලදි. මේ ප්‍රහාරය එල්ල කර තිබුණේ ලලිත් අඹන්වෙල මේ වෙලාවේදී විගණනය කරමින් සිටි වංචාවක් පිළිබඳ සිද්ධියකට වගකිවයුතු වූ රජයේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවන ලද දාමරික කොන්ත්‍රාත්කාරයන් පිරිසකි. බිම ඇදවැටුණු ලලිත් අඹන්වෙල වහා රෝහලට ගෙනයන ලදි. ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම පිළිස්සී තිබුණ අතර එක ඇසක් අන්ධවී තිබිණ. දිගු කාලයක් රෝහලේ සිටි ලලිත් අඹන්වෙල ඉතිරි මුළු ජීවිත කාලයම දුකසේ ගතකර මීට දෑඅවුරුද්දකට පෙර මියගියේය. අඹන්වෙලට ඇසිඩ් ගැසීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් හත්දෙනකුට සිද්ධියෙන් වසර 10කට පසු සිරදඬුවම් ලබාදෙන ලදි. මෙයින් ඇතැමෙක් 10 අවුරුද්දකට හිරේ ගියේය. තවත් කිහිප දෙනෙක් විසි අවුරුද්දකට හිරේ ගියේය. පසු කාලයේදී අතිරේක විගණකාධිපති ධුරයට උසස් කෙරුණු නමුදු ලලිත් අඹන්වෙලට හරියාකාරව වැඩක් කරගැනීමට ශක්තිය තිබුණේ නැත. එහෙත් ඉතා අමාරුවෙන් හැමදාම වැඩට පැමිණි ඔහු තම සේවය ඉටු කළේය. අඹන්වෙල මියයන්නේ විශ්‍රාම යෑමටත් පෙරය. කෙසේ වුවද ඔහුගේ ව්‍යායාමය නිසා මහනුවර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විශාල හොර ගුහාවක් බව හෙළිවිය. මේ සිද්ධිය සමාන වන්නේ හිරේ සිටි පොට්ටු නවුෆර් විසින් සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුතුමා මැරවීමට ය. පොට්ටු නවුෆර්ගේ කුඩු නඩුවට විනිසුරු ලෙස සරත් අඹේපිටිය කටයුතු කළේය. විනිසුරු මේ නඩුව අසාගෙන යන විධියට තමන්ට එල්ලුම්ගස් යෑමට සිදුවන බව තේරුම් ගත් පොට්ටු නවුෆර් එළියට කොන්ත්‍රාත් එකක් දී විනිසුරුතුමා මැරවීය. දූෂිත ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින රටවල රජයේ සේවකයන්ට තෝරාගත හැකි මාර්ග දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් වංචනික ජාවාරම්කරුවන්ට අවනත වීමය. දෙවැන්න, වංචනික ජාවාරම්කරුවන්ට විරුද්ධ වීමය. පළමු අවස්ථාවේදී ජාවාරම්කරුවන් සමග එක්ව වැඩකර තමනුත් ගණනක් සාක්කුවේ දාගෙන කොයිවෙලේ හෝ කේස් එකක් ෆයිල්වී හිරේ යනතුරු ජීවත් වීමට රජයේ සේවකයාට පුළුවන. දෙවැනි අවස්ථාවේදී ජාවාරම්කරුවාට විරුද්ධව ගොස් වෙඩිකා මිය යෑමට රජයේ සේවකයාට පුළුවන. සරත් අඹේපිටිය විනිසුරුතුමාට වෙඩි තැබීමෙන් පසු කොවිඩ් සමයේදී පොට්ටු නවුෆර්ට කොවිඩ් වසංගතය විසින් මරණ දඬුවම දෙන ලදි. මෙතැන් සිට අප කීමට අපේක්‍ෂා කරන්නේ මේ රටේ රජයේ සේවකයා මුහුණපා සිටින බලගතු අන්තරාව ගැනය.

කරන්දෙණිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂණ කටයුතුවල යෙදෙමින් සිටි රොෂාන් විතානච්චිට පසුගිය 26 වැනිදා ගෙදරටම පැමිණ වෙඩි තබන ලදි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වූ හෙතෙම මහජනයාට නුසුදුසු විස සහිත ආහාර අලෙවි කරන අයට එරෙහිව දැඩි ලෙස කටයුතු කළ කෙනෙකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පරීක්‍ෂකවරු සියලු දෙනා පාහේ මේ දිනවල වැටලීම්වල යෙදී සිටිති. හෝටල්වලට, කඩ සාප්පුවලට පමණක් නොව නම් දැරූ සුපර් මාර්කට් සහ කෙටි ආහාර විකුණන ආයතනවලට කඩා පනින ඔව්හු කල් ඉකුත් වූ සහ විස සහිත ආහාර අත්අඩංගුවට ගනිමින් ද අදාළ වෙළෙඳසල් සීල් කරමින් ද විශාල පෙරළියක් කරමින් සිටිති. මෙවැනි සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කිහිප දෙනෙක් පසුගියදා ලංකාවේ ඉහළම පෙළේ කෙටි ආහාර සැපයුම් ආයතනයට කඩා පැන එහි තිබූ කල් ඉකුත් වූ ආහාර තොගයක් අත්අඩංගුවට ගෙන අදාළ සමාගමට එරෙහිව දඩයක් ද පැනවීය. දේශබන්ධු තෙන්නකෝන්ගේ සහ ටිරාන් අලස්ගේ යුක්තිය මෙහෙයුම නිසා මේ රටේ කුඩු ජාවාරම්කාරයා අනාථ වී සිටින්නේ යම් සේද සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මෙහෙයුම් නිසා ජාවාරම්කාර හෝටල්කාරයෝ ද අනාථව සිටිති. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රොෂාන් විතානච්චි විස සහිත ආහාර ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා විශාල පරිශ්‍රමයක යෙදුණු කෙනෙකි. ඔහු පසුගියදා රෝස බොම්බයි මොටයි තහනම් කළේය. එහි ඇති වර්ණකාරකය පිළිකාකාරකයක් බව ඔහු හෙළි කළේය. මේ නිසා ආහාර සඳහා එම වර්ණකාරකය පාවිච්චි කළ ජාවාරම්කරුවන් විශාල පිරිසක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විතානච්චි සමග වෛරයෙන් සිටින්නට ඇති. මේ අතර බහුජාතික ආයතනයක විස සහිත රසකාරක ගණනක් ගැන හෙළි කිරීමට ද ඔහු සූදානමින් සිටියේය. ඔහු වෙඩි කන්නේ ඒ සම්බන්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානමින් සිටියදීය.

මෙවැනි වෙඩිතැබීම්වලින් රජයේ සේවකයන් ඉදිරියට තැබූ දූෂණ විරෝධී පියවර ආපස්සට ගැනීමට ඉඩ තිබේ. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා යනු ජනතාවගේ ආහාර ජීර්ණ පද්ධතිය වෙනුවෙන් වගකීමට රජය පත්කළ සුවිශේෂ පිරිසකි. අපට වස කන්නට දීම, පිළුනු වූ ආහාර කන්නට දීම යනාදිය වැළැක්වීමට මේ මිනිස්සු ඉදිරිපත්ව සිටිති. රොෂාන් විතානච්චි ඝාතනය කරන ලද්දේ කවරකුගේ කොන්ත්‍රාත්තුවකට ද යන්න හෙළිකරන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. අලුත් පොලිස්පතිතුමා සුපුරුදු ලෙස මේ ගැන දැඩි අවධානයකින් කටයුතු කරනු දැකීම අපගේ පරම අභිලාෂය වේ. රජයේ සේවකයන්ට අඩන්තේට්ටම් කරන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහාත් මෙම අපරාධකරුවන්ට දඬුවම් දීම සඳහා වෙනම කාර්යසාධක බළකායක් පත්කරන ලෙස අපි රජයෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment