රටට අවැසි මානව පේ‍්‍රමය

497

ලෝක ආදරවන්තයන්ගේ දිනය පෙරේදා (පෙබරවාරි 14) ට යෙදී තිබිණි. තම ආදරයේ උත්කර්ශය පෙන්වීම සඳහා මෙදින පෙම්වතුන් පෙම්වතියන් භාවිතා කළ ද ‘ආදරය’ යන උත්තරීතර සංකල්ප දිනකට පමණක් සීමා කළ හැකි ද යන්න ප‍්‍රශ්නයකි. එහෙත් පුරුද්දට මෙන් ලෝක ආදරවන්තයන්ගේ දිනය පෙරේදා සැමරුවාක් මෙන් ලබන වසරේ පෙබරවාරි 14 වැනිදා ද සමරනු ඇත.

අද වන විට ලෝකයේ බොහෝ රටවල් කොරෝනා උවදුර නිසා පීඩා විඳින්නේය. චීනයේ වූහාන් නුවරදී උප්පතිය ලැබූ කොරෝනාව නිසා ලොවට අහිමි වූ ජීවිත ගණන 5,847,698 ඉක්මවා තිබේ. කෙසේ වෙතත් කොරෝනා රෝගය වැළඳී යළි සුවය ලැබූවන්ගේ ප‍්‍රමාණය ද 336,629,716 ඉක්මවා ගොස් ඇත. මේ සියලූ දෙනා ජීවත් වන්නේ ඔවුන්ගේ ආදරණීයයන් මෙන්ම ලොව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු නිලධාරීන් කළ කැපකිරීම් නිසාවෙනි. රාජකාරිය ඉක්මවා ගිය මානව පේ‍්‍රමයක සුවඳ මේ සියලූ ජීවිත ගලවා ගැනීම් තුළ තිබෙන බව අපේ විශ්වාසයයි. කොරෝනා රෝගියකුට උවටැන් කිරීම මෙන්ම ප‍්‍රතිකාර කිරීම ද එකසේ අවදානම්ය. එහෙත් මේ සියලූ අවදානම් දරාගෙන මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කැපවුණු සියලූ දෙනා ආදරණීය මිනිසුන් බව අප මොහොතකටවත් අමතක කළ යුතු නැත.

අද මුළු ලෝකයටම මෙන්ම අප රටට ද අවශ්‍ය මානව දයාවෙන් පිරි මිනිසුන්ය. අද අප රට දුර්වල රාජ්‍යක් බවට පත්ව ඇත්තේ එවැනි මානව දයාවෙන් පිරි මිනිසුන් අඩු නිසා බවට සැකයක් නැත. තම තමන්ගේ බඩ වඩා ගැනීම, තම තමන්ගේ මඩිය තරකර ගැනීම විනා රටක් ලෙස අප එකට ගොඩයන්නේ කෙසේ ද සිතන මිනිසුන් අපේ රටේ දුලබය. විශේෂයෙන් දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ එවැනි ආදරණීය මිනිසුන් සිටියා නම් අද අප හිඟාකන රටක් බවට පත්වන්නේ නැත. ඩොලර් සංචිත හිඟය, ගෑස් ප‍්‍රශ්න, කිරිපිටි ප‍්‍රශ්න, අහස උසට නගින බඩු මිල, එනිසාම අසරණ වන මිනිස් ජීවිතවල ප‍්‍රතිඵල අහම්බයක් නොවන සක්සුදක්සේ පැහැදිලිය. අප රට සංවර්ධනය කිරීමට යැයි කියා ගත් ණය කන්දරාව සැබෑ ලෙසම අප රටේ සංවර්ධනය පිණිස යෙදවූයේ නම් අප රටට මෙවැනි කලක් යන්නේ නැත. මෙතෙක් අප රට පාලනය කළ සියලූදෙනා මීට අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.

රටක් ලෙස ගත් විට අපට ස්වභාවික සම්පතින් කිසිදු අඩුවක් නැත. වර්ෂය පුරා හොඳින් හිරු එළිය ලැබේ. කලට වේලාවට වැසි වසී. රට වටේ අගනා මුහුදු සම්පතක් තිබේ. මේ කිසිදු සම්පතක් දීර්ඝකාලීනව අපේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂ්‍යය කර ගැනීමට කවුරුවත් සමත් වී නැත. ඊටත් නොදෙවැනි අගනා මානව සම්පතක් අප සතුය. එය නිසිලෙස රටේ සංවර්ධනය පිණිස කළමනාකරණය කර ගැනීමට අප සමත්ව නැත. එනිසා අප රටේ සියලූ දේශපාලන පක්‍ෂත්, උගත් වියත් පරපුරත් එක්ව අප රට සශී‍්‍රකත්වය කරා ගෙනයන ගමන දැන්වත් ඇරඹිය යුතුය. අඳුරට සාප කිරීමෙන් පලක් නොමැත. මේ මොහොතේ පටන් හෝ අපේ උතුම් මාතෘ භූමිය වැටී ඇති නරාවළෙන් ගොඩගැනීම සඳහා අවැසි සියලූ ශක්තීන් එක මිටකට ගොනු කළ යුතු කාලය එළැඹ ඇත. සුරංගනා දේශපාලන කතාවලින් පමණක් මේ රට යළි නගාසිටුවිය නොහැක. ඒ සඳහා අප රට මුහුණපා ඇති අර්බුදයේ යථාර්ථය නිසි ලෙස අවබෝධ කරගෙන ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් රටට අවශ්‍යව තිබේ. පක්‍ෂ විපක්‍ෂ, පාට භේද සියල්ල අත්හැර අප රටේ ආදරණීය මිනිසුන්ගේ ජීවිත ගොඩගැනීමේ උතුම් වැඩපිළිවෙළට අපි නොපමාව යා යුතුව ඇත. දේශපාලනය නිසා අප රටේ ජනතාව පීඩාවට පත්වූ යුගය අවසන් කළ යුතුය. විවිධ බලධාරීන් සහ නිලධාරීන් නිසා අපේ රටේ ජනතාව අසරණ කළ යුගය නිමා කළ යුතුය. ඒ සියල්ල කළ හැකි බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. ඒ සඳහා අවැසි මානව පේ‍්‍රමය ගොඩනගා ගැනීමට සියලූ දෙනාටම මේ උතුම් නවම් පොහෝ දින පින්බර සිතුවිලි පහළ වේවා යැයි අපි මෙත් සිතින් ප‍්‍රාර්ථනා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment