එදා තෙල් නැවක් එනතුරු බලා සිටියා – ලංකාව අද ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂාවට නැව් යවනවා – ජනපති

236

රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක්වෙන බවත්, තෙල් නැවක් එනකම් බලාසිටි රට දැන් නෞකාවලට ආරක්ෂාව ලබාදීමේ තත්ත්වයට පත්ව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ඊයේ (08 දා) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැයවන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත් නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදුවන බව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ. රතු මුහුදට ලංකාවේ යුද නැව් යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සැපයීමට මිසක් රාජ්‍යයන් අතර ඇතිව තිබෙන යුද්ධයකට සහායදීමට නොවන බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත.

තම රටවලට එන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සැපයීමට කලාපයේ අනෙකුත් රටවල් ද මේ වනවිට ඉදිරියට පැමිණ තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වාදී ඇත. හුතී සටන්කාමීන් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මගහැර වෙනත් මාර්ග භාවිතා කිරීම නිසා නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇති බව පැවසූ ජනාධිපතිවරයා නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නම් දකුණු අප්‍රිකාව වැනි රටවල් දෙසට ගොස් ඒමට සිදුවුවහොත් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමට ඉඩ ඇති බවද පවසා තිබේ.

මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මගබලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

හුතී සටන්කාමීන්ගේ වැඩ කටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහායදීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පවසා ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment