දීඝවාපියේ ධාතූන් වහන්සේ හා චූඩා මාණික්‍යය කැලණියේදීත් වැඳපුදා ගන්න අවස්ථාව

251

දීඝවාපිය මහා සෑ රඳුන් ප්‍රතිසංස්කරණය කර එහි සර්වඥ ධාතූන් වහන්සේ සහ චුඩා මාණික්‍ය නැවත තැන්පත් කිරීමට පෙර සැදැහැවතුන්ට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ පියවර ගෙන ඇත.

ඒ අනුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 29 වැනිදා පස්වරු 04.00ට කැලණි රජමහා විහාරයෙන් එම සර්වඥ ධාතූන් වහන්සේ සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශනය කිරීම ආරම්භ වෙයි.

නිකිණි මස පොහෝය දින (30 දා) සිට සැප්තැම්බර් 30 වැනිදා තෙක් කැලණි රජමහා විහාරයේ දී මහජනතාවට දැක බලා වන්දනාමාන කළ හැකිය. අනතුරුව දිවයින පුරා දින 150 ක කාලයක් සැදැහැවතුන්ගේ වන්දනාමානයට වැඩම කරවීමට නියමිතය.

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පූජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය පුදබිම වන්දනීයත්වයට පත්ව තිබේ. බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේ තැන්පත් කිරීමෙන් පසුකාලීනව රජ වූ සද්ධාතිස්ස රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.

විවිධ ආක්‍රමණ හමුවේ හානියට පත්ව ඇති මෙම මහා සෑ රදුන් පෙර තිබූ ශ්‍රී විභූතියෙන් දැක ගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

දීඝවාපි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කිරීම් කටයුතු අතරතුර දකුණු මල් ආසනය ආසන්නයෙන් හමූ වූ ගල් කරඬුවක් තුළ රන් කරඬු 04 ක බහා නිධන් ගත කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේ මෙලෙස වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙම ධාතූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වන්සේගේ ධාතූන් වහන්සේ බවත්, පෙර රජ දවස රජකම් කළ කනිකතිස්ස රජතුමා විසින් මෙම කරඬුන් වහන්සේ සාදවා නිධන් කර ඇති බවත් කරඬුන් වහන්සේ සොයා ගන්නා අවස්ථාවේ ඒ අසල තිබී හමුවූ රන්පත් තීරුවක සටහන් කර තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment