එක්දින වර්ජනයෙන් දේශීය ආදායම් වැඩ නවතී

75

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊයේ (17 දා) දියත් කළ එක්දින වැඩ වර්ජනය නිසා දෙපාර්තමේන්තුවේ සියලු වැඩ කටයුතු අඩපණ වූ බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා ඊයේ (17 දා) ‘දිවයින’ට පැවසීය.

මේ වැඩ වර්ජනයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සියලුම නිලධාරීන් සහ ප්‍රාදේශීය කාර්යාල 16ක නිලධාරීන් එක් වූ බව ද උදයසිරි මහතා කීවේය.

නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම, බදු නිෂ්කාශන වාර්තා නිකුත් කිරීම, බදු විගණන කටයුතු සහ ක්ෂේත්‍ර සමීක්ෂණ කටයුතු ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම වැඩ කටයුතු මේ නිසා අඩපණ වූ බවත් මේ සඳහා ප්‍රතිචාරයක් නොලදහොත් ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ගවලට යොමු වන බවත් ඒ මහතා කීවේය.

රජය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බදු ඉලක්ක සපුරා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස අවස්ථා ගණනාවක දී මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගෙන් ඉල්ලීම් කර තිබුණත් එයට තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මේ එක්දින වැඩ වර්ජනය සිදු කළ බව ද මේ වර්ජනයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලුම වෘත්තිය සමිතිවල සාමාජිකයින් තුන්දහසක් පමණ සහභාගි වූ බව ද දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා ඊයේ තවදුරටත් ‘දිවයින’ට කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment