“උඹව යට කරලා මරනවා” – ට්‍රැෆික් රාළහාමිට පාට් එකදැමූ කොන්දොස්තර 9 දක්වා රිමාන්ඩ්

939

“උඹව යට කරලා මරනවා අනිවාර්යයෙන්ම” යැයි වැලිකඩ පොලිසියේ රථ වාහන රාජකාරියේ… නතව සිටි පොලිස් නිලධාරියකුට මරණ තර්ජන කළ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයා ඊයේ (02 දා) අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

මෙම සිද්ධියේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ වනවිට සංසරණය වෙමින් පවතින අතර, මේ ගැන ද සමාජය තුළ දැඩි කතාබහක් ද මතුව තිබේ.

රාජගිරිය ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි වැලිකඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අදාළ සැකකරුගේ තර්ජනය කිරීම්වලට ලක්ව තිබුණේ 31 වැනිදා පස්වරුවේ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

පසුව මේ පිළිබඳව විමර්ශනය කර සැකකාර රියැදුරු මහරගම, නීලම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත අතර ධාවනය වන බස් රථයක් ප්‍රධාන මාර්ගය අවහිර වන ආකාරයෙන් නතර කිරීම නිසා දඩ පත්‍රිකාවක් අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් නිකුත්කර තිබේ. ඒ අවස්ථාවේ උරණ වූ සැකකාර කොන්දොස්තර, පොලිස් කොස්තාපල්වරයාට මෙලෙස තර්ජනය කර තිබේ.

“දඩ ගහන එක ලොකු දෙයක් නොවෙයි, පාරේ ඉන්න එපා, යටකරලා මරනවා උඹව අනිවාර්යයෙන්ම. මගේ නම දිල්ෂාන්. යුනිෆෝම් එකට ගරුකරලා සලකලා යවන්නෙ උඹව. නැත්නම් මම ගහනවා උඹව උස්සලා පොළොවේ” යනුවෙන් සැකකරු තර්ජනය කරන ආකාරය වීඩියෝ දර්ශන තුළින් මනාව දකින්නට ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

44 හැවිරිදි සැකකාර කොන්දොස්තරවරයා ඊයේ (02 දා) කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නෝමන් පලිහවඩන සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment