අතීතය අනාගතය යා කරන මහපොළොවේ යථාර්ථය එල්ලංගාව

687

එල්ලංගාවක් යනු කුමක්ද ඇත්තටම එල්ලංගාවෙන් සිදුවූයේ කුමක්ද ?

එල්ලංගා යන වචනය නූතන පාරිභාෂිතයට එක්කළ ආචර්ය යූ. බී. තෙන්නකෝන් මහතා එල්ලංගා පිළිබඳව මෙසේ විස්තර කරයි.

“එල්ලංගාවක් කියලා කියන්නේ කුඩා නිම්නයක මුදුනේ ඉඳලා පහළට ගලා යන දියපාරක් හරහා බැඳපු වැව් සමූහයක් තියන කුඩා ප්‍රදේශයක්. මේ එල්ලංගාවේ ප්‍රධාන ඇල හා සම්බන්ධව ඇළවල් තියනවා නිම්න හරහා ගලා එන. ඒවා හරහා බැඳපු කුඩා වැව් තියනවා. ශාකීය හෙවත් ගහක අත්තක් වගේ, වලයාකාර, රේඛීය හා අවානාකාර වශයෙන් එල්ලංගා වර්ග 4 ක් විතර අපි හඳුනාගෙන තියනවා සහ තව හඳුනාගන්නත් තියෙනවා. අපිට එල්ලංගාවක භෞතික ලක්ෂණ ගැන දැනගන්නවා වගේම අපිට මේ හා බැඳුණු සමාජ, සංස්කෘතිය හා ආර්ථික සහසම්බන්ධය පිළිබඳව දැන ගැනීම වැදගත් වෙනවා.”

අතීතය අනාගතය යා කරන මහපොළොවේ යථාර්ථය එල්ලංගාව

තවද 2018 අප්‍රේල් 17 වැනි දින මෙම එල්ලංගා සංකල්පය ලෝක කෘෂිකාර්මික උරුමයක් බවට පත් කරන්න මූලික වූ ආචාර්ය පී. බී. ධර්මසේන මහතාගේ අදහසට අනුව ඔහු විසින් ප්‍රකාශ කර සිටින්නේ – ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ පුරාතන අවධියේ ඉඳලා අපිට තිබුණ දෙයක් බවත් මේ කුඩා වැව් යනු අප රටට අවේණික විධියට හැඩ ගැහුනා වූ වැව් පොකුරු වශයෙනි. මේ පොකුරු හැදෙන්න බලපෑ දේශගුණය, පස හා භූ රූපණය ආදී සාධක නිසා මෙම වැව් පොකුරු හැදෙන නිෂ්චිතව සංවිධාන ක්‍රමයක් තිබුණු බවත් අපි දැන් එයට එල්ලංගා පද්ධති නමින් ආමන්ත්‍රණය කරන බවය.

අතීතය අනාගතය යා කරන මහපොළොවේ යථාර්ථය එල්ලංගාව

අතීතයේ සිටම අප රට තුළ ජල කළමනාකරණ මූලධර්මය මනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණු බවට එල්ලංගා පද්ධතිය මනාව සාක්ෂි සපයයි.

වැසි ජලය කළමනාකරණය කරමින් සමස්ත ජීවයේම අවශ්‍යතාවය සැපයීම සඳහා එල්ලංගාවෙන් සිදු වූ කාර්ය දෙස අවධානය යොමු කිරීමේදී අපට එහි වූ විශේෂිත අංග කෙරෙහි අවධානය යොමුකළ යුතුයි.

අතීතය අනාගතය යා කරන මහපොළොවේ යථාර්ථය එල්ලංගාව

එල්ලංගා පද්ධතියක් තුළ ප්‍රධාන වශයෙන් වැව් වර්ග කිහිපයක් දැකිය හැකිය. පද්ධතියේ ඉහළින්ම ඇති වැව කුළු වැව වන අතර එය බොහෝවිට පවතින්නේ වනය තුළ වේ. විශේෂයෙන් වන සතුන්ගේ ජල අවශ්‍යතාවය මෙමගින් සැපිරෙන අතර ජල පෝෂක සංරක්ෂණය සෘජුවම සිදුවේ. වනයේ සිටින අලි ඇතුන්ගේ ජල අවශ්‍යතාවය මෙම කුළු වැව් මගින් සපිරෙන බැවින් වතුර සොයා වන අලි ගම් වැදීම මෙමගින් පාලනය වේ. ඊට පහළින් ඔලගම් වැව්, කායන් වැව් ආදි වැව් ඇති අතර එල්ලංගා පද්ධතියේ අවසාන වැව මහ වැව වේ. මහ වැවට ඉහළින් ඇති ආසන්නම වැව ඉහළ වැව ලෙස හඳුන්වයි.

එල්ලංගා පද්ධතියේදී මේ සෑම වැවක් සඳහාම සුවිසේෂී වූ කාර්යක් පැවරී ඇත. විශේෂයෙන් මෙම වැව් පද්ධතිය තුළ ඇති වැව් අතුරින් වනය තුළ ඇති කුළු වැවට කුඹුරු යායක් නොමැති අතර පහළින් ඇති කායන් වැවටද කුඹුරු යායක් නැත. මෙම කායන් වැව සුවිශේෂී වන්නේ එයට ඉස්මත්තේ හේන් වගා කිරීමයි. අතීතයේදී එල්ලංගා පද්ධතිය තුළ හේන් වගාව සඳහා සවිශේෂී කලාපය තෝරාගත් අතර වැසි සමයේදී වැහි වතුර සමග සෝදා එන පස් මහවැවට එක්වීම කායන් වැව හරහා වැළකේ. එනම් කායන් වැව ස්වභාවික පෙරණයක් ලෙස ක්‍රියාකරයි.

මහ වැවට ජලය පෙරෙන තවත් එක් අංගයක් වන්නේ වැව ඉහත්තෑවේ පිහිටා තිබෙන පොකුණක ආකාරයේ වූ ගොඩවලයි. මෙහි මූලිකම කාර්යය වන්නේ ඉහළ සිට ගලා එන ප්‍රධාන ජල මාර්ග හෙවත් දියමං මේ හරහා ගමන් කිරීමට සලස්වා වැවට එන රොන්මඩ මෙම වළ තුළ තැන්පත් කර ගැනීමයි. විද්‍යානුකූලව මැටි අංශුවත් පැය 7 කුත් විනාඩි 43 ක කාලයක් නිශ්චලව පවත්වා ගත හැකි නම් එය ස්ථානයේ තැන්පත් වන අතර අප පැරැන්නන් එම මූලධර්මය මේ සඳහා අනුගමනය කර ඇත. වැව ඉහත්තාවේ මෙවැනි ස්ථානයක් ස්ථාපනය කිරීම තුළින් වන සතුන්ට ජල අවශ්‍යතාවයන් සඳහා වැවට පැමිණීමට අවශ්‍ය නොවන බැවින් එම සතුන් නිසා වැවේ ඉවුරු භායනයද වැවට සත්ව මල මුත්‍රා වැනි දේ එක්වීම ආදිය අවම කරගත හැක. බැර ලෝහ මෙන්ම ලවණ උරාගන්නා කුඹුක් වැනි ශාක මේ ආශ්‍රිතව වගා කිරීම තුළින් වැව් ජලය දූෂණය වීමද වළක්වාගත හැක.

අතීතය අනාගතය යා කරන මහපොළොවේ යථාර්ථය එල්ලංගාව

වැව් තාවුල්ල ද වැවට ගලා එන ජලය පිරිසිදු කිරීමේහිලා මහඟු කාර්යක් සිදුකරයි. වැවේ ජලය රඳා පවත්නා සීමාවට ඉහළින් ඇති ප්‍රදේශය වැවේ තාවුල්ල වන අතර එහි කෙළවර පන්, කටු කීරිය, ඉකිරිය, කංකුන් වැනි ජලජ ශාකවලින් බහුල වගුරු බිමක් ලෙස පවතී. එහි ප්‍රධාන කාර්ය වූයේ වැවට ගලාගෙන එන ජලයේ අඩංගු අහිතකර පස් අංශු, කාබනික ද්‍රව්‍යවල බැර ලෝහ වැනි දේ කුඩා කාලයක් රඳවා තබා ගැනීමයි. එමෙන්ම කාබනික ද්‍රව්‍ය, පස් අංශු සමග මේ බැරලෝහ ගැටීමේදී බැරලෝහ එම අංශු සමග බැඳී මෙහි තැන්පත් වීම සිදුවේ. මෙහි වැවෙන ශාක ඉතා වේගයෙන් බැර ලෝහ උරා ගන්නා විශේෂ වන හෙයින් මෙහි වැවෙන දෑ ආහාරයට ගැනීම නුසුදුසු නමුත් මේ හරහා ජලය ගලාගෙන පැමිණීම තුළින් වැවට බැර ලෝහ අහිතකර සංඝටක මෙන්ම පාංශු අංශු එක්වීම වැළකෙයි.

ගස්ගොම්මන, වැව් තාවුල්ලේ ඉහත්තෑවේ එකිනෙකට යා වෙමින් පවතින වන ගහනය මේ නමින් හඳුන්වයි. මෙය වැව් වතුර වාන් දමන කාලයේ පමණක් ජලයට යටවන කොටසයි. මෙහි කුඹුක්, නබඩ, තිඹිරි, මී, මයිල, දං වැනි ශාකද කලවැල්, බොකල වැල් වැනි වැල් වර්ගද දැකිය හැක. මේ ශාකවල මුල් එකිනෙකට යාවී වැවට ඉහළින් පවතින ගොඩ බිම්, හේන් හරහා පැමිණෙන රොන් මඩ සඳහා නැවතත් බාධකයක් සපයන අතර වාන් දමන කාලයේදී මසුන් බෝවන ස්ථාන ලෙසද ක්‍රියා කරයි.

එමෙන්ම වැව ඉහත්තාවේ මෙසේ ගණව සෑදුනු ගස් වැටිය මගින් වියළි කලාපයේ ඉතා ඉහළ අගයක් ගන්නා ජල වාෂ්පීකරණය (6-12 පක/ා්හ) සඳහා ද හොඳ සුළං බාධකයක් ලෙස ක්‍රියා කරයි. මේ ගස්ගොම්මනට පහළින් පිහිටා ඇති ගණව වැඩුණු තණ පිට්ටනිය පෙරහන නමින් හඳුන්වන අතර මෙය ඉහත්තාවේ වගාකරන හේන් බිම්වලින් පැමිණෙන රොන් මඩ සහිත ජලය වැවට එකතුවීම වළක්වයි.

පුරාණ වැව හා බැඳුණු සුවිශේෂීම අංග ලක්ෂණයකි කට්ටකඩුව, වැව් බැම්මට යටිපැත්තෙන් පිහිටා තිබෙන බිම් තීරුව මේ නමින් හඳුන්වන අතර ප්‍රධාන කලාප හතරකින් යුක්ත මෙහි ප්‍රධානම කාර්ය වන්නේ අයන අඩංගු ජලය කෘෂි බිම් කරා යැවීම වැළැක්වීම, වැව තුළ හා පිටත ජල මට්ටම්වල සාන්ද්‍රණයන් සමානව පවත්වාගෙන යෑම, භූගත ජලය පෝෂණය කිරීම වේ. මෙහි ප්‍රධාන කොටස් වන්නේ, වියළි ප්‍රදේශය, තෙත් ප්‍රදේශය, වගුරු බිම හා ජලාශ්‍රිත ප්‍රදේශය වේ. එමෙන්ම මෙහි පිහිටා තිබෙන යතුරු වළ ආශ්‍රිතව භූගත ජල මට්ටම ඉහළ මට්ටමින් පවත්වා ගැනීම හේතුවෙන් වැව් බැම්මේ ජල කාන්දුව අවම වන බව ආචාර්ය පී. බී. ධර්මසේන මහතා 2014 වසරේදී සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම මෙහි පවතින ශාක වර්ගවල විවිධත්වය ස්වාභාවික වනාන්තරයක පවතින ගහනයන් ඉක්මවන බව එතුමන් විසින් අනාවරණය කරනා ලදී. කට්ටකඩුවේ ඇති මී, කුඹුක් වැනි ශාක කිවුල උරාගන්නා බැවින් වැවෙන් කාන්දුවන කිවුල් ජලය පහළ කුඹුරුවලට එක්වීම පාලනය කරයි. තවද කට්ටකඩුවේ තැනින් තැන පිහිටා අති වළවල් අප කිවුල් වළවල් ලෙස හඳුන්වන අතර වැවෙහි ඇති කවුල් ජලය මෙම වළවල්වලට එකතු වීම මගින් පහළ කුඹුරු යායට කිවුල් ජලය එකතු වීම ද පාලනය වේ. මෙම කිවුල් වළවල් හි සාමාන්‍යයෙන් පන් වැනි ජලජ ශාක වගා කරන අතර එසේම ඒවා ආර්ථික කටයුතු සඳහා යොදාගෙන ඇත.

මේ ආකාරයට වැව් එල්ලංගා පද්ධතියක් තුළ වූ එක් එක් අංග මගින් ජල සංරක්ෂණය ජල කළමනාකරණය මනාව සිදුවී ඇති බව අපට මනාව පසක් වේ. තවද මෙම ක්‍රමවේදයන් හුදෙක්ම සොබාදහම හා සබැඳි පරිසර හිතකාමී ක්‍රමවේදයන් වීම විශේෂත්වයකි.

අතීතය අනාගතය යා කරන මහපොළොවේ යථාර්ථය එල්ලංගාව

නලින් චාමින්ද මීමනගේ
සන්නිවේදන විශේෂඥ, වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය.
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment