මගේ සිරිලක මතින් නිවහල් රටක් වේවා

69

සොබාව සෞන්දර්යයෙන් අනූන ශ්‍රී ලංකාව දෙස් විදෙස් කාගෙත් නෙත් සිත් සොරා ගන්නා මනරම් භූමි භාගයකි. අතීතයේ පටන් සිරිලක තේ, පොල්, රබර්, කුරුඳු, ආදී බෝග වර්ග කෙරෙහි ප්‍රසිද්ධියක් ඉසිලීය. ඒ අතරම ශ්‍රී ලංකාවේ මැණික් සහ ගජමුතු කෙරෙහි වූ ආකර්ෂණය ද අතිමහත්ය.

අතීතයේ එවන් ප්‍රසිද්ධියට පත් සිරිලක අද වන විට ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය කෙරෙහිය. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයට පත්ව ඇත්තේ නිතැතිනි. පුරාණ අතීත කතාවල මෙන්ම අදටත් ශ්‍රී ලංකාව බොහෝ ගොදුරුවලට ලක්වන්නේ සමකය ආශ්‍රීත රටක් වීමත් ආසියාවේ කේන්ද්‍රස්ථානයක්ව පැවතීමත් හේතුවෙනි. අද වන විට ලොව බොහෝ ධනවත් රටවල් විසින් සිරිලක ගිලගෙන ඇත.

සිරිලක මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් වීම තුළ අප රට බාල තරුණ පරපුර සීඝ්‍රයෙන් පරිහානියට පත්වී තිබෙනු වර්තමානය වනවිට දැකගත හැකිය. පාසල් වියෙහි සමනළ පැටවුන් හයක් හතරක් නොදැනම සිගරැට්ටුවට, ගංජා, කුඩු සහ ටැබ්ලට් යැයි කියා ගන්නා නානාප්‍රකාර මත්ද්‍රව්‍ය කෙරෙහි ලොල්ව ඇත. වත්මනය වනවිට සීඝ්‍රයෙන් පාසල් ළමුන් මේ මත් රකුසාට ගොදුරුවෙමින් පැවතීම කනගාටුවට කරුණකි. ආර්ථික අර්බුදය වැනි බොහෝ අර්බුදයන්ගෙන් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකිකයන්ට තිබෙන බලාපොරොත්තු වනුයේ අනාගත පරපුරයි. නමුත් ඔවුන්ගේ ජීවිතත් ඇස් මනාපිට විනාශ වෙමින් පවතිනු දකින විට අසන්නට සිදුවනුයේ ‘අහෝ! දෙවියනි!, කුමක්ද මේ රටට සිදුවන්නා වූ කල දසාව’ යැයි පමණි. බාල පුරපුර විනාශවීමෙන් රටක අනාගතය පිරිපුන් විය හැකිද?

ළමා හා තරුණ පරපුර මත් රකුසාගෙන් මුදා ගැනීම එක් අයකුගේ නොව අපි හැමෝගෙම යුතුකමක් මෙන්ම වගකීමකි. ළමා හා තරුණ පරපුර කියන්නේ රැල්ලට සිදුවන දේවල් අත්හදාබැලීමට මෙන්ම එපා කියන දේ සිදුකර එහි ප්‍රතිඵලය දැන ගැනීමට මෙන්ම පිරිසක් ඉදිරියේ කැපී පෙනෙන්න වඩාත් කැමති පරපුරක්ය.

පළමුව මේ ළමා හා තරුණ පරපුර මෙම රකුසාගෙන් මුදා ගැනීමට සිදුකළ යුත්තේ ඔවුන් සිතන පතන ආකාරය පිළිබඳ තේරුම් ගැනීමය. ඔවුන් මොළයෙන් තීරණ ගන්නට කලින් හදවතින් තීරණය ගනී. එම නිසා මුලින්ම ඔවුන්ගේ හදවතට කතාකර අනතුරුව මොළයට කතා කළ යුතු වේ. මත්ද්‍රව්‍ය භාවිත කිරීම එපා කීම වෙනුවට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ආදිනව ගැන ඔවුන්ට වටහා දිය යුතුය. ශරීරයට මෙන්ම මනසට ද සිදුවන විශාල බලපෑම් පිළිබඳවද ඔවුන්ට අවවාද දිය යුතුය.

කුඩා දරුවන් මෙම දැලෙහි පැටලෙන්නේ කටේ කිරි සුවඳ යෑමටත් මත්තෙන් වීම කනගාටුවට කරුණකි. මත්ද්‍රව්‍ය හා මත්පැන් ව්‍යාපාර සිදුකරන්නන් අත්තනෝමතික ලෙස ක්‍රියාකරමින් තමන්ගේ දරුවන් බේරාගෙන රටේ අනිත් දරුවන්ට ගින්දර ලබාදෙති. ඒ ගින්දරින් ලැබෙන මුදල්වලින් තම අඹු දරුවන් පෝෂණය කරති. මුදල් පරමාර්ථයෙන් සිදුකරන මේ ක්‍රියාව පවුලක්, ගමක්, නගරයක් පමණක් නොව මුළුමහත් රටක් දක්වා අභික්‍රමණය වෙමින් පවතී. නීතියේ පිළිසරණින්වත් මෙම රකුසා වාරණය නොවීම විශාල ඛේදවාචකයකි.

මත්ද්‍රව්‍ය පමණක් ඇති තැනක ඔබට ජීවිතයක් තිබේද ඔබට අන් සියල්ලක්ම අහිමිව මඳක් සිතා බලන්න. රට ජාතිය ගොඩනැඟීමට නම් නිරෝගී දූ පුතුන් අවශ්‍යයි. ඒ නිසාම ‘මගේ සිරිලක මතින් නිවහල් රටක් වේවා’ මගේ එකම පැතුම එයයි.

කවෝද්‍යා අල්විස්

advertistmentadvertistment
advertistmentadvertistment