හරක්කටාගේ ඉල්ලීම් සලකා බලයි

935

අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්‍රේල් මස 08 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළේය.’හරක් කටා’ නමැත්තා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වනවිට රඳවුම් භාරයේ පසුවන තම සේවාදායකයා විසින් පහසුකම් කිහිපයක් ඉල්ලා සිටින බව සඳහන් කළේය.ඒ අනුව නීතිඥවරු හමුවී උපදෙස් ලබා දීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයෙකු වෙනුවෙන් ලබා දෙන විනාඩි 15ක් කාලය පැයක් දක්වා වැඩි කරන ලෙසත් විත්තිකරු රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කරන මෙන් විත්තිකරු ඉල්ලා සිටින බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.එසේම විත්තිකරුව තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා විත්තිකරුගේ මව, පියා සහ බිරිද හමුවීම සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසත් තම දරුවා සමඟ දුරකථන මාර්ගයෙන් කතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.ඊට අමතරව විත්තිකරුට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලබන පහසුකම් අතුරින් ලබා දිය හැකි ඒවා කවරේ දැයි කරුණු පරීක්ෂා කර බලා අප්‍රේල් මස 08 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා විසින් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතාට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment