වළ කැපූ තැන හඳුනාගනිමු!

406

වෛද්‍යවරයාගේ වැටුප් තලයට ගුරුවරයාත් ගෙන ආ යුතුයි

ඇල්බර්ට් අයින්ස්ටයින් පවසන පරිදි අධ්‍යාපනයේදී දරුවන් දක්ෂ වුවද, ඔවුන් දක්ෂ වන්නේ කුමකට දැයි තේරුම් ගැනීම අතිශය වැදගත්ය. නිවුන් දරුවන් දෙදෙනකු සිටියද බොහෝ විට ඔවුන් දක්ෂ වන්නේ එකම ක්ෂේත්‍රයකට නොවීම එයට හේතුවයි. මාළුවෙකුගේ දක්ෂතාවය මනින්නේ උගේ ගස් නැඟීමේ හැකියාවෙන් නම්, ඌ තමන් මෝඩයකු යැයි ජීවිත කාලයම සිතමින් කල් යවනු ඇතැයි අයිස්ටයින් පෙන්වා දෙයි. පවතින අධ්‍යාපන ක්‍රමය මාළුවන්ට ගස් නැඟීමට හුරු කරවන අධ්‍යාපන ක්‍රමයටත් වඩා ඌ බිමට බස්සවා සැතපුම් 10ක පමණ දුරක් දුවවන අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේද දක්නට ඇතැයි අපට අවධාරණය කළ හැකිය. මෙම අධ්‍යාපන ක්‍රමය විසින් දැනටමත් සිදුකර ඇත්තේ විනාශයකි. මිලියන ගණනක මිනිසුන්, රොබෝවරුන් බවට පත් කිරීම ගැන අපට සතුටට පත්විය හැකිද? අපගේ දරුවන් කීදෙනකු පංති කාමර තුළ උඩුගං බලා පිහිනමින් සිටිනු ඇතිද? තමන්ගේ හැකියාවන් මොනවා දැයි නොදැන, තමන් කිසි වැදගැම්මකට නැති අයකු යැයි සිත සිතා පීඩා විඳිමින් ඔවුන් කාලය ගත කරනු ඇත. පාසල විසින් මෙම දරුවන්ගේ නිර්මාණශීලීත්වය, පෞරුෂත්වය විනාශ කරමින් බුද්ධිමය ලෙස ඔවුන් අපයෝජනය කරමින් සිටියි.

වත්මන්හි ජංගම දුරකථනයක් නිදසුන් කොට ගනිමු. එය වසර 150ට පෙරාතුව පැවති දුරකථනයක් හා විශාල වෙනසක් හා ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. අද කාලයේ මෝටර් රථයක් දැනට වසර 150ට පමණ පෙරාතුව පැවති මෝටර් රථයක් හා සසඳා බලද්දී බොහෝ වෙනස් කම් තිබේ. එහෙත් අද කාලයේ පාසල් පංති කාමරයක් හා දැනට වසර 150ට පෙර පැවති පංති කාමරයක් හා සසඳා බලද්දී වෙනස්කමක් තිබේද? එය සැලකිය යුත වෙනසක් අත්කරගෙන නැති බව පැහැදිලිය. ඇතැම් විට අවශ්‍ය නම් යම් යම් තාක්ෂණික උපකරණයක් අදේශවී තිබෙනු ඇත. එනම් කළු ලෑල්ල වෙනුවට සුදු බෝඩ් එකක් (white Board) වැනි ඉතා සුළු වෙනසක් පමණි. මෙය ලජ්ජාවට කරුණක් නෙවෙයිද? ඒ අනුව වසර 100ට 150ට එහා කාලයක් තිස්සේ කිසිවක් වෙනස් වී නොමැති තත්ත්වයක් තුළ මෙම අධ්‍යාපන ක්‍රමය විසින් දරුවන්ට අනාගතයක් ගොඩනඟනවා යැයි කීම කෙතරම් මුළාවක්ද? සැබවින්ම ඔබේ දරුවා සූදානම් කරමින් සිටින්නේ අනාගතයටද? එසේත් නැතිනම් අතීතයටද?

මෙම අධ්‍යාපන ක්‍රමය විසින් නිර්මාණය කරමින් සිටින්නේ කර්මාන්තශාලාවල වැඩකළ යුතු මිනිසුන් පමණි. ඔවුන් පේළියට වාඩි කරවනු ලැබෙයි. කතා කළ යුතු නම් අත ඔසවා අවස්ථාව ලබාගත යුතු බව දන්වයි. දවසට පැය අටයි. අනිවාර්යයෙන් එකම කාර්යය ඒ අයුරින්ම කළ යුතුයි. විවේක කාලයේ පමණක් දිවා ආහාරය ලබාගත හැකිය. එයද, සෑම දිනෙකම, එකම ස්වරූපයටය. විදිහටය. සියල්ල ‘ඒ’ සාමාර්ථයක් ලබා ගැනීමේ තරගයට සූදානම් කරවයි. ‘ඒ’ වැනි සලකුණු මගින් කරන්නේ භාණ්ඩවල ප්‍රමිතිය මැන බැලීමයි. බොහෝ විට ඒ මස් මාංශ වැනි භාණ්ඩයන්ය. ඒ අයුරින් ප්‍රමිතිගත කළ භාණ්ඩ මෙන්, එනම් රොබෝවරුන් මෙන් මිනිසුන් නිර්මාණය කළ යුත්තේ ඇයි? අද ලෝකය වෙනස්ය. අප කළ යුත්තේ නිර්මාණශීලීව, නිදහස්ව, විචාරශීලීව සිතන එකිනෙකා හා සම්බන්ධවීමේ හැකියාව හා කැමැත්ත ඇති මිනිසුන් ගොඩනැඟීමයි.

මෙලොව කිසිදු මොළ දෙකක් එකිනෙකට සමාන නොවන බව ඕනෑම විද්‍යාඥයකු විසින් පිළිගනු ඇත. දරුවන් දෙදෙනකුට වැඩිය සිටින ඕනෑම මවක පියෙකුද, ඒ බව පිළිගන්නවා ඇත. එසේවී නම් අප විසින් දරුවන්ට කුකී කටර් එකක් හෝ තොප්පියක් සේ සලකන්නේ මන්ද? හැම කෙනකුටම ගැළපෙන බව යැයි සිතමින් එකම ප්‍රමාණයක ආකෘතියක් පළඳවන්නට මේ තරම් උත්සාහයක් ගන්නේ මන්ද? වෛද්‍යවරයකු විසින් එකම ඖෂධය සියලුම රෝගීන්ට ලබා දුනහොත් කුමක් සිදුවෙයිද? එය පාසලකට ආදේශ නොකරන්නට අප පරිස්සම් වෙන්නේ ඇයි? වෙනස් හැකියාවන්, වෙනස් අවශ්‍යතාවන්, වෙනස් හීන ඇති ද, භෞතිකව වෙනස් මොළ ඇති දරුවන් 30-40 ට ගුරුවරයකු පැමිණ එකම දේ එකම අයුරින් ඉගැන්වීම කෙතරම් භයානකද? එම්.සී. කිව්. විභාග ක්‍රමය ලෝකයට හඳුන්වා දුන් ෆෙඩ්රික් නමැති අය විසින්ම එම විභාග ක්‍රමය තහනම් කළ යුතු බව කියයි. දුරකථනය, මෝටර් රථය, නිවස, සෞඛ්‍ය වෙනස් කළ හැකිනම් අධ්‍යාපනය වෙනස් කළ නොහැක්කේ මන්ද? ෆින්ලන්තය වැනි රටවල එය දැනටමත් කෙරෙයි. එහි පාසල් කාලය ඉතා කෙටිවන අතර ගුරුවරුන්ගේ වැටුප ඉතා ඉහළය. ඔවුන්ට නිවසේ සිට කළ යුතු කාර්යයන් නොපැවරෙන අතර සහයෝගයට ප්‍රමුඛත්වයක් ලැබෙයි. තරගයක් වෙනුවට මිනිසුන් ගොඩනඟන ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය අතිශය සාර්ථකවී ඇති බැවින් සිංගප්පූරුව වැනි රටවල් පවා එය අනුගමනය කරමින් සිටියි. ‘ඛාන් ඇකඩමි’ වැනි පෙර පාසල් ඊට නිදසුනකි. තනි පිළිතුරක් නැතත් ඉදිරියට යෑම වැදගත් වන්නේ අද දරු පරපුර 20%ක් වුවත්, අනාගතයේදී එය 100%ක් වේවි. මෙය මාළුවන්ට ගස් නඟින්න බල කරන අධ්‍යාපන ක්‍රමයක් නොවිය යුතුමය.

අධ්‍යාපන ක්‍රමයේදී ළමුන් 40ක් පමණ ඉගෙන ගන්නා පංති කාමරයකදී ඒ ඒ අයගේ දක්ෂතාවන් හඳුනා 40 දෙනකුගේ අනන්‍යතාව සමග යා නොහැක්කේ මන්ද? ඒ මේ පවත්නා තරගය නිසාය. 2026 දී සිට අ.පො.ස. (සා/පෙළ) ඒ,බී,සී,ඩී, සාමාර්ථයන් විදිහට වර්ගීකරණය නොවන බව මෑතකදී ප්‍රකාශයට පත්විය. එය සුබවාදී ප්‍රකාශනයක් වූවද, අප විසින් අමතක නොකළ යුතු වන්නේ එයද, එක්තරා මැතිවරණ පොරොන්දුවක් පමණක් බවයි. මන්ද යත් 2026 දී සිටින අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කුමන පියවරක් අනුගමනය කරනු ඇත්දැයි අනුමාන කළ නොහැකි බැවිනි. පාසල් විෂය මාලාව විෂයන් 7ක් දක්වා අඩු කිරීම, සියලු දෙනාටම උසස් පෙළට පෙනී සිටිය හැකි පරිදි නිපුණතා මට්ටමකින් වර්ගීකරණයක් කිරීම ආදියද, යහපත් යෝජනාවන්ය. එහෙත් මේවා කෙරෙහි විශ්වාසය තැබීම උගහටය. මන්දයත් වරෙක ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රතිපත්තියක් සාකච්ඡාවක් තිබිණි. ඉක්බිතිව පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරිණි. යළිදු එම ශිෂ්‍යත්ව විභාගය ආරම්භ විය. ඒ නිසාම අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ පවා ස්ථිරසාර ජාතික ප්‍රතිපත්තියක් නොමැති තත්ත්වයක් තුළ විශ්වාසය පළුදු වීම තවදුරටත් දක්නට ලැබෙයි.

අප රටේ අධ්‍යාපනය ටියුෂන් ගුරුවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මාෆියාවක් බවට පත්කරගෙන තිබේ. එබැවින් එය තවදුරටත් රටට හෝ සමාජයට ඵලදායි ලෙස යෙදවීමක් අපේක්ෂා කළ නොහැකිය. 3 වන ශ්‍රේණියේ පමණ සිට මෙම මාෆියාව ක්‍රියාත්මකය. ඒ නිසා මෙය වෙනස් කිරීම විධිමත්ව, ක්‍රමානුකූලව සිදු විය යුතුය.

වෛද්‍යවරයකු විසින් දරුවකුගේ හදවත් සැත්කමක් කොට සුවපත් කළද, දරුවාගේ හදවතට ළංවී වඩාත් හෘදයාංගම කොට උසස් මිනිසුන් බවට පත් කළ හැක්කේ ගුරුවරයාටය. එහෙත් ලංකාවේ ගුරුවරයාගේ තත්ත්වයද, ඉතාම අයහපත්ය. ඇතැම් ආයතනවල කාර්යාල කාර්ය සහයකයකුගේ වැටුපටත් වඩා ඉතා අඩු වැටුපක් ගුරුවරයාට හිමිය. අනෙක් අතට තත්ත්වයක් ලෙසද, සමාජ වටිනාකමක්ද හිමි නොවේ. මෙවැනි වටපිටාවක ගුරුවරුන් පවා තම වගකීම ඉතා ඕනෑකමින්, කැපකිරීමෙන් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. බොහෝ ගුරුවරුන් පාසල් කාලය තුළ තම තමන්ගේ වෙනත් පුද්ගලික කටයුතු සිදුකර ගනිමින් සිට සවස් කාලයේදී ටියුෂන් කිරීම සඳහා දුවන වටපිටාවක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. මෙවැනි තත්ත්වයක් තුළ ගුරුවරයා පාසලේ පංති කාමරය තුළ සිටින දරුවන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට, ඔවුන්ගේ වෙන් වෙන් වශයෙන් වූ විවිධ දක්ෂතා හඳුනාගැනීමට කල්පනා කරන්නේ හෝ කාලය වැය කරන්නේ නැත.

හැකිතාත් ලබාදුන් විෂය නිර්දේශයේ කරුණු ටික ඉගැන්වීම මිස ඒවා කොතෙක් දුරට එකී දරුවන්ට අදාළද, දරුවන් විසින් ඒ දේවල් කෙසේ ග්‍රහණය කර ගනීද යන්න පවා කෙරෙහි අවධානයක් යොමු නොකරයි.

වළ කැපූ තැන හඳුනාගනිමු!

ආචාර්ය – රංග ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment