පෙම්වතා සමග හෝටලයට ගිය තරුණිය අභිරහස් ලෙස මිය ගිහින්

2019

මරණය ගැන විවෘත තීන්දුවක්:
පෙම්වතාගෙන් පරස්පර ප්‍රකාශ – පොලිසිය කියයි
මරණය ගැන සැකයි – ඥාතීහු කියති

තම පෙම්වතා සමග හෝටලයක නවාතැන් ගැනීමට ගිය විසි දෙහැවිරිදි තරුණියක රක්වාන පොලිස් බල ප්‍රදේශයේ මාදම්පේ හෝටලයක් තුළ දී අභිරහස් ලෙස මරුමුවට පත්වීම සම්බන්ධව පැවැති පශ්චාත් මරණ පරික්ෂණයේ දී ඇයගේ මරණය ගැන විවෘත තීන්දුවක් ඊයේ ලබා දුණි.

මෙම මරණය සැක සහිත බව මියගිය තරුණියගේ දෙමාපියෝ පවසති. ඇය ගෙල වැලලා ගෙන මියගිය බව පෙම්වතා පැවසුවත් එය සැක සහිත බව ද තරුණියගේ නෑදෑයෝ පවසති. කහවත්ත අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.ඩී.එම්.එස්.කේ. දිසානායක මහතා ඊයේ (05 වැනිදා) පස්වරුවේ දී තම තීන්දුව දුන්නේය. තරුණියගේ ශරීර කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා යොමු කෙරේ. කහවත්ත මූලික රෝහලේ දී මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණි.

පෙම්වතා සමග හෝටලයට ගිය තරුණිය අභිරහස් ලෙස මිය ගිහින්

රක්වාන පුංචි බාර්වත්ත ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණන් ප්‍රදීපා නම් තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණේ රක්වාන වැඩබලන මහෙස්ත්‍රාත් සරත් විජයගුණවර්ධන මහතාගේ නියෝගයකට අනුවය. මියගිය තරුණිය ඇයගේ පෙම්වතා සමග 04 වැනිදා දහවල් මාදම්පේ පනාවල මාර්ගයේ පිහිටි ලැගුම් හලකට පැමිණ එහි කාමරයක් කුලියට ගෙන එහි නවාතැන් ගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදි හෙළිවී තිබේ. එම පෙම්වතා 24 හැවිරිදි රක්වාන ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරකු බව පොලිසිය පවසයි.

මෙදින රාත්‍රි පෙම්වතා හෝටලයෙන් පිටතට ගිය බවත් තම පෙම්වතියට බඩගිනි යැයි පවසා ඇයගේ බැංකු කාඩ්පත ලබා දී කෑමගෙන එන ලෙස තමාට පැවසූ බවත් පෙම්වතා රක්වාන පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

තමා හෝටලයේ කාමරයට එන විට එහි දොර වසා තිබූ බවත් තම පෙම්වතිය දොර විවෘත නොකළ බවත් ඒ අවස්ථාවේ හෝටලය භාරව සිටි කාන්තාවට ඒ බව දැනුම් දුන් බවත් පෙම්වතා පොලිසියට ප්‍රකාශ කර තිබේ. කාමරයේ පිටුපසින් ගොස් එහි ජනේලය කඩා කාමරය තුළට යන ලෙස එම කාන්තාව කළ දැනුම් දීම අනුව තමා කාමරය තුළට ගිය විට පෙම්වතිය හැඳ සිටි සල්වාරියෙන් ගෙල සිරකරගෙන සිටි බවත් ඒ අවස්ථාවේ දී තමා ඇයගේ ගෙල බැඳි රෙදි කැබැල්ල ලිහා ඇය ත්‍රිරෝද රථයට දමා ගත් බවත් පොලිසියට ප්‍රකාශ කර තිබේ. එම අවස්ථාව දී හෝටලය භාරව සිටි කළමනාකාරිණියට පෙම්වතා පවසා ඇත්තේ තම පෙම්වතියට සිහි නැතිව කාමරයේ ඇදවැටී සිටි බව එම කළමනාකාරිණිය පොලිසියට ප්‍රකාශයක් කර තිබේ. තරුණිය රෝහලට රැගෙන යද්දී තරුණයාගේ ත්‍රිරෝද රථය අතරමග නැවතීමෙන් පසු ඔහු වෙනත් ත්‍රිරෝද රථයකින් ඇය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ද පෙම්වතා බොරු කියා ඇතැයි පොලිසිය පවසයි. තරුණිය රෝහල් ගතකර ඇත්තේ ද ඇය සිහිසුන්ව සිටි බව එම තරුණයා රෝහලට පවසමින් බව යැයි පොලිසිය පවසයි.

පෙම්වතා විසින් එක් එක් අයට පරස්පර ප්‍රකාශ ලබා දී ඇතැයි ද ඒ ගැන ද විමර්ශනය කරන බව ද රක්වාන පොලිසිය පවසයි. මියගිය තරුණිය හෙද පාඨමාලාවක් සිදු කර පුද්ගලික රෝහලක රැකියාවක නිරතව හිඳ මෙයට මාසයකට පෙර ඉන් ඉවත්ව ඇතැයි ඇයගේ පියා කේ .ක්‍රිෂ්ණන් පැවසීය. විවෘත තීන්දුවක් ලබාදුන් නිසා මියගිය තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට නොගත් බව ද වැඩිදුර විමර්ශනය සිදු කරන බව ද පොලිසිය පවසයි.

රක්වාන පොලිසිය ස්ථානාධිපති අනුර සෝමසිරි මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වික්‍රමපාල මහතා පරීක්ෂණ සිදු කරයි.
කහවත්ත සමරවීර නිරෝෂණ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment