ඇස්වාට්ටුවෙන් විද්ද එන්නත නිසා දුවගේ ජීවිතය නැති වුණා – නැන්දම්මා හැඬූ කඳුළින් කියයි

259

ඇසේ අමාරුවක් නිසා කොළඹ ඇස් වාට්ටුවට ගිහින් මගේ පුතාගේ බිරිය පෙන්නුවම ඔපරේෂන් එකක් කරන්න ඕන කියල දොස්තර මහත්වරු කියල තිබෙනවා. ඔපරේෂන් එක කරද්දී සිහි නැතිවෙන්න බෙහෙතක් විද තියෙනවා. ඉන් පස්සේ දුවට සිහිය ඇවිත් නැහැ. දුව මැරුණේ ඒ ඉන්ජෙක්ෂන් එකෙන් කියල විශ්වාස කරනවා. අහිංසක දරු දෙන්නකුට අම්ම කෙනෙක් නැති වුණා.

කොළඹ අක්ෂි රෝහලේ දී මියගිය කොස්ගොඩ බොරලුකැටිය දකුණේ පදිංචිව සිටි එච්. ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ (34) දෙදරු මවගේ නැන්දම්මා වන ලියනගේ සෝමලතා මහත්මිය හැඬූ කඳුළෙන් මෙසේ පැවසුවාය.

තව දුරටත් ඇය මෙසේ කීවාය.

මගේ පුතාගේ බිරිඳයි මියගිහින් තිබෙන්නේ. අවුරුදු දාහතක සහ දහයක දියණිවරු දෙදෙනෙක් ඉන්නවා. මගේ ලේලි සුමාන දෙකකට පෙර ඉඳන් ඇසේ අමාරුවක් නිසා කොළඹ ඇස් වාට්ටුවේ සායනයකට ගියා. ඇසට කාචයක් දමන්න ඕන කියල එහිදී දොස්තර මහත්වරු කියල තිබෙනවා. ඒ කාචය ඇමෙරිකන් වර්ගයේ එකක් දමන්නත් කියල තිබෙනවා. ඒ කාචය රුපියල් පනස් දහසක් වෙනවා කියලත් තිබුණා. ඒ තරම් මුදලක් පුතා ළඟ නැහැ. පුතා කුරුඳු තැලීමයි රක්ෂාවට ලෙස කරන්නේ. අපට ඒ තරම් සල්ලි නැති නිසා අසල්වැසි දුවෙක් තමයි ඒකට සල්ලි දුන්නේ.

ඊට පස්සේ ඒ සල්ලිවලින් ඇහැට කාචය දැම්මා. ඒ වුණත් ඇසේ අමාරුවක් තිබූ නිසා ආයෙමත් කොළඹ ඇස් වාට්ටුවට ගිහින් පෙන්නුවා. ඇහැට දමපු කාචය පහතට ගිහින් කියල නැවතත් ඔපරේෂන් කරන්න ඕන කියල එතකොට දොස්තර මහත්වරු කියල තිබෙනවා. ඒ නිසා එයා පසුගිය හතර වැනිදා ගිහින් ඇස් වාට්ටුවට ඇතුළු වුණා. ඒ අනුව ඔපරේෂන් එක පසුවදා කර තිබෙනවා.

දවල් එකොළහට විතර අපට කෝල් එකක් දීල ඇසුවා එයාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියල. කොළඹ ඇස් වාට්ටුවට එන්න කියලත් කිව්වා. ඒ අනුව පුතා ඉස්පිරිතාලෙට ගියා. ඒ ගිය විටයි අපේ දුව මියගිය බව දැන ගත්තේ. සිහිය නැති වෙන්න බෙහෙතක් විදල තියෙනවා. ඉන් පස්සේ සිහිය ඇවිත් නැහැ. දුව මැරෙන්න ඇත්තේ සිහිය නැතිවෙන්න විදපු ඉන්ජෙක්ෂන් එකෙන් වෙන්න ඇති කියල විශ්වාස කරන බවත් ඇය කීවාය.
බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment