සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්

301

2002 අවුරුද්දෙ හෙක්ටයාර 1445 ක් තිබුණු සෙන්ගමුව රක්‍ෂිතය 2021 වර්ෂය වන විට 974 දක්වා අඩුවෙලා…

සෙන්ගමුව රක්‍ෂිත කොල්ලය යට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පසුගිය ආණ්ඩුවෙත්, මේ ආණ්ඩුවෙත් දෙකේම ප්‍රබලයෙක්…

සෙන්ගමුව රක්‍ෂිත විනාශ කරන්නෙ විල්පත්තුව කැපුව දේශපාලනඥයාගේ ගජ මිතුරෙක්…

සෙන්ගමුව රක්‍ෂිතයේ මදුරන්වේලී පුරාවිද්‍යා භූමියේ පුරාවස්තු විනාශ කළ ඩී.අයි.ජී. කවුද?

මහ ගස් මරන්න මුල විදල වස දානවා සතුන් මරන්න වස දෙනවා උගුල් අටවනවා…

ගිනියම් සුළං රැලි ගත විනිවිද ඇටමිදුළු ද රත් කරමින් හමා යන්නේය. මුවා වීමට ගහ කොළක්වත් නැත. කපා බිමට පෙරළා තිබූ විසල් පලු ගසක කඳ මතට නැඟ මම අවට විපරම් කළෙමි. ඇස් මානයම සුද්ධය. තැනක කූඩාරමකි. තව තැනක සිමෙන්ති ගඩොලෙන් හදාගෙන එන නිවසකි. ඒ අයුරින් නිවාස ගොඩකි. පුදුමය එකඳු නිවසකවත් මිනිස් පුළුටක් නොදැකීමය. ජනාවාසයකට කිසිදු පහසුකමක් නැති මහ වනයක් මැද මිනිසුන්ට ජීවත්වීමට නොහැකි බව සැබෑය. එසේ නම් වන සතුන් ළඟින මහ වන මැද ‘මොන අසවල් එකකට’ නිවාස ඉදිකළේ ද? සිත තුළ ප්‍රශ්නාර්ථයක් ඇඳිනි.

සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්
සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්
සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්
මදුරන්වේලි පුරාවිද්‍යා භූමියේ ලකුණුකර තිබූ මායිම් කණු

දැවී හළු වී ගිය පොළව මතින් පය ඉක්මන් කළ මම ආරුගම්බෙ කලපුව අසල කටාරම් සහිත ලෙන් කුටියට ඇතුළු වුණෙමි. වියරු හිරුගේ රශ්මියෙන් ගිනියම්ව තිබුණු ගත එම කුටිය තුළදී නිවිණි. කුටිය තුළට දර්ශනය වන සොබා සිරියට මනස දැහැන්ගත විය. සුන්දර මුහුදු තීරයටත්, කලපුවටත් මායිම් වන ඒ පරිසරය මනස සුවපත් කරන පින් බිමකි. එහෙත් පසුගිය දිනෙක හැන්දෑවක පවිටු භූමි කොල්ලකරුවන් පිරිසක් විසින් උඩලමත්තේ රතනප්‍රිය හාමුදුරුවන්ට මැර ප්‍රහාරයක් එල්ල කර තිබුණේ මේ කුටියේ වැඩ සිටින විටය.

‘මට පහර දුන්නෙ මේ භූමිය විනාශ කිරීමට පෙරමුණ ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙ ඥාතියෙක් ඇතුළු පිරිසක්. ඒ මිනිස්සු තමයි මේ පරිසරය විනාශ කරලා කූඩාරම් අටවන්නෙ. ඔවුන්ගේ සැලසුම මේ සුන්දර පරිසරය කොලණියක් බවට පත් කිරීමයි. ඒවට ඉඩ දෙන්න බෑ. මේ අවට අක්කර අටක පුරාවිද්‍යා භූමියක්. කටාරම් කෙටූ ලෙන් කුටිම අටක් තියෙනවා. හැම තැනම ඉපැරැණි බෞද්ධ ස්මාරක. මේ ඉපැරැණි බොදු උරුමය ආරක්‍ෂා කරගන්න තමයි මම මේ කුටියේ වැඩ ඉන්නෙ…’ අප අසල සිටි උඩලමත්තේ රතනප්‍රිය හාමුදුරුවන්ගේ උස් හඬ ගල් බිත්ති මත වැදී දෝංකාර දුන්හ. මම කුටියෙන් වැලි මළුවට පැමිණියෙමි.

සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්

දැන් අප රැඳෙනුයේ සෙන්ගමුව වන රක්‍ෂිතයට අයත් මදුරන්වේලී ප්‍රදේශයේය. කාලයක සිට භූමි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබෙන සෙන්ගමුව වන රක්‍ෂියේ අති සුන්දර පරිසර කලාපයකය. ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විසින් මහා පරිමාණයෙන් රක්‍ෂිතය සුද්ධ කරමින් එළිපිට කට්ටි කර විකුණන භූමි භාගයකය. මදුරන්වේලී ප්‍රදේශය පමණක් නොව, ලාහුගල සහ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් සෙන්ගමුව රක්‍ෂිතයේ ප්‍රදේශ කිහිපයකින් වනය විනාශ කරමින් ඉඩම් කැබැලි කොට විවිධාකාරයෙන් ඉදිකිරීම් කර ඇති අයුරු පෙනේ. රක්‍ෂිත භූමිය කුඹුරු, හේන් වගා බිම් බවට පත් කර ඇති අයුරු ද පෙනේ. ගව ගාල් එළු මඩු, තනා තිබෙන අයුරු පෙනේ. ලාහුගල අඩවි වන නිලධාරී කාර්යාලයට අයත් ඔරොක්මලේ, අතිමුණේ, අමුවාටුවන, රොට්ට, රැදැල්ල සහ කරන්කොව වැව ඉස්මත්තේ රක්‍ෂිත ප්‍රදේශයක් ඇතුළුව ප්‍රදේශ කිහිපයක ස්ථාන කිහිපයකින් වන රක්‍ෂිතය විනාශ කර ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට යොදාගෙන තිබෙන අයුරු පෙනේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මදුරන්වේලී භූමියේ ඉපැරැණි බෞද්ධ ස්මාරකවලට දැඩි හානි පමුණුවමින්, ගල් කණු ඇතුළුව බෞද්ධ ස්මාරක ගලවා කලපුවට විසි කර දමා ඇති බවද රතනප්‍රිය හාමුදුරුවො අප සමඟ පැවසූහ.

“මදුරන්වේලී පුරාවිද්‍යා භූමිය අක්කර අටක්. ළඟ, ළඟ පිහිටි ලෙන් කුටි අටක් තියෙනවා. අක්කර අට පුරාම බෞද්ධ ස්මාරක පැතිරිලා තියෙනවා. සෙල්ලිපි සොයාගෙන තියෙනවා. ඉපරැණි විහාරයක නටබුන් සොයාගෙන තියෙනවා. මේ ස්ථානයේ ගල් කණු ගලවලා කලපුවට විසි කරලා තියෙන බව කාලයකට පෙර පුරාවිද්‍යා කලාප භාර නිලධාරීවරයාට මම දැනුම් දුන්නා. ඒ සම්බන්ධව ඔහු විසින් පොතුවිල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා. පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙලා රමේෂ් කියලා කෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ‘මේක කලේ මම නෙමෙයි ඩී.අයි.ජී. කෙනෙක් කියලා ඒ පුද්ගලයා පොලිසියට කටඋත්තර දීලා තිබුණා. අන්තිමේ මාස අටක් යනකම් සිද්ධිය යට ගියා. මම පොලිසියට ගිහින් ඒ ගැන විපරම් කරනකොට පුරාවිද්‍යා පනත ගෙනත් දෙන්න කිව්වා. එවකට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මනතුංග මහත්තයට දැනුම් දීලා පුරාවිද්‍යා පනත පොතුවිල් පොලිසියට ලැබෙන්න සැලැස්සුවා. ඊට පස්සෙ පොලිසිය ක්‍රියාත්මක වෙලා කැලෑව සුද්ධ කරමින් හිටිය රමේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරලා තිබුණා. දිගින්, දිගටම ඔය ප්‍රශ්නය හාර අවුස්සනකොට මාව ඔවුන්ට වධයක් වුණා. ඒ වගේම මේ ස්ථානයේ මම වැඩ ඉන්නකොට භූමි කොල්ලයට ඔවුන්ට ලොකු බාධාවක් වුණා. ඊට පස්සෙ කුටිය ඇතුළෙ තිබුණු ඉපැරැණි බුදුපිළිමයත් රහසිගතව ඉවත් කරලා, සංවිධානාත්මක පිරිසක් මට පහර දුන්නා…” මැර ප්‍රහාරයක් එල්ල වූ පමණින් වැඩ සිටි කුටියෙන් පලා යෑමට තරම් උඩලමත්තේ රතනප්‍රිය හිමි බිය ගුළු භික්‍ෂූන්වහන්සේ නමක් නොවූහ. උන්වහන්සේ අදටත් මදුරන්වේලී ලෙන් කුටියේ වැඩ සිටිති.

සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්
සෙන්ගමුව රක්‍ෂිතය තුළ විනාශකර ඇති බෞද්ධ පුරාවස්තු
සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්
සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්

කලපුව, සුන්දර මුහුදු තීරය, විසල් වැව හොඳින් පෙනෙන ආකාරයට අරුගම්බෙ කලපුව සමීපයේ සිට රොට්ට වැව් ඉස්මත්ත දක්වා විහිදුණු විශාල ගල් ලෙන් සංකීර්ණය ද භාවිත කරමින් සෙන්ගමුව රක්‍ෂිතය වනසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානමක් ඇති බව ද වාර්තා වේ. එහෙත් සංචාරක හෝටල් ඉදිකිරීමේ සැලසුම්, සෙන්ගමුව රක්ෂිතය විනාශ කර ගම්මාන තැනීම අද, ඊයේ ආරම්භ වූවක් නොවේ, කාලයක සිට අතිශය සූක්‍ෂමව කෙරෙන රක්‍ෂිත කොල්ලයකි. ප්‍රථමයෙන් පවිටු රක්‍ෂිත කොල්ලකරුවන් විසින් අත්පත් කරගැනීමට සූදානම් ප්‍රදේශයේ මහා විශාල ගස් මුල් ග්‍රිල් මැෂින්වලින් විද වස ඇතුළු කරන්නේය. ගසේ කඳ පොතු ගහන්නේය. ඒ සියලු ක්‍රියාකාරකම් සිදු කරනුයේ රාත්‍රී කාලයේදීය. කාලයත් සමඟ එම ගස් මැරෙති. අනතුරුව ශබ්දය පිටට නොයෙන කියත්වලින් එම ගස් කපා ලී හොරෙන් පටවන්නේය. ලඳු කැලෑවට ගිනි තබන්නේය. අක්කර ගණන් ඒ ගින්නෙන් පිච්චී රක්‍ෂිත භූමිය මුඩු බිමක් බවට පත් වෙන්නේය. අවසානයේ ඉනි වැටකින් වට කරගෙන මඩුවක් අටවගෙන වගා කරන්නේය. මහ ළිං කපන්නේය. එළු මඩු ගහන්නේ. ක්‍රමයෙන් ජනාවාස බවට පරිවර්තනය කරන්නේය. වාර්තා වන ආකාරයට වන සංරක්‍ෂණ නිලධාරීන් හිටියට ඵලක් නැත. රජයේ රක්‍ෂිතයක කොන්ක්‍රීට් කණු සිටුවා, සිමෙන්ති ගඩොලෙන් බිත්ති බැඳ කාමර ඉදි කළ ද වන සංරක්‍ෂණ නිලධාරීහු නොදැක්ක සේ යන්නාහ.

“මේ තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මැණුම් කටයුතු සිද්ධ කර, පුරාවිද්‍යා භූමිය වට කරලා ගහලා තිබුණු මායිම් කණු. ඒ සියලුම කණු ගලවලා එක තැනකට ගොඩ ගහලා. මේ තියෙන්නෙ එළු බෙටි ගොඩ ගහලා තියෙන තැනක්. බලන්න මේ ළිඳ කොච්චර යටට හාරල ද? ඒත් වතුර නෑ. වටේ සිමෙන්ති ගඩොලෙන් බැඳලා තියෙනවා. මේ අයට ඕන වතුර නෙමෙයි. පදිංචිය තහවුරු කරන්න සාක්‍ෂි. ඉඩමක් කොටු කරගෙන ඉන්න බවට නඩුවක් දා ගත්තා නම් ඔවුන්ට ඔප්පුවක් ලැබුණ හා සමානයි. අර පේන බිම් කට්ටිය කොටු කරගෙන ඉන්නෙ ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙක්. රාජ්‍ය නිලධාරියෙක්. ඒ විදිහට නීතිඥයන්, ගුරුවරු විවිධ තරාතිරම්වල රාජ්‍ය නිලධාරීන් මේ රක්‍ෂිතයේ ඉඩම් කොටු කරගෙන ඉන්නවා. මස් කඩකාරයො, හෝටල් ව්‍යාපාරිකයො තමයි වැඩියෙන්ම ඉඩම් අල්ලගෙන ඉන්නෙ. ඒ වගේම මේ තැන, තැන කපල, පුච්චලා දාලා තියෙන්නෙ බදන්න බැරි විශාල වටිනා ගස්…” උඩලමත්තෙ රතනප්‍රිය හාමුදුරුවෝ විසින් බළන්ගොඩ කස්සප හාමුදුරුවන්ට වන විනාශ එකින් එක විස්තර කරන ආකාරය මම අසා සිටියෙමි. මහ විශාල ගස් කපා පෙරළා මුල පුළුස්සා තිබෙන අයුරු දකින විට නම් හදවත දැවිණි. ඇස් මානයේම වන පෙත කපා මුඩු බිමක් බවට පත් කර ඇති අයුරු පෙනෙන විට සිත තෝන්තු වී ගියේය. සෙන්ගමුව රක්‍ෂිත විනාශය පරීක්‍ෂා කරන ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ ලේඛකාධිකාරී බලංගොඩ කස්සප හාමුදුරුවන් කියන කතාවට මම සවන් දී සිටින්නෙමි.

“අපි මේවට කතා කරනකොට ආගම්වාදී, අන්තවාදී, ජාතිවාදී කියලා හංවඩු ගහනවා. සමහර සිංහල මිනිස්සුත් අපිව විවේචනය කරනවා. ඒත් සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂකයන් විදිහට බෞද්ධ උරුමය විනාශ කරන දිහා බලාගෙන ඉන්න බෑ. අපිට පුළුවන් විදිහට ඊට එරෙහිව කටයුතු කරනවා. ඒත් සෙන්ගමුව රක්‍ෂි කොල්ලය ගැන කොච්චර හෙළිදරව් කළත් වන සංරක්‍ෂණ නිලධාරීන් නිහඬයි. පුරාවිද්‍යා විනාශය හමුවේ පුරාවිද්‍යා නිලධාරීන් නිහඬයි. නැගෙනහිර එක ජන කොට්ඨාසයක ඡන්දයට වහල් වෙලා සෙන්ගමුව රක්‍ෂිතය බිල්ලට දීලා ඉන්න බලධාරීන් නිහඬයි. පැවැති ආණ්ඩුවල නායකයොත් සෙන්ගමුව වන විනාශය නතර කරන්න ක්‍රියා කළේ නෑ. දැන් ඉන්න ජනාධිපතිවරයාත් සෙන්ගමුව රක්‍ෂිතය විනාශ කරන්න ඉඩ දීලා බකං නිලාගෙන ඉන්නවා. මේ වෙනකොට රක්‍ෂිතය විනාශ කරලා ගම්මාන හදලා දැන්වීම් පුවරු සවි කරලා තියෙනවා. වන පෙත දෙපලු කරගෙන රක්‍ෂිතය ඇතුළට පළල අඩි විස්සක දැවැන්ත කොන්ක්‍රීට් පාරක් ඉදිකරලා තියෙනවා. විදුලි කණු දාලා ලයිට් දීලා තියෙනවා. ඒත් ඒ මග දෙපස කිසිම නිවසක් නෑ. තව ටික කාලයක් යනකොට මාර්ගය දෙපස පාළුයි කියලා ගෙවල් හදන්න පටන් ගනී. සැලසුම හරිම අපූරුයි. ඒ වගේම මේ වන විනාශය පරිසර සංවිධානවලට පෙනෙන්නෙත් නෑ. දකුණේ ගහක් කැපුවත් මාධ්‍ය සාකච්ඡා තියන, අලි, ඇතුන්ව පෙරහැර ගෙන යෑම හිංසාවක් විදිහට දකින පරිසර සංවිධාන ක්‍රියාකාරීන් මේ රක්ෂිත විනාශය ගැන වචනයක් කතා කරන්නෙ නෑ. පරිසර සංවිධාන කියන්නෙ ඩොලර් උපයන වෙළෙඳාමක්. පිටරටවල රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන ඒ අයට උතුර, නැගෙනහිර ප්‍රශ්න ගැන කතා කිරීම තහනම්. පරිසරය, සතුන් විකුණගෙන කන ඒ මිනිස්සු ගැන අපි අනුකම්පා කරනවා. ඒ වගේම වන පෙත් විනාශ කරමින්, කැලෑවේ ඉන්න වන සතුන් මරාගෙන කෑම සහගහන අපරාධයක්. දැනටත් උගුල් අටවා, දිය බඳුන් ආකාරයට මත්වන විෂ දියර තබා කෑම නැතිව හාමතේ දුවන අසරණ සතුන්ව මරාගෙන කනවා. එවැනි සපරාධී ක්‍රියාවන් වෙනකොට මහ පොළොව කම්පා වෙනවා. සොබාදහම වියරු වැටෙනවා. මෙවැනි අපරාධ වෙනකොට ඉදිරි කාලයේදී මීටත් වඩා ස්වභාවික විපත් එන්න පුළුවන්…” පොතුවිල් නගරයේම කුණු ගොඩගසන සෙන්ගමුව රක්‍ෂිතයේ විසල් කුණු කන්දෙ කුණු කන අලි රංචුවක් දැක කම්පනයට පත් වූ බළන්ගොඩ කස්සප හාමුදුරුවෝ කතාව ද නතර කළහ. ගහක් කොළක් නැති කාන්තාරයක හාමතේ දැවෙන අලි රංචුවක් විසුමක් නැතිව කුණු කති. හොඬ වැලෙන් ඉටි කවර අදිමින් මුවට ඔබති. අලි ඇතුන් පමණක් නොව බොහෝ වන සතුන් කුසගින්දර නිවා ගන්නෙ මේ කුණු ගොඩේ කුණු කා බව උඩලමත්තේ රතනප්‍රිය හාමුදුරුවෝ අපට පැහැදිලි කළහ.

“කැලයට කුණු එකතු කිරීම් පවා රක්‍ෂිතය විනාශ කිරීමේ උපායන් තමයි. මේ කුණු එක්ක තිබෙන ඉටි කොළ, විෂ ද්‍රව්‍ය කාලා වන සතුන් මැරෙනවා. කුණු කන්දට යට වෙලා ලඳු කැලෑව විනාශ වෙනවා. කාලයත් එක්ක කුණු ගොඩ පස් දාලා වහලා ගොඩනැඟිලි හදන්න ගන්නවා. මේ රක්‍ෂිත කොල්ලය යට ඉන්න දේශපාලනඥයා විල්පත්තුව කැපුව දේශපාලනඥයාගේ අතිජාත මිත්‍රයෙක්. මේ අය මේ රටේ බලයට පත් වෙන සියලු නායකයන්ට සමීප වෙලා, ඔවුන්ගේ ජනතාවගේ ඡන්දය අරගෙන දෙන පොරොන්දුව මත සියලු දහාදුරා වැඩ ටික කරගන්නවා. මේ රක්‍ෂිතයේ හරි නැගෙනහිර වෙනත් කැලෑවක හරි ඉඩම් දෙනවා නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් තුනෙම මිනිස්සුන්ට දෙන්න ඕන. එක ජාතිකයකට විතරක් දෙන්න බෑ…” රතනප්‍රිය හාමුදුරුවන්ගේ අදහස එය වුවද අපේ අදහස නම් දැනට මෙරට ඉතිරි වී තිබෙන වන රක්‍ෂිත භූමියෙන් බිම් අඟලක්වත් නැවත පදිංචි කිරීම් සඳහා ලබා නොදිය යුතු ය. වනාන්තර විනාශ වී ගහ කොළ නැති කාන්තාර බිහි වූ පසු හුස්ම ගැනීමට පිරිසිදු වාතය නොමැතිව මේ රටේ මිනිස් සංහතිය ඉක්මනටම වැනසී යනු ඇත. ගස් කොළන් කැපීම මේ රටේ මිනිසුන්ට පමණක් නොව ලෝකයට වන බලපෑම වෙනත් කතාවකි.

ලාහුගල සහ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහිම පැතිරී තිබෙන සෙන්ගමුව රක්‍ෂිතය අලි, කොටි, වලසුන් ඇතුළුව විශාල වන සත්ව ග්‍රහණ ජීවත්වන පරිසර පද්ධතියකි. පලු, වීර ඇතුළු වටිනා දැවැන්ත ගහ කොළ මෙන්ම අති දුර්ලභ ශාක, බෙහෙත් පැලෑටි සහිත විශාල වනාන්තරයකි. එමෙන්ම මෙරට රක්‍ෂිත භූමිවලින් අති රමණීය පරිසර කලාපයකි. 2002 වර්ෂය වන විට සෙන්ගමුව වනාන්තරයේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටස හෙක්ටයාර 1445 ක් විය. 2012 වර්ෂය වන විට එය හෙක්ටයාර 1035 දක්වා අඩු වී තිබිණි. 2021 වර්ෂය වන විට එම භූමි ප්‍රමාණය ද අඩු වී හෙක්ටයාර 974 ක් බවට පත් වී තිබිණි. මේ වන විට එම භූමි ප්‍රමාණය තවත් අඩු වී ඇති බව සැක නැත. එමෙන්ම සෙන්ගමුව රක්‍ෂිතයේ වන විනාශය ගැන සමාජයේ දැඩිව කතාබහට ලක් වූ 2021 වර්ෂයේ මාර්තු මස 22 වැනිදා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් යුද හමුදාව, පොලිසිය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සම්බන්ධ කරගෙන සෙන්ගමුව රජයේ වනාන්තරයේ ක්‍ෂේත්‍ර පරීක්‍ෂාවක් සිදු කර වාර්තාවක් සකස් කර තිබේ. එම වාර්තාවට අනුව පොතුවිල් නගරයේ සිට කිලෝ මීටර් නවයක් පමණ දුරින් සෙන්ගමුව රක්‍ෂිතයේ සර්වෝදයපුරම් හා සෙන්ගමුව ග්‍රාම නිලධාරී වසම්වල ස්ථාන කිහිපයක් අනවසරයෙන් එළිපෙහෙළි කර ඇති බව සනාථ වී තිබේ. එම එළිපෙහෙළි කිරීම් සඳහා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන් කූට ලේඛන සකස් කිරීමට හවුල් වී ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබේ. එහෙත් මේ වන තෙක් එම නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු අනාවරණය නොවේ. මේ රටේ ජන්මයක් නැති පැරිෂුට්කාර භූමි කොල්ලකරුවන් විසින් සෙන්ගමුව රක්‍ෂිතය කොල්ලකන එක නතර වී ද නොමැත.

සෙන්ගමුව රක්ෂිත විනාශය විල්පත්තුවේ කැපිල්ලට හපන්
බළන්ගොඩ කස්සප හිමි සහ උඩලමත්තෙ රතනප්‍රිය හිමි

එහෙත් දකුණේ රක්‍ෂිතයකට කැපෙන ආයුධයක් රැගෙන ගිය ද අත්අඩංගුවට ගන්නා රටේ, නැගෙනහිර සෙන්ගමුව වන රක්‍ෂිතයේ අක්කර දහස් ගාණක් එළිපෙහෙළි කරමින් සිදු කරන දැවැන්ත වන විනාශය හමුවේ කැලෑ නීතිය වල් වැදී ඇත. ඡන්දය ඉදිරියේ ඕනෑම විලිලැජ්ජා නැති ක්‍රියාවක් කිරීමට සූදානමින් සිටින මේ රටේ පාලකයන් පොතුවිල් සෙන්ගමුව රක්‍ෂිතයේ වන විනාශය සම්බන්ධයෙන් වචනයක් කතා නොකරති. උතුරට, නැගෙනහිරට සහ දකුණට නීති තුනක් ක්‍රියාත්මක වන අරුම, පුදුම කොදෙව්වේ සෙන්ගමුව වන රක්‍ෂිතයට සිදුවන විනාශය නතර කළ හැක්කේ සොබාදහමට පමණි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment