මේවා ගන්න සල්ලි කොහෙද? කාලා හමාරයි

249

විදුලි බිල වැඩිවෙලා ගෑස් වැඩිවෙලා ඉන්ධන මිල වැඩිවෙලා

මහමඟ ගමන් කරන බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් පස් දෙනෙක් මරණයට පත්ව ඇත. රටේ තවත් තැනක පස් කඳු නාය ගොස් ඇත. තවත් දිස්ත්‍රික් කීපයක් නාය යෑමේ තර්ජනයට ලක්ව ඇත. මෙම සටහන තබන අවස්ථාව වන විට රට තුළ පවතින්නේ එවැනි තත්ත්වයක්ය. රට තුළ එවැනි අපල උපද්‍රව හටගෙන ඇත්තේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්ය. වැසි වැටෙන්නට පෙර කුඹුරු අක්කර 70000 ක් පමණ දවා හලු කළ නියඟයක් රටේ තැන් තැන්වල ඇවිල ගිය අතර ඒ හේතුවෙන් ජන ජීවිතයට එල්ලවූ මරු පහර සුළු පටු නැත. රටේ කෘෂිකර්ම ඇමැතිවරයා ඉකුත්දා සඳහන් කර සිටියේ මේ වන විට රට තුළ උද්ගතව පවතින හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම හේතුවෙන් ඉදිරියේදී රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්ය.

එහෙව් රටක නැවත වතාවක් ගෑස් මිල ඉහළ දමා ඇත. එපමණක් නොව ළඟ ළඟ හෙණ පුපුරන්නාක් සේ ඉන්ධන මිලද ඉහළ දමා ඇත. විදුලි බිලටද ඒ සෙතමය. මිල වැඩි කිරීම සඳහා මේ වන විටද පිඹුරුපත් සකසා අවසන්ය. විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 30 ක පාඩුවක් පිට දුවන බැවින් එම පාඩුව පියවා ගැනීම පිණිස නම් විදුලි බිල වැඩිකළ යුතුය. එලෙස සඳහන් කර සිටින්නේ බලශක්ති ඇමැතිවරයා විසින්ය. ඒ අනුව එම හෙණ ගෙඩියද අවසානයේ පතිත වන්නේ ජනතාවගේ හිස මතය. ඉහත සඳහන් එකී නොකී බර මෙරට ජන ජීවිතය විසින් දරා ගන්නේ කෙසේද? මේ පිළිබඳව සිදුකළ සොයා බැලීමකදී හෙළිදරව් වූවේ මෙරට ලක්‍ෂ 16 ක් වූ රාජ්‍ය

සේවකයන්ගෙන් බහුතරයක් යන එන මං නැති පිරිසක් බවට පත්ව ඇති බවය. රාජ්‍ය සේවයේ රියැදුරන්, කාර්යාල කාර්ය සහයකයන් හා විධායක සේවා ගණයට අයත් නොවන නිලධාරීන් රු.50,000.00 ට අඩු මාසික වැටුපක් ලබන්නේය. එවැනි වැටුප් තලයක රාජ්‍ය සේවයේ නිරත කීප දෙනකුගෙන් ‘කොහොමද ජීවිතේ’ යනුවෙන් විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ ජීවිතය යනු ඔරොත්තු නොදෙන බරක් ලෙස දැනෙමින් පවතින බවත් ඉකුත්දා සිදුකළ ගෑස් සහ ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඔවුන් තවදුරටත් නන්නත්තාර වෙමින් පවතින බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවකයෙක්.

‘රටේ පවුල් ලක්‍ෂ 50 ක් ඉන්නව නම් ඒ අතරින් වැඩිම පිරිසක් යැපෙන්නේ රාජ්‍ය සේවයෙන් ලබා ගන්නා වැටුපෙන්. නමුත් රාජ්‍ය සේවයේ පවතින වැටුප් විශමතා හේතුවෙන් රුපියල් පනස්දහසකට වඩා අඩු මාසික වැටුපක් ලබන පිරිසක් තමයි වැඩිපුරම ඉන්නේ. රාජ්‍ය සේවයේ ලක්‍ෂ 16 ක පිරිස අතරින් බහුතරයක් මාසික වැටුප විදිහට ගන්නේ රු.50, 000 ට අඩු මුදලක් නම් හිතල බලන්න ඒ මිනිස්සු මාසයක් කන්න බොන්නෙ කොහොමද කියල. ඒ මිනිස්සුන්ට අවම ජීවන තත්ත්වයක්වත් පවත්වාගෙන යන්න බෑ. එහෙම වටපිටාවක තරගයට වගේ ඉන්ධන, ගෑස්, විදුලිය මිල වැඩි කරනව කියන්නේ මහ පවක්. අපරාධයක්. දැනටමත් ජලය හා විදුලිය ගාස්තු වශයෙන් මාසෙකට රු. 10,000 ක් අයින් කරන්න ඕන. ඊළඟට ගෑස් සිලින්ඩරයට 4000 යි. එතනම 14,000 ක්. දරුවන්ට උගන්වන්න ඕන. ලෙඩට දුකට බෙහෙත් ටික ගන්න ඕන. ඒ විතරද ගෙවල් දොරවල් හදන්න ගත්ත ණය වාරිකය ගෙවන්න ඕන. ඔය ටික කරන්නවත් ලැබෙන වැටුප මදි. එහෙම තත්ත්වයක් තුළ අපේ හිසමත තව තවත් බර පටවනව කියන්නේ රාජ්‍ය සේවය එපා කිරීමක්. හෙට අනිද්දා බස් ගාස්තු ඉහළ දමයි. බඩු මුට්ටු මිල ඉහළ දමයි. කලිසමක්, කමිසයක් ඇඳගෙන රාජ්‍ය සේවයට කියල ගෙදරින් පිටවෙලා ගියාට අද රාජ්‍ය සේවකයා කියන්නෙ හෙට දවස කොහොමද කියල හිතන්නවත් බැරි පුද්ගලයෙකුට. මම මේ ටික කියන්නෙ මගේ අත්දැකීම් ඇසුරෙන්….’ රාජ්‍ය සේවයට පමණක් නොව සමස්ත රට වැසියන්ගෙන් බහුතරයක් වූ පිරිසට ‘ජීවත් වීම’ යනු ගැටපද ප්‍රහේළිකාවක් බවට පත්ව ඇත. පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු කරගෙන යන කුඩා පරිමාණ හෝටල් හිමියන් පිරිසක් අප සමග සඳහන් කර සිටියේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති අමිහිරි අත්දැකීම් කිහිපයක්ය.

‘අඩුවෙලා තිබුණ ගෑස් මිලක් නොවෙයි මේ ඊයේ පෙරේදා නැවත වැඩිකළේ. කිලෝ 12.05 ගෑස් ටැංකියක් රු. 343 කින් වැඩි කරා කියන්නේ අපේ බිස්නස් එකට එල්ල කරපු මරු පහරක්. පිටකොටුව තේ කඩ, බත් කඩ ගත්තොත් දහස් ගාණක් තියෙනවා. විශේෂයෙන්ම බසාර් එකේ බඩු කරගහන මිනිස්සු, පොඩි පොඩි වෙළෙන්දෝ, පාරිභෝගිකයෝ ඉලක්ක කරගෙන තමයි අපි බිස්නස් කරන්නේ. ඒ මිනිස්සු පරිප්පු හොදි ටිකක් එකක් පාන් භාගයක් කාල ප්ලේන්ටියක් බොනව. ඉන් ඉහා දෙයක් නෑ. ගෑස් මිල වැඩි හින්ද අපි දැන් කාලයක ඉඳන් දරවලින් තමයි කෑම බීම හදන්නේ. නමුත් පී.එච්.අයි. මහත්තුරු ඇවිත් කියනව දර ලිපේ උයන්න එපා අවදානමක් තියෙනවා කියලා. අපි මේ බිස්නස් එකෙන් හොයා ගන්න මුදලින් තමයි ගෙදර දොර අවශ්‍යතා ටික දරුවන්ගේ අධ්‍යාපනය ආදිය කරගෙන යන්නේ. එහෙම එකේ ගෑස් ටැංකියක් අරන් මේ බිස්නස් එක කළොත් ගෙදර ගෑනු දරුවෝ බඩගින්නේ. දැන් මිලත් එක්ක ඒක කොහොමවත් කරන්න බෑ. මේ හැම එකකින්ම පහර වදින්නෙ දුප්පත් අපට. හෙට අනිද්දා බස් ගාස්තු වැඩි කරන්නත් පුළුවන්. ඊට පස්සේ ගමෙන් නගරයට එන මිනිස්සු තව අඩුවෙනව. එතකොට මෙහෙමවත් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ.’ එක් ක්‍ෂේත්‍රයකට පමණක් නොව සියලු ක්‍ෂේත්‍රයන් අර්බුදයේ කරවටක් ගිලී ගොස් අවසන්ය. ජනතාව එම මඩගොහොරුවෙන් මුදාගනු පිණිස විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් පෙනෙන තෙක් මානයක නැත. රටම නැවත වතාවක් අනියත බියකින් වෙලී ගොස් අවසන්ය. වේලක් හැර වේලක් බඩට යමක් දමා ගැනීම ඇඳුමක් පැළඳුමක් මිලදී ගැනීම ඇතුළු සියලු මානව අවශ්‍යතා පවතින්නේ දැඩි අවධානමකය. හෙට කුමකින් කුමක් වේදෝ යන පැනය සියල්ලන් තුළ පැන නැඟී ඇත.

සියල්ල තීරණය කරන තීරණාත්මක සාදකය ලෙස ගැනෙන ඉන්ධන මිල ඉහළ යෑම සමාජයේ ඉහළ සිට පහළ දක්වා ජන ජීවිතයට තදින් දැනෙමින් ඇත. ඉකුත් 04 දා මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ නැංවීම නාගරික ජන ජීවිතයට තදබල ලෙස දැනටමත් දැනෙමින් ඇත. භූමිතෙල් ලිපක් දැල්වීම පවා ඔවුන්ට මේ මොහොතේ දුෂ්කර කටයුත්තක්ය. ඊට හේතුව බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල සංශෝධනය යටතේ භූමිතෙල් ලීටරයක මිලද ඉකුත්දා ඉහළ නැංවීම හේතුවෙන්ය. ඒ පිළිබඳව නාගරික ජීවිතගත කරන ගෘහනියන් කීප දෙනකුගෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ ආහාර පිසීම දිනකට එක් වේලකට සීමා කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන් සතුව නොපවතින බවක්ය. රට තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් දිගින් දිගටම ඉහළ යෑම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින පහසුකම් දිනෙන් දින සීමාවීම ඇතුළු ජීවත්වීම තවදුරටත් ගැටලුවක්ව පැවතීම හේතුවෙන් මෙරට වෘත්තිකයන් ඇතුළු බොහෝ දෙනෙක් රට හැර යෑමේ තීරණයක පසුවන අතර මේ වන විටද විශාල වශයෙන් එවැනි පිරිස් රට හැර ගොස් අවසන්ය.

ඉකුත් දිනක කැලණිය විශ්වවිද්‍යාලය විසින් සිදුකළ සමීක්‍ෂණයකින් හෙළිදරව් වූවේ මේ වන විට වයස අවුරුදු 18-25 අතර සේවා නියුක්තයන්ගෙන් 80% ක් රට හැර යෑමේ සූදානමක් පවතින බවත්, එම පිරිස අතරින් බොහෝ දෙනෙක් මේ වන විටත් රට හැර
ගොස් ඇති බවත්ය. ඊට අමතරව මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රයේ තීරණාත්මක පිරිසක් වූ පළපුරුදු බැංකුකරුවන් 2000 කට ආසන්න පිරිසක් මේ වන විට රට හැරගොස් අවසන්ය. බැංකු වෘත්තීය සමිති අවධාරණය කර සිටින්නේ එය කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු රැසක් පැනනැඟීමේ අවදානමක් පවතින බවත්ය.

අවම ජීවන මට්ටමක් හෝ පවත්වාගත නොහැකි සමාජ වටපිටාවක තම තමන් නිරත වෘත්තීන්වලින් දුරස්වීම ඉන් නොනැවතී රට හැර යෑම මේ ආදි සිදුනොවිය යුතු දෙය සිදුවෙමින් පවතින රටක හෙට දවස අඳුරු බව අමුතුවෙන් සඳහන් කළ යුතුව නැත. දැනටමත් සියලු ක්‍ෂේත්‍රයන් යම් යම් කඩා වැටීමට ලක්වීම තුළ පැහැදිලි වන්නේ ඉදිරියේදී එම සෑම ක්‍ෂේත්‍රයක්ම බිමට සමතලා වන බවය. රටේ ප්‍රවාහන කර්මාන්තය ඇතුළු සියලුම කර්මාන්තයන් ක්‍රියාත්මක වීම පිණිස ඉන්ධන මිල තීරණාත්මක සාධාකයක්ය. ගොඩබිම තුළ පමණක් නොව මහ මුහුද ආශ්‍රිතව සිදුකරගෙන යන ධීවර කර්මාන්තයද එහි ගොදුරක්ය.

ඉන්ධන, අයිස්, ගෑස් ඇතුළු ධීවර ආම්පන්න මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් මේ වන විට ධීවර කර්මාන්තයේ නිරත බොහෝ පිරිසක් තම වෘත්තීය ජීවිත අතහැර ගොස් අවසන්ය. මීට කලකට පෙර පැවති මිල හා සංසදනය කිරීමේදී බහුදින යාත්‍රාවක් එක් මුහුදු ගමනක් සඳහා රු.180,000ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇත. ඒ හේතුවෙන් රටේ මාළු මිල ගණන් ඉදිරියේදී බොහෝ සෙයින් ඉහළ යෑමේ ඉඩකඩක් පවතින බව පෙන්වා දෙන ධීවර ප්‍රජාව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉදිරියට මෙම තත්ත්වයේ වෙනසක් ඇති නොවුණහොත් මෙරට පවුල් ලක්‍ෂ ගණනක් සඳහා වූ එකම ආදායම් මාර්ගයද තමන්ට අහිමිව යන බවක්ය.

මේ ආකාරයට බලන බලන අත ජනතාව මත පීඩනය, අසහනය හටගෙන අවසන්ය. ආණ්ඩු කරවන ඇත්තන් සිටිය යුත්තේ ජනතාව තලා පෙළා දැමීම පිණිසද. එසේත් නැත්නම් රට සහ ජනතාව නඟාසිටුවීම පිණිසද. මේ පැනයට තවමත් විසඳුමක් නැත. එවැන්නක් ගෙනෙන බවත් දකින්නට නැත. ඔවුන් උස් හඬින් වාද විවාද පවත්වන අතර රටේ ජනතා දුකට එම වාද විවාද සත පහක ප්‍රයෝජනයක් නැත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment