පෙරළි පෙරළි පදින කැලණි ගඟේ Rafting

141
පෙරළි පෙරළි පදින කැලණි ගඟේ Rafting

පසුගිය සතියේ අප ඔබව කැන්දාගෙන ගියේ අපේ රටේ පිහිටා ඇති වැදගත්ම වැසි වනාන්තරයක් වන කිතුල්ගල පිහිටි රජයේ රක්ෂිතයක් වන “මාකන්දාව” කැලෑව වෙතටය. අප මෙම මාකන්දාව රක්ෂිත වනාන්තරයේ සුන්දරත්වය මෙන්ම, අද්විතීයත්වය සොයාගෙන ගියේ කිතුල්ගල ප්‍රදේශයේ පවත්වාගෙන යන ප්‍රකට ජල ක්‍රීඩාවක් වන කැලණි ගඟ දිගේ කරන “පහුරු පැදීම” නොහොත්, රාෆ්ටින්ග් ඉසව්වකට සහභාගි වන්නට එහි ගිය අවස්ථාවේ ඊට වැඩිමනත් වශයෙනි.

මෙම සංචාරය සංවිධානය කරන ලද්දේ Photo Technica ආයතනයට අනුබද්ධ ජපානයේ Nikon School ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවයි. Heritage Sri Lanka Safari ආයතනය සංචාරයේ මාධ්‍ය නිර්මාණ කටයුතු සිදුකරනු ලද අතර, Serendib Adventures ආයතනය චාරිකාව සඳහා සම දායකත්වය ලබාදෙන ලදී. අමතරව “දිවයින” – හරිත “සංචාරේ” මේ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.

සංචාරයේ සංවිධායක ලෙස කටයතු කරමින් මේ සඳහා සහභාගි වූ 40 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමට නායකත්ව ලබාදෙන ලද්දේ ප්‍රවීණ හා ප්‍රකට වන ජීවී හා මංගල ඡායාරූප ශිල්පී, පාරිසරික සංචාර සංවිධායක රොහාන් ෆොන්සේකා මහතා විසිනි. ඒ අනුව වත්තල පිහිටි ඔහුගේ “Cats-Eye” ඡායාරූප ඇකඩමිය අසලින් අලුයම 3 ට පමණ ආරම්භ වූ කිතුල්ගල සංචාරය, අවිස්සාවේල්ල-දෙහිඕවිට හරහා පිරිස කැටිව කිතුල්ගලට ළඟාවන විට පෙරවරු 7 පමණ වී තිබිණි.

Serendib Adventures ආයතනයේ ප්‍රධානී නිපුනගේ උදව්වෙන් රොහාන් අයියා කිතුල්ගල චාරිකාව සංවිධානය කරන ලද අතර, පෙර අප දැක්වූ පරිදි පළමුව මාකන්දාවේ සංචාරයේ නියැලුණු අපි, අනතුරුව “දවල් වී ගන්නා ලද” උදේ ආහාරයෙන් පසු, “පහුරු පැදීම” නොහොත් “රාෆ්ටින්ග්” ජල ක්‍රීඩාවට සූදානම් විය. නමුත් කණ්ඩායමෙන් බොහෝ දෙනා “රාෆ්ටින්ග්” පැදීමට වඩා ලක ලැහැස්ති වුණේ “රාෆ්ටින්ග් ෆොටෝග්‍රැෆි” සඳහාය.

White Water Rafting ක්‍රීඩාවේදී අවදානම දරාගෙන එහි බෝට්ටු (පහුර) පැදීම සිදුකළ යුතු අතර, හුළං පුරවන ලද ප්ලාස්ටික් බෝට්ටුවක ප්‍රමාණය අනුව ක්‍රීඩකයන් හය දෙනකු, දස දෙනකු හෝ ඇතැම් විට දොළොස් දෙනකු මෙම ක්‍රීඩාවට එක්වන අතර, රළු මතුපිට සහිත (ගල් කුළු අතරින්) ගලා යන ජලයේ මෙසේ පහුරු පැදීම “ත්‍රාසජනක” (Adventure) ක්‍රීඩාවක් ලෙස සලකනු ලබයි. එසේ හෙයින් පහුරු පදින්නන් සියලු දෙනා ජීවිත ආරක්ෂාව පතා ජීවිතාරක්ෂක කබායක් සහ ආරක්ෂක හිස් වැසුමක් සහිතව පහුරේ සිටිය යුතු අතර, පහුර පදින විට සියලුම දෙනා කණ්ඩායම් හැඟීමෙන් යුතුව බාධක ජයගෙන තම අත රැඳී හබලෙන් හබල් ගාමින් අවසන් ජය කණුව වෙත තම බෝට්ටුව ළඟාකරවීම රාෆ්ටින්ග් නොහොත් පහුරු පැදීමේ සාමාන්‍ය ක්‍රමවේදයයි. ගලා යන දිය පහරේ ඇති ඇතැම් බාධක ස්ථාන වලදී ඇතැම් විට පහුර පෙරළී පහුරු කණ්ඩායම වතුරට වැටීමටද ඉඩ තිබේ. එවන් අත්දැකීමක් ලබන්නට අපගේ Nikon School Camera කණ්ඩායමටද හැකිවිය. එනම් පළමුව පහුරු පැදීමට එක්වූ අපගේ කණ්ඩායමේ පළමු සාමාජික හය දෙනා රැගත් පහුර (බෝට්ටුව) අනපේක්ෂිත ලෙස පෙරැළී පහුරු කණ්ඩායම කැලණි ගඟට වැටී ගොඩ ආවේ හොඳටම නාගෙනය.

පෙරළි පෙරළි පදින කැලණි ගඟේ Rafting

පළමුව රාෆ්ටින්ග් පැදීමට සාමාජිකයන් 6 ක් ඉදිරිපත් වූයේ ස්වෙච්ඡාවෙන්මය. මේ සඳහා නිපුනගේ Serendib Adventures ආයතනය අනුග්‍රහය ලබාදෙන ලදී. අනපේක්ෂිත අනතුරකට ලක්වූයේ මෙම කණ්ඩායමයි. උදේ ආහාරයෙන් පසු එම කණ්ඩායම රැගත් ජීප් රථය සහ පහුරු බෝට්ටු සහිත තවත් ජීප් රථයක් රාෆ්ටින්ග් බෝට්ටු දියත් කරන කැලණි ගඟේ ඉහළට ගිය අතර, අපගේ අනෙකුත් කණ්ඩායම ඡායාරූපකරණය සඳහා ගඟේ පහළ ස්ථාන දෙකක ස්ථානගත විය. ඉන් එක් ස්ථානයක් වන්නේ “බ්‍රෝඩ්ලන්ඩ්” විදුලි බලාගාරය අසල ඇති කැලණි ගඟට ඉහළින් ඇති පාලමයි. අනෙකුත් අය ඊට ඉහළින් ගඟේ ඉවුරු දිගේ ස්ථානගත වෙමින් අපගේ පහුරු කණ්ඩායම පමණක් නොව, එන එන පහුරු වෙත කැමරා මානාගෙන ඡායාරූප ලබාගත්හ. ඒ අතර විදේශිකයෝද වූහ.

මෙසේම අපගේ තවත් කණ්ඩායම් දෙකක් රාෆ්ටින්ග් ක්‍රීඩාවට එක්වූ අතර, ඒ වන විට බ්‍රෝඩ්ලන්ඩ් විදුලි ව්‍යාපෘතිය යටතේ කැලණි ගඟට ජලය නිසි පරිදි මුදාහැරීම නිසා රාෆ්ටින්ග් බෝට්ටු රැසක්ම එක්ව තිබුණු අතර අපගේ ඉතිරි කණ්ඩායම මේ සියලු පහුරු පැදීම් ඉතා ආකර්ෂණීය ලෙස ඡායාරූපයට නගා තිබුණු බව අප දුටුවේ දහවල් ආහාර සඳහා කිතුල්ගල අවන්හලකට ගිය අවස්ථාවේදීය.

මේ අනුව කිතුල්ගල චාරිකාව අති සාර්ථක ලෙස නිමාව දුටු අතර, ඒ මගින් අපගේ කණ්ඩායම දෙආකාරයක අත්දැකීම් ලබාගත් බව නිසැකය. සැබැවින්ම අනතුරුව අප කිතුල්ගලින් නික්මුණේ ඉතා ප්‍රබෝධමත් මතකයන් රැසක් සිත්හි දරාගෙනය.

මෙම චාරිකාව රොහාන් ෆොන්සේකා මහතා විසින් Nikon School න්‍යායපත්‍රයට අනුගතව ඔවුන්ගේ සංවිධානයෙන් සිදුකරන ලද අතර, අපගේ “රාෆ්ටින්” ඉසව්ව සඳහා Serendib Adventures ආයතනය සම අනුග්‍රාහක දායකත්වයක් ලබාදීමෙන් සහයෝගය දක්වන ලදී, අමිල චන්ද්‍රමාලිමගේ හා ලියුම්කරුගේ දායකත්වය කිතුල්ගල චාරිකාව තුළ සනිටුහන් කරමින් “දිවයින” හරිත – “සංචාරේ” කණ්ඩායම මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.

සැරිසර – ජගත් කණහැරආරච්චි
අමිල චන්ද්‍රමාලිමගේ
ඡායාරූප –
Nikon School Team

advertistmentadvertistment
advertistmentadvertistment