බල්ලාගේ වර්ගයෙන් මැක්කාට වැඩක් නැත

1123

ඉහත සඳහන් මාතෘකාව තවදුරටත් මෙසේ විග්‍රහ කරමු. මෙලොව සිටින සුනඛ ප්‍රජාව විවිධ ජාතීන්ට අයත් ය. එහෙත්, මේ විශිෂ්ට සතාට ආගමක් හෝ කුලයක් නැත. එබැවින් මේ සතුන්ට අන්තවාදී ආගමික අර්බුද හෝ කුලවාදී අර්බුද නැත. තමන්ට ජාතියක් ඇති බව නොදන්නා බැවින් මස් කට්ටක් හෝ බනිස් ගෙඩියක් වෙනුවෙන් රණ්ඩු කළාට සුනඛයෝ ජාතිය වෙනුවෙන් මරාගන්නේ නැත. ඩැල්මේෂන්, ජර්මන් ෂෙපර්ඩ් හෙවත් ඇල්සේෂන්, ජැපනීස් ස්පිට්ස්, පොමරේනියන්, බීගල්, පාරේ සිටින බල්ලන් යනාදී වශයෙන් සිටින බලු ප්‍රජාව කුමන ජාතියකට අයත්ද යන්න මැක්කාට වැදගත් නොවේ. ඌ බලන්නේ කාගේ හෝ ඇඟේ එල්ලී ලේ උරා බීමට ය. මේ රටේ සමාජ මාධ්‍ය ජාලවල මෙවැනි මැක්කෝ බහුල ය. ෆේස්බුක්, යූ ටියුබ් සහ වෙබ් සයිට් හරහා විවිධ පුද්ගලයන්ට මඩ ගසමින්ද, ඔවුන් පිළිබඳ ලිංගික කරුණු හුවා දක්වමින්ද, තිත්ත කුණුහරුප වපුරමින්ද තමන්ගේ යූටියුබ් චැනල් හෝ ෆේස්බුක් එකවුන්ට් ජනප්‍රිය කරගැනීමට මේ මැක්කෝ උත්සාහ කරති. යූටියුබ් චැනල් එකක් ජනප්‍රිය වන තරමට චැනල් එක අයිතිකාරයාට යූටියුබ් ආයතනයෙන් ඩොලර් ගෙවනු ලැබේ. අප විසින් පෙර සඳහන් කරන ලද සමාජ ජාලා මැක්කන් ලේ පමණක් නොව මස්ද කෑමට පුරුදුව සිටී. ලංකාව දූෂිත සහ අසංස්කෘතික රටක් බවට පත්කිරීම සඳහා මේ පවතින සමාජ ජාල ක්‍රමය මගින් ලොකු දායකත්වයක් දී ඇත. ඒ නිසා මේ මැක්කන් සංහාරය කිරීම අත්‍යවශ්‍ය ය. අප මෙතැන් සිට අපගේ කතුවැකිය පටන් ගනිමු.

වත්මන් ආණ්ඩුව මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සහ කරන බවත් එහි අලුත්ම ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් ආණ්ඩුව කරන මෙම කටයුත්ත ත්‍රස්තවාදයක් බවත් ඒ අනුව ඊට එරෙහිව පාරට බැස අරගලයක් පටන්ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ. දෙවිනුවර ධීවර වරායේ සංචාරයක් අතරතුර මාධ්‍ය අමතා විපක්ෂ නායකවරයා විසින් මෙය කියනු ලැබ ඇත. මේ කතන්දරයට අවශ්‍ය කරන තල්ලුව දැනටමත් ලංකාවේ ඇමරිකන් තානාපති ජුලි චන්ග් මහත්මිය විසින් මුදාහැර ඇත. ශ්‍රී ලංකාව දියුණුව කරා යන ගමනේදී සමාජ මාධ්‍ය මර්දනය නොකළ යුතු බව ඇය සිය කතාවේදී පැවසුවාය. ජුලි චන්ග් තම කතාව කළේ අප එය ලියූ තරම් සිල්ලරට නොව වඩාත් බරපතල ලෙසය. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය කෙසේ හැසිරවිය යුතුද යන්න පිළිබඳ ආණ්ඩුවට කියාදුන් පාඩමකි. ජුලි චන්ග්ගේ වාසනාවට ඇය මෙම කතාව කිව්වේ ඉන්දියාවේදී හෝ චීනයේදී නොව ලංකාවේදී බව අපි නැවතත් මතක් කරමු. පෙරකී රටවලින් එකක ඇය මෙවැනි කතාවක් කිව්වා නම් මේ වන විට රටවල් දෙකේම වීසා තහනම් වී තානාපති නිලධාරීන් එළවා මළකෙළියක් පටන් ගන්නවා ඇත. ජුලි චන්ග් ඉහත සඳහන් අවවාදය අපට දෙන්නට ඇත්තේ එවැනි අවවාද වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගහමරා ගැනීමට අපට කිසිදු හයියක් නැති බව දැනගෙනය. දෙවිනුවර ධීවර වරායට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමාජ මාධ්‍ය පිළිබඳ තමන් තුළ ඇති අවංක අදහස සහ ආණ්ඩුව සමාජ මාධ්‍ය මර්දනයක් කරන්නට යන්නේ නම් එයට එරෙහි වන බව කීමෙන් කළ කැපවීම ගැන අප තුළ මහත් භක්තියක් තිබේ. එහෙත් දෙවිනුවර ධීවර වරායේදී විපක්ෂ නායකයා බැලීමට පැමිණි දුප්පත් සහ සරල ධීවරයන්ට සමාජ මාධ්‍ය තිබුණත් නැතත් වැඩක් නැති බව අපගේ මතය වෙයි. මෙම මිනිසුන්ට අවශ්‍ය වන්නේ ඉන්දියානු ධීවරයන් අපගේ මුහුදට පැමිණ අපගේ ධීවරයන්ට පහරදී අපට අයත් මත්ස්‍ය සම්පත කොල්ලකාගෙන යනවාට ය. එසේම බහුදින ධීවර යාත්‍රාවල නැගී මසුන් අල්ලන්නට යෑමේදී පාර වැරදුණු විට ආපසු නිසි මගට පැමිණීම සඳහා අවශ්‍ය කරන මගපෙන්වීම ලබාදෙන ගුවන් විදුලි සම්බන්ධතා යන්ත්‍ර ඔවුන්ට අවශ්‍ය ය. එසේම භූමිතෙල් හා ඩීසල් මිල අඩුකර ගැනීමටද ඔවුන්ට අවශ්‍ය ය. එසේ නැතිව රාජාංගනේ සිට ලෝකය පුරා ජනතාවගෙන් සල්ලි එකතු කරන කහ සිවුරු දඩෝරියා සජිත්ට, රනිල්ට, අනුර දිසානායකට සහ රාජපක්ෂලාට සිය යූටියුබ් චැනල් එක හරහා තිත්ත කුණුහරුපෙන් බැණීම ගැන ද ඒ මිනිසුන්ට හැඟීමක් නැත. සමාජ මාධ්‍ය නිදහස ආරක්ෂා කරදීමට වඩා තම ජීවනෝපාය ආරක්ෂා කරගැනීම ඔවුනට වටනේය. නැසීගිය ජනාධිපති ආර්. ප්‍රේමදාස හැමදාමත් කල්පනා කළේ සාමාන්‍ය මිනිහාගේ බඩට කෑම ටිකක් දමන්නේ කොහොමද යන්න ය. එහෙත් වඩාත් නවීනව හිතන සජිත් ප්‍රේමදාස මාධ්‍ය සදාචාරය තුළ කිමිදෙමින් සමාජ මාධ්‍ය ආරක්ෂා කිරීම සඳහා කතා කිරීමට එරෙහිව යමක් කීමට ද අපට අයිතියක් නැත.

තානාපති ජුලි චන්ග් ගේ අරමුණ වන්නේ ලංකාවට පාඩමක් ඉගැන්වීමය. සජිත් ප්‍රේමදාසට අවශ්‍ය වන්නේ ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමටය. මේ දෙක සංසන්දනය කර බැලීමේදී සජිත් ප්‍රේමදාසගේ ආස්ථානය වඩාත් සාධාරණ හා අහිංසක වන අතර ජුලි චන්ග්ගේ ආස්ථානය සඟවාගත් කිනිස්සක් හා සමාන වන්නේය. අපි මේ කතුවැකිය මෙතැනින් නවත්වමු. මේ ගැන කතා කරන්නට ගොස් ඇමරිකාව සතුරු කරගැනීමට හෝ සජිත් ප්‍රේමදාසට ලෙඩ දැමීමට අප තුළ අභිලාෂයක් නැත. එහෙත් ලංකාවේ සමාජ මාධ්‍ය නියාමනය කරමින් එහි සිටින යූටියුබ් මැක්කන් සහ ෆේස්බුක් මැක්කන් තලා දැමීම අනිවාර්යයෙන්ම කළ යුතුය. එම මැක්කන් ලේ කොපමණ ප්‍රමාණයක් උරා බී ඇත්ද යන්න තහවුරු වන්නේ එසේ තළා දැමීමේදී හටගන්නා ලේ පැල්ලම තුළින් ය.

advertistmentadvertistment
advertistmentadvertistment