ලොව විශිෂ්ටතම දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් කියයි

කෝලි හොඳම පිතිකරු කියල කියන්න අමාරුයි

පිට දඟ පන්දුවේ කාලය දැන් ඉවරයි

අපේ පුහුණු උපදේශක මහේල 2003 ලෝක කුසලාන තරගාවලියටම ලබා ගත්තේ ලකුණු 21යි

ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ සහ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පසුගිය බ්‍රහස්පතින්දා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයට පැමිණියේය.ඒ බිලියන දෙකක් වන ලෝක ළමයින් වෙනුවෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (යුනිසෙෆ්) තානාපතිවරුන් ලෙස මුරලිදරන් සහ සචින් ටෙන්ඩුල්කාර් දෙදෙනා එදින “ළමුන් වෙනුවෙන් දිනයක්” වැඩසටහන සඳහා මුල පිරූහ. එම වැඩසටහන වෙනුවෙන් පැමිණි මුරලි ඊට පෙර දිනෙක පූනේ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ මාධ්‍ය හමුවකට සහභාගී වූයේය. ඒ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයට පෙර දිනයේදීය. එහිදී මාධ්‍ය විසින් නගන ලද ප්‍රශ්නවලට මුරලි විසින් ලබා දෙන ලද පිළිතුරු ආශ්‍රයෙන් මෙම ලිපිය සකස් කෙරිණි.

අපේ කණ්ඩායම ආපස්සට ගිහින්…ශ්‍රී ලංකාවේ ආරම්භය දුර්වල වුණා

ප්‍රශ්නය – ලෝක කුසලාන තරගාවලි ගණනාවක අත්දැකීම් ඔබට තිබෙනවා. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ඔබගේ විග්‍රහය කෙබඳු ද?

පිළිතුරු- උණුසුම් තරගාවලියක ලක්ෂණ මුල ඉඳන්ම දැක ගන්න තිබුණා. ඒ වගේම කණ්ඩායම් සියල්ල හොඳ තරගයක යෙදෙනවා. ඉදිරි තරග මීටත් වඩා උණුසුම් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

ප්‍රශ්නය – තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබෙන්නේ කුමන රටටද?

පිළිතුරු – ඒකට නිශ්චිත පිළිතුරක් දෙන්න අමාරුයි. ඒත් කණ්ඩායම් දෙක තුනක් ඉහළ දක්ෂතා අතර සිටිනවා. ඉන්දියාව ඒ අතරින් වැඩි වශයෙන් කියවෙන නමක්. සත්කාරක වාසියද ඔවුන්ට තියෙනවා. ඔවුන් එක දිගට දක්ෂතා දැක්වූවා. දැනටත් ඔවුන් අපරාජිතයි. ඔවුන් ගේ පිතිකරුවන් මෙන්ම පන්දු යැවීමේ බල ඇණියද ඉතා ශක්තිමත්.

අනෙක් රටවල් ගත්තහම මුලින් හොඳට පටන් අරගෙන පස්සේ ටිකක් මන්දගාමී වුණා. නවසීලන්තය ඒ අතරින් ප්‍රමුඛයි. ඔවුන් ලෝක ශූරයන් පරාද කරමින් ගමන පටන් ගත්තා. ඒත් පසුව ටිකක් පසු බැස්සා. ඔස්ට්‍රේලියාව පරාජයන්ගෙන් පටන් අරගෙන දැන් ජයග්‍රහණය කරමින් සිටිනවා. දකුණු අප්‍රිකාවත් මෙවර තරගාවලියේ පෙරළියක් කරනු ඇතැයි සිතිය හැකි කණ්ඩායමක්.

ප්‍රශ්නය – මෙවර ලීග් තරගාවලියේදී කණ්ඩායම් සියල්ල අනෙක් කණ්ඩායම් සමග එක් වරක් බැගින් තරග කරනවා. ඔබ එය දකින්නේ කොහොමද?

අපේ කණ්ඩායම ආපස්සට ගිහින්…ශ්‍රී ලංකාවේ ආරම්භය දුර්වල වුණා

පිළිතුරු- ඔව්. මේ වතාවේ තරග ආකෘතිය වෙනස්. හැබැයි ඒ නිසා කණ්ඩායම් ගණන අඩු වෙලා තිබෙනවා. දෙවතාවක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් මෙවර තරගාවලියේ ස්ථානයක් නැහැ. ඔවුන් හිටපු ලෝක ශූරයන් කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. කොදෙව්වන් මේ තරගාවලියට නොමැතිවීම අඩුවක්. ඒ වගේම සිම්බාබ්වේ කණ්ඩායමත් තරගාවලියෙන් හැලිලා ගිහින්. ඉස්සර කණ්ඩායම් 12 හෝ 14 ක් හෝ කාණ්ඩ දෙකක් යටතේ පළමු වටයේදී තරග කරනවා. 2007 දී කණ්ඩායම් 16 ක් තරග කළා. ටෙස්ට් වරම් නොමැති කණ්ඩායම් 5 ක් 6 ක් ද සමහර වෙලාවට තරගාවලියේ ඉන්නවා. පසුව ඒ ඒ කාණ්ඩවල හොඳටම දස්කම් දැක්වූ කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග සඳහා තෝරා ගත්තා. ඒකෙන් මීට වඩා කණ්ඩායම් වැඩි ගණනකට තරගාවලියට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ඔබගේ තක්සේරුව කොහොමද?

පිළිතුරු – ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම කැමැතියි අපේ කණ්ඩායම ලෝක කුසලාන දිනනවා නම්. ඒ නිසා මගේ පළමු කැමැත්ත තමයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම. ඒත් අපේ ආරම්භය දුර්වල වුණා. ජයග්‍රහණය කළ හැකිව තිබූ තරග දෙකක් විතර පරාජය වුණා. පකිස්ථානයට එරෙහිව අපි ලකුණු 350 ක් ලබා ගත්තත් අපිට ඒක ආරක්ෂා කර ගන්න බැරි වුණා. දකුණු අප්‍රිකාව ලකුණු හාරසිය ගාණක් ලබාගෙන අපි ඒ ආසන්නයටම ගොස් පරාජය වුණා. ඔස්ට්‍රේලියාවට එරෙහිව හොඳ ආරම්භයක් ලබා ගෙන ඒක පවත්වා ගෙන යන්න බැරි වුණා. ඒ තරග තුනෙන් දෙකක් හෝ බැරි නම් එකක් හරි ජය ගත්තා නම් අපිට අවසන් පූර්ව වටයට එන්න අවස්ථාව තිබුණා.

ප්‍රශ්නය – ඔබ ක්‍රීඩා කරන කාලයේ එනම් එදා ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා දක්ෂයි. ගොඩක් නම ගිය ක්‍රීඩකයෝ හිටියා. එදා වගේ දක්ෂ ක්‍රීඩකයන් අද කණ්ඩායමේ නැත්තේ ඇයි?

පිළිතුරු – දක්ෂයින් ඉන්නවා. හැබැයි මට පේන්නේ චැම්පියන්ස්ලා නැහැ. ලොකු තරගාවලි දිනන්න චැම්පියන්ස්ල ඕනා. හැබැයි චැම්පියන්ස්ල කියන්නේ දවසින් දෙකකින් අවුරුද්දකින් දෙකකින් හැදෙන අය නොවෙයි. ඒ අයව හැදෙන්න අවුරුදු 4-5 ක් යනවා. ඔවුන් ගොඩනඟන්න ඕනා. ඒක ක්‍රමානුකූලව කාලය සහ අත්දැකීම් එක්ක සිදු වෙන ක්‍රියාවලියක්. මං හිතන්නේ 2015ට පස්සේ අවංකවම කියනවානම් අපි ඒ වගේ ක්‍රීඩකයන් ගොඩනැඟුවේ නැහැ. අපි දැක්කේ කවුරුහරි හොඳට සෙල්ලම් කරනවා. ඊළඟට අසාර්ථක වෙනවා. ඊට පස්සේ ටීම් එකේවත් නෑ කියන එකයි. හොඳම උදාහරණය හිටපු ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු. මම එයා ගැන අතිශයින්ම කනගාටු වෙනවා. එයාට මොකද වුණේ කියලා මම දන්නවා. පහුගිය ලෝක කුසලානයේ ඔහු ශතක දෙකක් ගැහුවා. ඒත් දැන් ඔහු කණ්ඩායමේ නැහැ. ඒ කියන්නේ අපි එයාව ගොඩනඟලා නැහැ. ඔහුට හොඳ හැකියාවක් තියෙනවා. අපි එයාව හොඳින් රැක බලා ගත යුතුව තිබුණා. කාලෙන් කාලෙට හැමෝම වගේ අසාර්ථක වෙනවා තමයි. බලන්න මහේල ජයවර්ධන. 2003 ලෝක කුසලානයේදී ඔහු තරග අටටම රැස් කළේ ලකුණු 21ක් විතරයි. අපි එයාව ඩ්‍රොප් කළාද. නැහැ. අන්තිමට එයා ලෙජන්ඩ් කෙනෙක් වුණා. ඒ නිසා අපි ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් දෙන්න ඕනා. එතකොට තමයි එයාලා ගොඩ නැඟෙන්නේ.

තව එකක් කියන්නම්. ජයසූරිය, කළුවිතාරණ 1989-1990 වකවානුවේ කණ්ඩායමට ආවේ. ඒගොල්ලෝ කොයි කාලෙද ස්ථාවරත්වයකට පත් වුණේ. 1996-1997 කාලයේදියි. අවුරුදු 7ක් අර්ජුන එයාලාව කණ්ඩායමේ තියා ගත්තා. අවස්ථා ලබා දෙමින්. ඒ නිසා මම කියන්නේ අපි ක්‍රීඩකයන් ගොඩනඟන්න ඕනා. එතකොට තමයි සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක සිද්ධ වුණේ ඒ කාලයේ අර්ජුන ඉවසීමකින් වැඩ කළ නිසයි. අපිට අවුරුදු 20ක් තිස්සේ කණ්ඩායමට ඒ වගේ විශිෂ්ට ක්‍රීඩකයන්ගේ දායකත්වය ලැබුණා.

ප්‍රශ්නය – වත්මන් තත්ත්වය දෙස ඊට සාපේක්ෂව බැලුවොත් ඔබට මොකද කියන්න තියෙන්නේ?

පිළිතුරු – දැන් අපි ආපහු පස්සට ගිහින් ඉන්නේ. අපිට ඕන කරන්නේ කොහොම හරි මේ ලෝක කුසලාන තරගාවලිය දිනන්නයි. කොහොම හරි ජයග්‍රහණ ලබා ගන්නයි. ඒ වගේ අරමුණු ඇතිව අපි ක්‍රීඩකයන් මාරු කරනවා. ඒ නිසා ක්‍රීඩකයන්ගේ විශ්වාසය පහත වැටිලා. අලුතින් ක්‍රීඩකයෙක් ආවාම එයාට පීඩනය වැඩියි දස්කම් දැක්වීමේදී. ඒක කණ්ඩායමට බලපාලා තියෙනවා. ඔබට ක්‍රීඩකයන්ට දොස් කියන්න බැහැ. එයාලා ඉතා කැපවීමෙන් වැඩ කරනවා. ඒත් අනිත් අයත් එයාලට හොඳ සහයෝගයක් ලබා දිය යුතුව තිබෙනවා. එතකොට තමයි අපි කණ්ඩායමක් හැටියට ඉස්සරහට යන්නේ. ඒක තමයි දැන් අපිට නැත්තේ. ඒක තමයි අපි දැන් අස්ථාවර වෙලා ඉන්නේ. අපි ගිය අවුරුද්දේ ආසියානු කුසලානය දින්නා. මේ පාරත් අවසන් මහා තරගයට ආවා. ක්‍රීඩකයන්ට ටැලන්ට් එක තියෙනවා.

ප්‍රශ්නය – ඔබ ක්‍රිකට් ලෝකයම අතික්‍රමණය කළ පිට දඟ පන්දු යවන්නෙක්. වසර 20 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔබ රැඳී සිටියා. ඒත් ඔබගේ සමු ගැනීමෙන් පසුව ස්ථාවර පිටදඟ පන්දු යවන්නෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට හමු වුණේ නැහැ. ඔබ මොකක්ද ඊට හේතුව ලෙස දකින්නේ?

පිළිතුරු – අපිට මෙහිදී රංගන හේරත් අමතක කරන්න බැහැ. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙක් විදිහට කඩුලු 400ක් දවාගෙන දක්ෂතා දක්වා තිබෙනවා. හැබැයි මම හිතෙන්නේ දැන් ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේම පිට දඟ පන්දු කලාව ඉවත්වේගෙන යනවා. ඉන්දියාවේ අශ්වින් හා ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් වගේ කීප දෙනෙක්ගෙන් විතරයි ඒක අපිට දකින්න පුළුවන්. දැන් ලෝකයේ පුහුණුකරුවන් හා තේරීම් කමිටු ගත්තත්, පිට දඟ පන්දු යවන්නන්ට වඩා වෙනත් පන්දු යවන්නන් තෝරා ගැනීමට උනන්දුවක් දක්වනවා. ඒ නිසා කණ්ඩායමකට පිට දඟ පන්දු යවන්නෙකුට තියෙන අවස්ථාව දැන් එන්න එන්න අඩු වෙලා තියෙන්නේ. එහෙම වුණාහම පිට දඟ පන්දු යවන්නන් හැදෙන්නේ නැහැ.

ප්‍රශ්නය – මේ වනවිට ලෝක ක්‍රිකට් පිටියේ සිටින විශිෂ්ටතම පිතිකරුවා ඉන්දියාවේ විරාත් කෝලි කිව්වොත් ඔබ එය පිළිගන්නවාද?

පිළිතුරු – මට ඒකට එක එල්ලේ උත්තරයක් දෙන්න බැහැ. ඔහු විශිඨයෙක් තමයි. ඒත් තවත් දක්ෂ පිතිකරුවන් ඉන්නවා. බලන්න මේ තරගාවලිය දිහා. පිතිකරුවන් කොච්චර හොඳින් දස්කම් දක්වනවා ද කියලා.

ප්‍රශ්නය – මෙවර තරගාවලියේ මේ වන විට පෙරළිකාර ජයග්‍රහණ දෙකක් වාර්තා වී තිබෙනවා. එකක් නෙදර්ලන්තය විසින් ලෝක ශූර එංගලන්තය පරාජය කිරීම. දෙවෙනි අවස්ථාව ඇෆ්ගනිස්ථානය විසින් දකුණු අප්‍රිකාව පරාජය කිරීම. මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

පිළිතුරු – මට එතනින් එක් අවස්ථාවක් පමණයි පිළිගන්න පුළුවන්. ඒ නෙදර්ලන්තය විසින් එංගලන්තය පරාජය කිරීම. නෙදර්ලන්තය තමයි ටෙස්ට් වරම් නොමැති කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියට එකතු වෙන එකම කණ්ඩායම. ඔවුන් ලෝක ශූරයන් පරාජය කිරීම පෙරළියක් තමයි. හැබැයි ඇෆ්ගනිස්තානය කියන්නේ දක්ෂ නැගී එන කණ්ඩායමක්. ලොව ප්‍රධාන පෙළේ දඟ පන්දු යවන්නන් තුන් හතර දෙනෙක් ඔවුන් සතුව ඉන්නවා. රෂීඩ්, මුජිබුර්, නබී. ඒ වගේම ෆරූකි දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඔවුන් ගේ ක්‍රීඩකයන් ලෝකෙ වටේ හැම ෆ්‍රැන්චයිස් තරගාවලි සඳහාම සහභාගි වෙනවා. ඒ වගේම ඔවුන් ට ඒ සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. කොටින්ම ඇෆ්ගනිස්තානය කියන්නේ අවසන් පූර්ව තරග සඳහා වුණත් යන්න පුළුවන් කණ්ඩායමක්. ඔවුන් 1996-97 කාලයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වගෙයි.

ප්‍රශ්නය – පන්දු යවන්නන් මෙවර තරගාවලියේ ගොඩක් ප්‍රහාරයට ලක් වුණා. මුලින් පන්දුවට පහරදුන් ඇතැම් කණ්ඩායම් ලකුණු 340 සීමාව අපහසුවකින් තොරව පසු කර ගියා. ඒ වගේම ලකුණු 400 ආසන්නයට ගියත් දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායම එය ආසන්නයටම එනවා. ඇයි මෙහෙම වෙන්නේ?

පිළිතුරු – ඉන්දියාවේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරනවිට ඔබ මේ තත්ත්වය බලාපොරොත්තු වෙන්න ඕනා. මේ තණතීරුවල ගොඩක් ලකුණු තියෙනවා. පන්දුව හරි තැන පතිත නොවුණහොත් නිසැකවම ඔබ ප්‍රහාරයට ලක්වෙනවා. එය වළක්වන්න අමාරුයි.

කුෂාන් සුබසිංහ
ඉන්දියාවේ මුම්බායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment