අප බොහෝ දෙනෙකුගේ වර්තමාන ජීවන රටාව වී ඇත්තේ උදෑසන අවදිව රාජකාරි සඳහා යෑම සහ සවසට නිවසට පැමිණීමය. එම කාලය තුළ යම් අමතර ක්‍රියාකාරකමක නිරත වෙනවානම් එය ජංගම දුරකථනය සමග ය. එනිසා යම් පුද්ගලයකු උදෑසනට හෝ සවසට ව්‍යායාමයක් ලෙස ඇවිදිනවා නම් මොකද ප්‍රෙෂර් ද, ෂුගර් ද, කොලෙස්ටරෝල් ද ලෙස රෝග රැසක් ගැන විමසති. ඊට හේතුවී ඇත්තේ කිසියම් ක්‍රීඩා අංශයක නිරතව සිටින පුද්ගලයන් හැර බහුතරයක් පිරිස දිනපතා ව්‍යායාමවල නිරත නොවන බැවිනි. විශේෂයෙන්ම මැදිවියට පත්ව සිටින අයෙකු ව්‍යායාමයක නිරත වන්නේ නම් අනිවාර්යයෙන්ම එම තැනැත්තා දියවැඩියාව, අධිරුධි පීඩනය, කොලෙස්ටරෝල් අධික බව හෝ හෘදයාබාධ වැනි රෝගයකින් පෙළෙන බව සිතනු ලබයි.

ඇත්තෙන් ම මෙය සත්‍ය කරුණකි. වර්තමානයේ වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් වැඩි උනන්දුවකින් යුතුව ව්‍යායාමවල නිරතවේ නම් ඔවුන් අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගයක් පාලනය සඳහා වෛද්‍ය උපදෙස්මත ව්‍යායාමවල නිරත වෙති. එසේ නොමැතිව වැස්සකටවත් දුවන්නට තරම් උනන්දුවක් වර්තමානයේ අප බොහෝ දෙනාට නැත.

ව්‍යායාමවල නිරතවීම දියවැඩියාව, අධිරුධි පීඩනය, කොලෙස්ටරෝල් අධික බව වැනි රෝගවල දී රුධිරයේ සීනි මට්ටම පාලනයට, සිරුරේ අධික ලෙස මේදය තැන්පත්වීම වළක්වා ගැනීමට සහ හෘදයවස්තුවේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදුවීම සඳහා සිදුකරන මෙම ව්‍යායාමවල දී තම වයස සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය ලක්කරමින් ව්‍යායාමවල යෙදිය යුතුය.

ක්‍රීඩකයින් මෙන් මස් පිඬු ශක්තිමත් කරගැනීම ප්‍රධාන අරමුණ කරගෙන මෙම ව්‍යායාමවල නිරත නොවේ. මෙම ව්‍යායාමවල ප්‍රධාන අරමුණ කැලරි දහනය කිරීමය. සෙමින් දිවයෑම, ව්‍යායාම උපකරණ භාවිත කිරීම, පිහිනීම ආදිය කළ යුත්තේ නිසි වෛද්‍ය උපදෙස්වලින් පසුයි. ආතරයිටීස් වැනි රෝග නිසා දණහිස ආබාධ මතුව ඇතිවිට දිවීම සහ ව්‍යායාම උපකරණ භාවිතය නිසා පවතින රෝග උත්සන්නවිය හැකිය.

එබැවින් ඔවුනට වඩාත් සුදුසු ව්‍යායාමය කුමක් දැයි කියා තීරණය කරගත යුතුය.

බොහෝ දෙනෙකුට සුදුසු වන්නේ ඇවිදීමේ ව්‍යායාම වුවත් එයත් සිදුකරන ආකාරයට නිවැරදිව හඳුනාගත යුතුය.

යෝග ව්‍යායාමවල යෙදීමේදී වඩා සංකීර්ණ යෝග ක්‍රමවලට නොගොස් සූර්ය වන්දනාව වැනි පහසු ව්‍යායාමවල යෙදීම කළ හැකිය.

එසේ නොවුණහොත් මස්පිඬු ආබාධ, කොන්දේ ආබාධ ආදිය මතුවිය හැකිය.

ව්‍යායාම මගින් ලැබෙන ප්‍රතිඵල

නිවැරදි අයුරින් ව්‍යායාමවල යෙදීමේ දී හොඳින් හෘද ස්පන්ධනය සිදුවන බැවින් හෘදයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් වේ. එවිට රුධිර ගමනාගමනය ද හොඳින් සිදුවේ. ව්‍යායාමවල නිරතවීමේදී සිරුරේ ඇතිවිය හැකි ඉන්සියුලින් ප්‍රතිරෝධය වළක්වා ගත හැකිය. එවිට හොඳින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය සිදුවීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය වේ.

ආහාර පාලනය

ව්‍යායාම කිරීම මගින් නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් නිසි ආහාර පාලනයක් ද සිදුකරගත යුතුය. එසේ නොවුණහොත් ව්‍යායාම කිරීම මගින් දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා ආහාර මගින් නැවත සිරුරට කැලරි ප්‍රමාණයක් එක්වේ. එවිට ව්‍යායාම මගින් නිසි ප්‍රතිඵලයක් ලබාගත නොහැක. එනිසා වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනයක් සිදුකළ යුතුය. ඒ සඳහා නිවැරදි ආහාර වට්ටෝරුවක් අනුගමනය කළයුතුය.

බොහෝ දෙනා ආහාර පාලනයේ දී ප්‍රෝටීන් සහිත ආහාර වර්ග ගැනීම ද සීමා කරයි. එනම් බිත්තර, මස් වර්ග ආදිය ගැනීම අත්හිටුවයි. ප්‍රෝටීන් මගින් සිරුරේ මස් පිඬු ශක්තිමත් වේ. එනිසා ආහාර පාලනයේ දී ප්‍රෝටීන් නිසිලෙස නොගතහොත් සිරුර වැහැරේ. එනිසා මස් වර්ග නොගන්නේ නම් සෝයා ආහාර වර්ග හෝ ගැනීම කළ යුතුය.

සකස් කළේ –
උපාලි ද සේරම්

උපදෙස් කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විiාජෝති මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද

advertistmentadvertistment
advertistmentadvertistment