ශ‍්‍රී ලංකාව ලෝකඩ පදක්කම දිනා ගනී – ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය

166

ආසියානු හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ඊයේ (20) සවස නිමාව දුටු 06 වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන පිරිමි හොකී තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් කැපී පෙනෙන්නට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මධුරංග විජේසිංහ ගේ නායකත්වයෙන් සහ තරංග ගුණවර්ධන ගේ උප නායකත්වයෙන් සැදුම්ලත් වූ ශ‍්‍රී ලංකා පිලට අයි.කේ. ජයසුන්දර,නලන්ත ද සිල්වා,ළහිරු වීරසූරිය,එස්.එස්. ප‍්‍රියලංකා, ටී.කේ.හේන්දෙණිය, සී.ආර්. ප‍්‍රනාන්දු, එස්.එස්.ද කොස්තා, එම්.එස්.වීරසූරිය, ආර්.එස්.නිමංක, එම්.ජී.සංජීව , කේ.එච්.තිලකසිරි,එම්.ඒ.සුරේෂ්, ආර්.ඞී.කුලතුංග, පී.යූ.ප‍්‍රනාන්දු, විපුල ධනුෂ්ක, ඞී.එල්.බණ්ඩාර, වයි.ඞී.අල්විස් සහ ඞී.පී.රණසිංහ ඇතුළත් වූහ.

ආසියානු හොකී සම්මේලනය කුසලාන තරග ඉතිහාසයේ සිව්වැනි ලෝකඩ පදක්කම සටහන් කර ගැනීම සඳහා ගිය ගමනේ දී ප‍්‍රතිවාදී කසකස්ථානය ට එරෙහිව ගෝල් 04 – 03 ක තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට ශ‍්‍රී ලංකාව ට එහිදී හැකි විය.

ශ‍්‍රී ලංකාව සහ කසකස්ථනය අතර පැවති මෙම තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීය. තරගය ඇරැුඹී පළමු කාර්තුවේ දී කිසිදු ගෝලයක් වාර්තා නොවුණ ද දෙවන කාර්තුවේ දී පළමු ගෝලය සටහන් කර ගනිමින් පෙරමුණ ගැනීමට කසකස්ථානය සමත්වීම කැපී පෙනුණි.

එහෙත්, තෙවන කාර්තුව ආරම්භවීමත් සමගම සංයමයෙන් යුතුව පන්දුව හැසිර වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ගෝල් ත‍්‍රිත්වයක්ම සටහන් කරමින් තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වූහ.

එස්. එස්. ප‍්‍රියලංකා සහ අනුරාධ සුරේෂ් 32 වැනි මිනිත්තුවේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රථම සහ දෙවන ගෝලය එක මිනිත්තුවක් තුළ දී සටහන් කළ අතර ලහිරු වීරසූරිය 45 වැනි මිනිත්තුවේ දී දඬුවම් විදීමක් ආශ‍්‍රිතව තෙවන ගෝලය ලබා ගත්තේය.ඒ වන විට ගෝල් තත්ත්වය 03 – 02 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි විය.

56 වැනි මිනිත්තුවේ දී කුසල් තිලකසිරි රැුස් කළ ගෝලයත් සමගම ශ‍්‍රී ලංකාවේ ගෝල් එකතුව 04 ක් බවට පත්විණි. ඊට මිනිත්තු 02 කට පසුව දඬුවම් විදීමක් ආශ‍්‍රිතව තම තෙවන ගෝලය වාර්තා කර ගැනීමට කසකස්ථානය සමත් වුවද එය පරාජයෙන් ගැලවීමට තරම් ප‍්‍රමාණවත් නොවිණි.

ශ‍්‍රී ලංකාව සහ කසකස්ථනය මෙවර මූලික වටයේ දී ”ඒ” කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එහිදී ගෝල 04 – 00 ක පහසු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට ශ‍්‍රී ලංකා පිලට හැකි විය.

එහෙත්, ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දී කසකස්ථානය වෙතින් දිස් වූ ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාව කැපී පෙණුනි.

පසු ගිය සෙනසුරාදා (19) පැවැති අවසන් පූර්ව තරග ආශ‍්‍රිතව ඕමානය හමුවේ ශ‍්‍රී ලංකාව ගෝල් 02 – 01 ක් ලෙස ද බංග්ලාදේශය හමුවේ කසකස්ථානය ගෝල 08 – 01 ක් ලෙස ද පරාජය ලැබීය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙවර අවසාන තරගය සඳහා වරම් ලබා ගැනීමට බංග්ලාදේශය සහ ඕමානය ට හැකි විය.

හොංකොං දේශයේ දී පවත්වන ලද පසුගිය වර තරග මාලාවේ රන් පදක්කම බංග්ලාදේශයට ද රිදී පදක්කම ශ‍්‍රී ලංකාවට ද හිමි විය

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment