ඩීසල් බලාගාර තුනකින් හදිසි විදුලිය!

375

විදුලි කප්පාදුවක් නෑ – ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියති

ලබන සතිය වනවිට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් හයසීය අනූවක් අහිමි වී ගියත් කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැතැයි ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටිති.

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ඉකුත් 08 වැනිදා හදිසියේ අක්‍රීය වූ අතර එහි තුන්වන ජනන යන්ත්‍රය මාස තුනක කාලයකට නඩත්තුවක් සඳහා නතර කර ඇත. ඒ අනුව එමගින් ජාතික විදුලි පද්ධතියට ලැබුණු මෙගාවොට් (270ං2) පන්සීය හතළිහක් අහිමිව ඇත. මීට අමතරව සමනලවැවේ ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා මුදාහැරීම නිසා ලබන 16 වනවිට එමගින් පද්ධතියට එක්කළ මෙගාවොට් 150ක් අහිමිව යන බවද ඔවුහු පවසති.

නමුත් මේ වනවිට හදිසි මිලදී ගැනීම් යටතේ පුද්ගලික ඩීසල් බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනීමට සැලසුම් කර ඇත. ඊට අමතරව දකුණට විදුලිය ගෙනයෑමට ඉදිකරමින් තිබිය දී තේ වත්තක් නිසා නතරවී තිබෙන පොල්පිටිය, හම්බන්තොට අධි බලැති සම්පේෂණ මාර්ගය අවසන් කළහොත් ජාතික විදුලි පද්ධතියේ සමතුලිත භාවය රැකගත හැකි වන බවද ඔවුහු කියා සිටිති.

දැනට නොරොච්චෝල ලක්විජය දෙවන ජනන යන්ත්‍රය ද ලබන 18 පමණ වනවිට යළි සක්‍රීය වනු ඇත. එසේ වුවහොත් දෛනික විදුලි කප්පාදුවකින් තොරව රටට ම අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකිවනු ඇතැයි ඉංජිනේරුවෝ විශ්වාසය පළකර සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment