අරගලය පිළිබඳ පශ්චාත් පරීක්ෂණයක්

968

ගාලු මුවදොර අරගලයට වසරක් සම්පූර්ණ වීමෙන් පසු එම අරගලයේ feed back එකක් නොහොත් පශ්චාත් පරීක්ෂණයක් වෙරිටේ රිසර්ච් නමැති ආයතනයක් මගින් ප්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් මෙම පශ්චාත් පරීක්ෂණය කර ඇත්තේ ජනමත විමසුමක් හරහා ය. එම ජනමත විමසුමට සහභාගී වූ 1008 ක පුරවැසි නියැදියකගෙන් 60% ක් පවසා ඇත්තේ අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නැති බවය. වෙරිටේ රිසර්ච් යනු අවුරුදු 13 ක් පැරණි සමීක්ෂණ ආයතනයකි. මේ රටේ තිබූ ඇතැම් සමීක්ෂණ ආයතන ජනතාවට බොරුකීම නිසා සම්පූර්ණයෙන්ම කැන්සල් වී ගොස් ඇති මෙවැනි අවධියක වෙරිටේ රිසර්ච් ආයතනය ඉස්මතු වෙමින් පවතී. රූපවාහිනී නාලිකාවල ජනප්‍රියත්වය සහ පුවත්පත්වල අලෙවිය සම්බන්ධයෙන් සමහර පෞද්ගලික පර්යේෂණ ආයතන පල් බොරු කෙළින හැටි පසුගිය දවසක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට විසින් කෝප් කමිටුව ඉදිරියේදී හෙළි කරන ලදී. ශ්‍රී ලංකාවේ දෙකෝටි විසිපන් ලක්ෂයක ජනගහනයක් සිටී. මෙයින් කෝටියක්ම වැඩිහිටි ජනගහනය ලෙසත් තවත් පනස් ලක්ෂයක් තරුණ ජනගහනය ලෙසත් හඳුනාගත හැකිය. සාමාන්‍යයෙන් රටේ තිබෙන කිසියම් කාරණයක් පිළිබඳ ජනමත විචාරණයක් හෙවත් සමීක්ෂණයක් පැවැත්වීමේදී මේ පිරිසෙන් 10% කවත් නියැදියක් අවශ්‍ය වේ. එක්කෝටි පනස් ලක්ෂයකින් 10% යනු පහළොස් ලක්ෂයකි. පහළොස් ලක්ෂයක ජනගහනයකින් ප්‍රශ්න කිරීම අවුරුදු ගණනක් ගත විය හැකි දුෂ්කර කාර්යයක් නිසා මෙබඳු අවස්ථාවලදී දහසක, දෙදහසක හෝ තුන් දහසක ප්‍රායෝගික නියැදියක් ලබා ගැනීම අතිශයින් යෝග්‍ය වේ. එසේ තිබියදී එක්තරා ජනමත සමීක්ෂණ ආයතනයක් රූපවාහිනී නාලිකාවල ජනප්‍රියත්වය සෙවීම සඳහා තෝරාගෙන තිබුණේ ගෙවල් 275 ත් 350 ත් අතර ගණනකි. මෙවැනි ප්‍රමාණයකින් රූපවාහිනී නාලිකාවල ජනප්‍රියත්වය තක්සේරු කරගැනීමට නොහැක. ජනමතය පිළිබඳ සමීක්ෂණ කරන ආයතන ලක්ෂ ගණනක් ලෝකයේ තිබේ. මේවායින් 75% ක පමණ පුරෝකථන නිතරම අසාර්ථක වේ. අප මෙයින් කියන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය බොරු කියන බවක් හෝ ඔවුන්ගේ සාම්පල ගණනය සහ සාම්පල නිරීක්ෂණය අසාර්ථක බවක් නොවේ. අපගේ වෑයම නම් මේ රටේ අරගලය සම්බන්ධයෙන් ජනතා අදහස් යොදාගෙන වෙරිටේ ආයතනය දී ඇති තීන්දුව පරීක්ෂාවට ලක් කිරීමය.

මීට අවුරුද්දකට පෙර පැවති අරගලය ඉතාම අසංවිධානාත්මක එකමුතුවකි. මේ අරගලයට නායකයන් බොහෝ දෙනෙක් සිටියහ. එසේම එම නායකයන්ගේ අරමුණු විවිධ විය. ගෝඨාභය රාජපක්ෂ පලවාහැරීම එක් පිරිසකගේ අරමුණ විය. තව පිරිසකගේ අරමුණ වී තිබුණේ යූ ටියුබ්කාරයෙක් ජනාධිපති කරවීමය. තවත් කට්ටියකට අවශ්‍යව තිබුණේ නායකත්ව මණ්ඩලයකින් රට පාලනය කිරීම ය. අරගල භූමියට පැමිණ උදේ සිට සවස්වන තුරු කල්ගත කර නොමිලේ ලැබුණු ආහාරවලින් තුන් වේලම බඩ පුරවා ගැනීම තවත් කට්ටියකගේ උදරාභීලාෂය විය. තවත් අයට විවිධ අරමුණු තිබිණි. ඇතැම් කූඩාරමක කොස්ගොඩ සුජී නමැති පාතාල මැරයාගේ ගෝලයෝ ද වූහ. අරගලයේ නියම නායකත්වය හිමිවන්නේ ජනතා විමුක්ති පෙරමුණට ද නොඑසේ නම් පෙරටුගාමීන්ට ද යන ප්‍රශ්නය මතු විය. මේ අතර සමගි ජනබලවේගයේ නායකත්වය ජේ.වී.පී.යෙන් සහ පෙරටුගාමීන්ගෙන් ගුටි කෑහ. මේ අරගලය සමාන වුණේ 1789 දී ආරම්භ වූ ප්‍රංශ විප්ලවයට ය. ප්‍රංශ විප්ලවය එක දිගට දහ අවුරුද්දක් ඒ රටේ පැවතින. සාමාන්‍යයෙන් 1970 දක්වාම විප්ලවයක අරමුණ වුණේ නිර්ධන පන්ති ආඥා දායකත්වය බලයට ගෙන ඒමය. ඒත් ප්‍රංශ විප්ලවයේදී එක ධනපති පන්තියක බලය පැහැරගෙන තවත් ධනපති පන්තියකට භාර දීමය. මේ හා සමාන තත්ත්වයක් වසර 2005 දී පමණ මාලදිවයිනේදී ඇති විය. එහි අරමුණ වූයේ ධනපති අබ්දුල් ගයුම්ගේ ආණ්ඩුව පලවා හැර වෙනත් ධනපතින් පිරිසක් විසින් ආණ්ඩුව අල්ලා ගැනීමය. ගිය අවුරුද්දේ ජූලි අරගලයේ එක ඉල්ලීමක හෙවත් ප්‍රධාන ඉල්ලීම ඉටු වූ අතර ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය අත්හැරියේය. අවසන් මොහොතේදී ඔහු ත්‍රිවිධ හමුදාව පවා විශ්වාස නොකළේය. ත්‍රිවිධ හමුදාව ඔහුගේ ජීවිතය රැකදෙන බවක් ඔහුට පෙනුනේ නැත. ගෝඨාභය රටින් පලාගිය පසු නැවතත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගත් අතර මුලින් අගමැති බවටද පසුව ජනාධිපති බවට ද රනිල් වික්‍රමසිංහ පත් විය.

ගිය අවුරුද්දේ ජූලි අරගලය පටන් ගත්තේ සාම්ප්‍රදායික මාක්ස්වාදයට අනුව නිර්දන පන්ති ආඥාදායකත්වය බලගැන්වීමට නොවේ. එකල ඇතිවූ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ ලයිට් කැපිල්ල ඉවසා ගැනීමට බැරිවූ තැන ජනතාව මහපාරට පැමිණියහ. එවිට වෙනත් දේශපාලන බළල් අත් විසින් ඒ ජනගහනය බා ගන්නා ලදි. අරගලයේ අවසන් වුවමනාව වුණේ දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තැබීම නම් එම අරමුණද යම් ප්‍රමාණයකින් සාර්ථක වූ බව පෙනෙන්නට තිබේ. එසේම අරගලයේ අරමුණ “ගෝඨා ගෝ හෝම්” නම් එම අරමුණ ද සාර්ථක වී තිබේ. අරගලයේ අරමුණු ඉෂ්ට වී නැති බව කෙනකු පැවසුවහොත් එය වැරදි නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment