ශාෆ්ටර්ගේ දේහය පවුලේ ඥාතීන්ට භාරදීමට නියෝග

115

අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ වැඩිමහල් සොහොයුරු රමේෂ් ශාෆ්ටර් ඇතුළු පවුලේ ඥාතීන්ට භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (24 දා) නියෝග කළාය.

භූමදානය කොට තිබියදී මරණය සිදුවූ ආකාරය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා නැවතත් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට එම දේහය අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවේදී ගොඩගෙන තිබිණි. අධිකරණය විසින් පත්කළ පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුව විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණය අවසන් වී ඇති බවත් මෘත දේහය නිදහස් කළ හැකි බව දන්වා ඇතැයි පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මේ වන විට කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති එම දේහය ඥාතීන්ට භාරදීමට නියෝග කළාය.

එකී මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛi නිලධාරි රුහුල් හක් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමට පත්නොවන බව මරණකරුගේ පියා වන චන්ද්‍රා ශාෆ්ටර් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. එම මරණය සිදුවී ඇත්තේ සයනයිට් විෂ ශරීරගත වීමෙන් බව එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව මගින් දක්වා ඇතත් මළ සිරුරේ ඇඳුම්වල තැවරී තිබූ වමනයේ සාම්පල් යවා කැඳවූ රස පරීක්‍ෂක වාර්තාව අනුව සයනයිට් අංශු මාත්‍රයක් හෝ ඇති බවට වාර්තා කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

එමෙන්ම මෘත දේශයේ තුවාල ඇති බව ඡායාරූප අනුව පැහැදිලිව පෙනී යන නමුත් එකී තුවාල සම්බන්ධයෙන් පෙරකී අධිකරණ වෛද්‍ය නිලධාරියා අවධානය යොමු කර හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක් ඇතුළත් කර නොමැති බවත් පැවසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇති වෝහාරික මානසික වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතාගේ වාර්තාවේ අඩංගු කරුණු බොහොමයක් විද්‍යත්මක පදනමක් නොමැති කරුණු වන්නේ යැයිද පැවසීය. එකී මානසික වෛi වාර්තාව මගින් පෙන්නුම් කර ඇත්තේ මරණකරුගේ සැබෑ මානසික තත්ත්වය නොවන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

නීතිඥ ගීත් කරුණාරත්න හා නීතිඥ ෆරාජ් ජෙෆ්රි මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මරණකරුගේ පියා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මරණකරුගේ බිරිඳ ඇතුළු ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment