පරාටේ කරාටේ හකුලමු

645

අපේ රටේ දිනෙන් දින මතු වන විවිධ ප්‍රවෘත්ති අතරට වැටුණු මහා ගිනිබෝම්බයක් වූයේ මහ බැංකුව තම පඩි අත්තනෝමතිකව වැඩි කර ගැනීමය. එලෙස ස්වයං තීරණයක් මගින් ඔවුන් කරගත් මේ බෙදා ගැනිල්ල ගැන මුළුමහත් රටවැසියාටම ඇත්තේ අජූව සහගත හැඟීමකි. රට සුඛිත, මුදිතව සශ්‍රීකව පැවැති කාලයක නම් මේ බෙදා ගැනිල්ල ගැන අහක බලාගෙන ඉන්නට පුළුවන. එහෙත් රට ඇත්තේ කුමන තත්ත්වයක දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. අපේ රටේ ආර්ථිකයට සිදු වූ මහා නස්පැත්තිය ගැන මුළුමහත් රටවැසියා දැනුවත් කළේ වත්මන් මහ බැංකු අධිපතිය. රට මහා පල්ලමකට බැස යමින් තිබී යුගයක ඔහු පැමිණ යන්තම් බ්‍රේක් එකක් ගසා බේරාගත්තා යැයි ද ඔහු කීය. රට බංකොලොත් කළ දේශපාලනඥයන්ගේ බහට හොඳටම රැවටී සිටි ලාංකීය ජනතාව එතැන් සිට අලුතින් පත්වූ ඒ මහත්තයා විශ්වාස කළේය. එහෙත් දැන් සිදු වී ඇත්තේ ජනතාව කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නොවේ.

කෙසේ වෙතත් අප අද කතා කරන්නට යන්නේ කට බඩ තඩි කර ගත් මහ බැංකු පඩි ගැන නොව අපේ රටේ ක්‍රියාත්මක වන පරාටේ නීතිය ගැනය. 2022 වර්ෂයේ සිට අත්විඳින්නට සිදු වූ ආර්ථික අර්බුදය හමුවේ එක්තරා සීමිත පිරිසක් හැරෙන්නට රටේ සියලුම ජනතාව ආර්ථික වශයෙන් දැඩි ප්‍රපාතයකට පෙරළී වැටිණ. එහිදී බොහෝ දෙනකු ණයකරුවෝ බවට පත්වූහ. තවත් අය තමන්ගේ කනකර, රන් ආභරණ, ගෙවල්, යාන වාහන උකස් තැබුවෝය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ද ඒ අතර ඉන්නාහ. අපේ රටේ ආර්ථිකයෙහි හබ් එක වන් එකී ව්‍යාපාරිකයෝ එවිට තම ව්‍යාපාර රැක ගැනීම හෝ තමා යටතේ සිටින සේවකයන්ගේ පැවැත්ම වෙනුවෙන් යම් දේපළක් කිසියම් බැංකුවකට උකස් කර ණය මුදලක් ලබා ගත්තෝය. එහෙත් රටේ ආර්ථික පරිහානිය එන්න එන්නම වැඩි වද්දී කුමන හෝ හේතුවක් මත ඔවුනට ඒ ණය මුදල සහ ඊට අදාළ පොලී මුදල නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි විය. එසේ නම් දැන් සිදු වන්නේ කුමක්ද?

ඔවුනගේ එම ආර්ථික නොහැකියාව මත ගත් ණය මුදලට නියමිත පොලී වාරිකය ගෙවීමට දිගින් දිගටම අපොහොසත් වූ විට බැංකු ඉදිරිපත් වී අප පෙර සඳහන් කළ පරාටේ නීතිය ඉදිරියට ගෙන ව්‍යාපාරිකයන් ගිල ගන්නට පටන් ගත්තේය. මේ වන විට එම මාරයා ව්‍යාපාරිකයන් දහස් ගණනක් ගිල ගෙන අවසන්ය. මෙලෙස ණය වාරික හෝ පොලී ගෙවීම පැහැර හරින විට අධිකරණ ක්‍රියාවලියකින් තොරවම තම ණය අය කර ගැනීම සඳහා බැංකු වෙත බලයක් පවතී. එහිදී බැංකුවට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින්, අය විය යුතු ණය හා පොලී මුදල අය කරගැනීමට ඇති හැකියාව අපේ රටේ නීතියකි. එය අප මේ කියන පරාටේ නීතිය යනුවෙන් සරලව හැඳින්විය හැකිය. අනූව දශකයේ මුල් භාගයේදී පමණ මෙවැනි නීතියක් අපේ රටේ පනවනු ලැබුවේ ද බැංකුවලින් ණය ලබා ගෙන ඒවා නොගෙවා පොලු තියන්නන් හතු පිපෙන්නා සේ බෝ වූ බැවිණි. මේ පොලුකාරයන් නිසා බැංකුවල ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීමට පවා එකල අසීරු විය.

කෙසේ වෙතත් එදා තිබූ තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස් ය. අප මේ පසු කරන්නේ බංකොලොත් යුගයක් ය. කොවිඩ්, ආර්ථික අවුල හේතුවෙන් කර්මාන්තකරුවන්ට වූ අලාභ හානිය ගැන නොතකා බැංකු විසින් දිගින් දිගටම පරාටේ නීතිය අකුරටම කර ගෙන යද්දී පාර්ලිමේන්තුවේ ද මේ පිළිබඳ අවධානය යොමු විණ. අනතුරුව පරාටේ නීතිය ලබන දෙසැම්බර් 15දා තෙක් තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් තීරණයක් පසුගියදා ගනු ලැබිණ. එය වූ කලී කාන්තාරයට වැටුණු වැහි බිඳක් සේ විය. කෙසේ වෙතත් අපේ රටේ ආණ්ඩු මෙවැනි මානුෂික තීරණ කලාතුරකින් ගන්නා බැවින් බැංකු ක්ෂේත්‍රය මේ ගැන එතරම් තැකීමක් කර නොමැති බව පෙනී යයි. මේ වන විටත් ඇතැම් බැංකු රකුසන් මෙන් දේපළ අත්පත් කර ගනිමින් සිටී. ආණ්ඩුව ගත් මෙම තීන්දුව ක්‍රියාත්මක කරන්නැයි මහ බැංකුවට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට හැකිය. ඔවුන් එසේ කළේ නම් වාණිජ බැංකු ඇතුළු අනෙකුත් බැංකුවලට ද මෙලෙස දේපළ පවරා ගැනීමක් සිදු කිරීමට කොහෙත්ම නොහැක. එහෙත් මහ බැංකුවට සියයට 70කින් පමණ පඩි වැඩි කර ගැනීම සහ ඒ ගැන උත්තර බැඳීමට එහෙට මෙහෙට දුවන්නට සිදුවී තිබෙන බැවින් එය මග හැරෙන්නට ඇතැයි අපි සිතමු.

එම නිසා මෙම පරාටේ නීතිය තවමත් රජ ගමනක නිරත වන බව පෙනේ. ඒ යන රජ ගමන නිසා බොටුව හිර වෙන්නේ රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට 50ක දායකත්වයක් සපයන සහ සියයට 52ක ශ්‍රම බලකායකට රැකියා ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ගේ වීම ඇත්තටම ඛේදවාචකයකි. එබැවින් අපි යළි යළිත් අවධාරණය කරනුයේ මෙම පරාටේ නීතිය ක්‍රියාත්මක වීම වහ වහා නැවැත්විය යුතු බවය. ඒ සඳහා අදාළ නීති කෙටුම්පත් වීමට පෙර මේ පරාටේ භීතිය මහ බැංකුව මැදිහත්ව නතර කළ යුතුවේ. එලෙස ක්‍රියා කිරීම මත මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන්නේ නැත. එබැවින් වහාම පරාටේ නීතිය අහෝසි කළ යුත්තේ අප මේ ගත කරන අසීරුතම කාල සීමාව ගැන සලකාය. මේ මොහොතේ අප සියල්ල රැකිය යුතුය. ඒ කාලය තුළ බැංකු පමණක් රජ වී හරියන්නේ නැත. මුළුමහත් රටත් ජාතියත් රජ විය යුතු බව අපේ අදහස ය. එබැවින් මේ පරාටේ රකුසාගේ අත්පා ගැට ගසා මුල්ලකට කර තැබිය යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment