පොලිසියේ විශේෂ බුරියානි

1170

(නව මැගසින් බන්ධනාගාරයට අති විශේෂයි)

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ ප්‍රධානියකු වන බන්ධනාගාර නියාමක සංඛ කුසල් මාරසිංහට ඉකුත් 12 දා අලුයම් කාලයේදී අම්බානක ගුටි දෙන ලදී. එදින ඔහු පදිංචි මිනුවන්ගොඩ නිවසට පැමිණි පිරිසක් ගෙට ඇතුළු වී සංඛගේ දෑත්වලට මාංචු දමා ඔහුට බිම දණ ගසන ලෙස අණකොට භයානක ලෙස පහරදී ඇත. මේ මැර පිරිස තරුණ බන්ධනාගාර නිලධාරියාට තර්ජනාත්මක විධානයක් කර තිබේ. ඒ බන්ධනාගාරය හැදීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙසත් “දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්” කියමිනුත්ය. “හිර ගෙදරට කුඩු ගේන එක උඹට නවත්වන්න බෑ. ඒවාට ඇඟිලි ගහන්න එපා” යනුවෙන්ද මැරවරයන් කියා තිබේ. ඉහත සඳහන් පහරදීම සහ තර්ජනය කිසියම් ආකාරයක රතු නිවේදනයක් බව අපගේ වැටහීම වේ. මෙය තනිකරම කුඩු කර්මාන්තයෙහි යෙදෙන පුද්ගලයන් විසින් කුඩු විරෝධී බන්ධනාගාර නිලධාරියා නිහඬ කිරීමට එවූ රතු නිවේදනයක් විය යුතුය. නිලධාරියාට පහරදීමට පෙර ඔහුගේ දෑත්වලට මාංචු දමා බිම දණ ගැස්වීම පිටුපස අරමුණු දෙකක් තිබේ. පළමුවැන්න නම් නිලධාරියා බිය වැද්දීමය. දෙවැන්න නම් ඔහුගේ අභිමානය බිඳීමය. නිලධාරියාට මාංචු දමා දණ ගස්වන අවස්ථාවේදී ඔහුගේ මවත් සහෝදරියත් එම ස්ථානයේ සිටියහ. මේ ක්‍රියාවලියේදී එම දෙදෙනාද මහත් සේ භීතියට පත්වූහ. මරණ භය මිස අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් ඔවුන්ට නොතිබෙන්නට ඇති. එහෙත් මේ බන්ධනාගාර නිලධාරියා විනය භාර නිලධාරියෙක් නම් තුට්ටු දෙකේ පාහර මැරවරයන් ඉදිරියේ මාංචු දමා බිම දණ ගසාගෙන සිටීමට සිදුවීම ඔහුගේ ආත්මාභිමානය දැඩි සේ කීරි ගසන්නට ඇති. හැබැයි, මේ ක්‍රියාවලියේ return එක ඉතා දරුණු විය හැකිය. තමාට අවස්ථාවක් ලද විට මේ මැරවරයන්ගෙන් සහ ඔවුන් පිටුපස සිටින අයගෙන් භයානක ලෙස පළිගැනීමට මේ නිලධාරියා පියවර ගැනීමට ඉඩ තිබේ. එය පෘතග්ජන ස්වභාවයයි. ඇහැට ඇහැක් යන කියමන සෙල්ලම් කියමනක් නොවේ. එය ඉතා පුරාන කාලයේ පටන් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කෙරුණු ප්‍රීතියකි.

අපගේ වැටහීමට අනුව සංඛ කුසල් මාරසිංහට පහරදුන් අය ස්ථිර වශයෙන්ම කොන්ත්‍රාත්කාර දාමරික පිරිසකි. ඔවුන් පිටුපස සිටින්නේ මැගසින් බන්ධනාගාරයට කුඩු සහ වෙනත් මත්ද්‍රව්‍යය සපයන එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය යුතුය. මැගසින් බන්ධනාගාරය තුළට කුඩු එන මාර්ග කිහිපයක් තිබේ. එයින් පළමු මාර්ගය වන්නේ ඇතැම් බන්ධනාගර නියාමකයන්ය. කුඩු පමණක් නොව කුඩු පිරිපහදු කරන යන්ත්‍ර සූත්‍ර පවා බන්ධනාගරය තුළට ගෙන යෑමට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට පුළුවන. එසේම බන්ධනාගාර මුළුතැන්ගෙයි තිබෙන කොස් ගෙඩිය හා මිරිස් ගල් පවා එළියට පන්නාගෙන ඒමට තරම් දක්ෂ බන්ධනාගාර නියාමකයෝද සිටිති. ඔවුන් මෙවැනි ලොකු බඩු ප්‍රවාහනය කරන්නේ වැසි දවස්වල rain coat දමාගෙන ඒ තුළ සඟවාගෙනය. කොස් ගෙඩියක් රේන් කෝට් එක තුළ දමාගෙන දෑතින් බදාගෙන එළියට යෑමට ලොකු ශක්තියක් අවශ්‍ය නොවුණත් මිරිස් ගලක් ගෙන යෑමට සතර රියන් පුද්ගලයන් දෙතුන් දෙනකුගේ ශක්තිය අවශ්‍යය. එහෙත් උණ පතුරු වැනි ඇතැම් කෙසඟ බන්ධනාගාර නිලධාරීහු පුරුෂ ධෛර්යය වඩවා විශ්ව ශක්තිය ද උකහාගෙන විශාල බරකින් යුතු මිරිස් ගල් සොරකම් කරති. මැගසින් බන්ධනාගාරය යනු විශාල network එකකි. මේ නෙට්වර්ක් එක තුළ වෙනම ආර්ථිකයක් run වෙයි. රටේ ආර්ථිකයේ ප්‍රමුඛ ද්‍රව්‍යය ලෙස හාල්, තුනපහ, පාන් පිටි, ටින් මාළු, පරිප්පු, රෙදි යනාදිය හඳුනාගනු ලැබුවද මැගසින් බන්ධනාගාරයේ ආර්ථිකය තුළ තිබෙන ප්‍රමුඛ පාරිභෝගික ද්‍රව්‍යය ලෙස හඳුනාගනු ලබන්නේ බීඩි, සිගරට්, බුලත් විට, ගංජා, කුඩු සහ ලිංගික සැපයුමයි. මේ වෙළෙඳපොළ තුළ බුලත් විටක් රුපියල් 500 ටත්, බීඩියක් රුපියල් 250 ටත්, සිගරට් එකක් රුපියල් 500 ටත් අරක්කු බෝතලයක් රුපියල් 10000 ත්, ගංජා මිටියක් රුපියල් 2500 ටත් කුඩු පැකට් එකක් රුපියල් 10000 ත් විකුණනු ලැබේ. සාමාන්‍යයෙන් දෙවනි පන්තියේ කුඩු පැකට් එකක් විවෘත වෙළෙඳපොළේ රුපියල් දහසකට ලබා ගැනීමට පුළුවන. එය හිර ගෙදර තුළ රුපියල් දස දහසට විකිණෙන විට ඒ ලාභයෙන් සැලකිය යුතු කොටසක් බන්ධනාගාර නියාමකට හිමිවේ. මේ ගැන අප පුදුම විය යුතු නැත. ආසියාවේ රටවල් වැඩි හරියක බන්ධනාගාර තුළ තත්ත්වය මෙය වේ. එහෙත් භූතානයේ හිර ගෙවල්වල මෙවැනි ප්‍රශ්න නැත. මැගසින් බන්ධනාගාරයේ වාර්ෂික ආර්ථිකය රුපියල් බිලියන 5 ක් පමණ විය හැකි බව අපගේ වැටහීමය. මේ මුදල්වලට කිසිදු ආකාරයකට tax ගැහිල්ලක් නැත.

සංඛ කුසල් මාරසිංහට දෙන ලද පනිෂ්මන්ට් එක සමස්ත ලංකා මට්ටමේ පණිවිඩයක් විය හැකි බව අපගේ වැටහීමය. ලංකාව පුරා බන්ධනාගාර විශාල ප්‍රමාණයක් ඇත. මේ බන්ධනාගාර හැම එකකම දූෂණ විරෝධී මත්ද්‍රව්‍යය විරෝධී විනයානුකූල නිලධාරීන් සිටීමට ඉඩ තිබේ. සංඛ කුසල් මාරසිංහට දුන් දඬුවමින් කියැවෙන්නේ දූෂණ විරෝධී බන්ධනාගාර නිලධාරීන් පරිප්පු කෑමට සූදානමින් සිටිය යුතු බවය. ශ්‍රී ලංකා පොලිසිය මේ වෙලාවේදී අන් කවර කලකවත් නොවූ පරිදි කාර්යක්ෂම වීමට පටන්ගෙන තිබේ. ඒ නිසා ඉදිරි පැය කිහිපය තුළ හෝ ඉදිරි දින කිහිපය තුළ බන්ධනාගාර නිලධාරියාට පහරදුන් කුලී හේවායන් කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිවනවා ඇත. මෙවැනි අය වෙනුවෙන් පොලිසිය විසින් සාදන ලද විශේෂ බුරියානි වර්ගයක් තිබේ. ඒ බුරියානිවල රස දැනෙන්නේ කටට නොව ඇඟටය. ඒ බුරියානි එකක් කෑ කල දවස් හත අටකට කෙළින් සිටගැනීමට බැරිය.

advertistmentadvertistment
advertistmentadvertistment