ක්‍රිකට් කතාව (2) – බෝලය, බැට් එක සහ තුවක්කුව

1473

විදේශ රැකියාවක් සඳහා යෑමට ප්‍රියකරන මේ රටේ සාමාන්‍ය මධ්‍යම පාන්තික තරුණ පරපුරේ මේ දිනවල තිබෙන හොඳම ගමනාන්තය රුමේනියාවය. ශ්‍රමිකයන් මේ රටට යන්නේ ඒ රටේ රැකියාවල් කර ඒ රට ගොඩදැමීමට නොව බෝඩරය පැන යුරෝපයට යනු පිණිසය. රුමේනියාව නමැති රට මීට අවුරුදු 600 ට පමණ පෙර පාලනය කරන ලද්දේ Vlad Dracula නමැති පාලකයෙකි. ලෝක ඉතිහාසයේ ඉතාම කෲර මිනිසකු ලෙස හඳුන්වන ව්ලැඩ් විනෝදාංශය වශයෙන් කළේ සිරකරුවන් සහ පර සතුරන් උල තැබීමය. මධ්‍යකාලීන යුගයේ පරිහරණය කෙරුණු ඉතාම වේදනාකාරී දඬුවම් ක්‍රමයක් වන උල තැබීමේදී එම දඬුවමට ලක්වන්නා නිරුවත් කර බිම සිටවන ලද ලී හෝ යකඩ උලක් මත තබා තද කරනු ලැබේ. එවිට එම උල ගුද මාර්ගය දිගේ ඇතුළට කිඳා බසින අතර එය හිසෙන් හෝ පිටෙන් මතුවීමට සති දෙකක පමණ කාලයක් ගතවේ. අප කියන ව්ලැඩ් ඩ්‍රැකියුලා උල තැබූ මිනිසුන් ළඟට ගොස් සැප සනීප විමසීමෙහි පුරුද්දක් ඇති කරගෙන සිටියේලු. එසේ සැප සනීප විමසන විට මිනිස්සු වේදනා සහගත මර විලාප නැගීම හැර වෙන දෙයක් කතා කරන්නේ නැත. මෙසේ දිනක උල තබන ලද එක්තරා පුද්ගලයකුගෙන් ව්ලැඩ් සුව දුක් විමසන විට ඔහු මෙසේ කීවේලු. “උල තවමත් බැහැල තියෙන්නේ බඩ හරියට විතරයි. ඒ නිසා එතරම් ප්‍රශ්නයක් නැහැ. මේ ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න සති දෙකකින් විතර මාව හම්බවෙන්න. හැබැයි දැනට අවුලක් නැහැ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් ද පසුගියදා මේ ආකාරයේම ප්‍රකාශයක් කළේය. ඉන්දියාව සමග පැවති තරගය පරාජය වීමෙන් පසු එම පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැස්මක් ලෙස තමන් නොදකින බව හෙතෙම මාධ්‍යවලට පැවසීය. ගහන ගහන මැච් එක පැරදී මුළු ලෝකයටම නෝන්ඩි වී කෙළවී මකබෑවෙන තැනකට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබියදීත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමකට ලක්ව නැතැයි කීමෙන් නවීඩ් නවාස් තේරුම් කරන්නේ ඔහුට මෙන්ම අපට ද පිස්සු බවය. ලංකාවේ ක්‍රිකට් මේ මොහොතේදී ඇවිදින්නේ තට්ටම්වලිනි. මන්ද අපේ ක්‍රිකට්වල කකුල් දෙක සම්පූර්ණයෙන්ම පාහේ ගෙවීගොස් තිබේ. මහේල ජයවර්ධන මාසයකට රුපියල් ලක්ෂ 60 ක් අය කරමින් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට කවර දායකත්වයක් දක්වන ලද්දේ දැයි මිනිස්සු ප්‍රශ්න කරති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිතරම වැඩකර ඇත්තේ රුපියල් ලක්ෂවලින් නොව රුපියල් කෝටිවලිනි. ඒ කෝටි වාෂ්ප බවට පත්ව ඇති අතර වැහි බිඳුවක් වශයෙන්වත් නැවත පොළවට පතිත වන බවක් නොපෙනේ. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම හොඳටම කැතවී ඇත. පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වූ අපේ ක්‍රිකට් හාදයා ගැන මේ රටේ කිසිම කාන්තාවකට විශ්වාසය තැබිය නොහැක. රට යන ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩිදෙනා නයිට් ක්ලබ්වලට රිංගති. නැත්නම් Match fixing වලට සෙට් වෙති. පසුගියදා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පිල අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නන්නත්තාර වන්නට දුන්නේය. ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ගහන්නේ කොහොමද, පුහුණුවීම් කරන්නේ කොහොමද යන කාරණා පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කිරීම වැදගත්ය.

ඇෆ්ගනිස්ථානය යනු ලෝකයේ කටුකතම භෞමික විෂමතාවන් සහ කටුක පරිසරයක් සහිත වියළි රටකි. මේ රට හැමදාමත් කිසියම් ආක්‍රමණිකයකුගේ ඉත්තෙක් විය. එක කාලයක් සෝවියට් දේශය මේ රට අල්ලාගෙන සිටියේය. ඉන්පසු සෝවියට් බලය කුඩු කළ තලේබාන් නමැති අන්ත මූලධර්මවාදී ඉස්ලාමීය සංවිධානයක් රටේ පාලනය භාරගත්හ. ස්වල්ප කලක ඇවෑමෙන් ඇමරිකන් හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර තලේබාන් කට්ටිය ලවා බලය ගොඩනඟා ගත්හ. මෙවිට තලේබාන් කට්ටිය රටේ තැන තැන සැඟව සිටිමින් ඉතා භයානක ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත විය. බාමියන් බුදු පිළිම බිමට සමතලා කිරීම ද මෙවැනි එක් අසංස්කෘතික ප්‍රචණ්ඩ ක්‍රියාවකි. තලේබාන්වරු ප්‍රතිපත්තියක් වශයෙන් බටහිර ලෝකයට විරුද්ධ ය. ඇෆ්ගන් ගැහැනු ළමයින් අධ්‍යාපනය නොලබා ගෙවල්වලට වී වැඩකොට සැමියාට අවශ්‍ය කරන චූන් එක ද ලබාදී දරුවන් ප්‍රසූත කර හදා වඩා ගතයුතු බව තලේබාන් මතවාදය වේ. ඇෆ්ගනිස්ථානය රටක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට බාධාවක් නොකරයි. එහෙත් තලේබාන් සංවිධානය තුළ සිටින උග්‍ර අන්තවාදී කුඩා නිකායවලට අයත් කට්ටිය බටහිරින් පැමිණි ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින් විරුද්ධ ය. මේ නිසා ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණුව ලබන විට වන ලැහැබ්වල සැඟවී එම ක්‍රීඩකයන්ගේ කකුල්වලට වෙඩි තැබීම එවැනි අන්තවාදී කොටස්වල සිරිතය. මේ නිසා ක්‍රිකට් නොව ඇට බෝල ගැසීමටවත් ඒ රට තුළ අවස්ථාවක් නැත. මේ නිසා ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩිදෙනා ක්‍රිකට් පුහුණුව ලබා ගත්තේ ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර බෝඩරයේ පිහිටි පකිස්ථාන් සරණාගත කඳවුරුවලදී ය. පකිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මුළු හදවතින්ම කැපවූ රටකි. ඔවුහු ඇෆ්ගනිස්ථානයට ක්‍රිකට් ශිල්පය කියාදෙන්නේ නොමසුරුවය. ඇෆ්ගන් ක්‍රීඩකයන් ලංකාවේ කණ්ඩායම පැරදවීම සඳහා ක්‍රීඩා පිටියට එන්නේ විශාල දුෂ්කර ක්‍රියාවකින් පසුව බව සියලුදෙනා දත යුතුය. ක්‍රිකට් ගැසීම සඳහා සැලකිය යුතු මානසික ඒකාග්‍රතාවක් අවශ්‍ය වේ. ඒ අනුව ඇෆ්ගන් ක්‍රීඩකයන් ක්‍රිකට් ගහන්නේ බෝලය එන පැත්තත් රොකට් වෙඩිල්ලක් එන පැත්තත් සම සමව ගණන් බලාගෙන ය. අදට මෙතනින් නවතිමු.

advertistmentadvertistment
advertistmentadvertistment