නිලවරණයක් නොපැවැත්වීම නිසා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග රැසක් අහිමි වෙලා – කරාතේ දෝ සංගමය කියයි

73

ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය වෙනුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා විසින් අතුරු කමිටුවක් පත්කර මාස තුනහමාරකට වැඩි කාලයක් ගතවී ඇති බවත්, ඒ වෙනුවෙන් නිලවරණයක් පැවැත්වීමට කටයුතු නොකිරීම නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර කරාතේ තරග රැසක් අහිමි වී ඇති බවත් එම සංගමයේ හිටපු සභාපති එච්. එම්. සිසිර කුමාර මහතා ඊයේ (08දා) පැවසීය. ඒ නිසා නිලවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ද ඒ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඇමැතිවරයා විසින් අතුරු කමිටුව පත්කරනු ලැබුවේ කිසිදු විමර්ශනයකින් හෝ චෝදනාවකින් නොවන බවත් සභාපතිවරයා කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. අඩුම වශයෙන් විගණකාධිපතිවරයාගෙන් හෝ තම සංගමයට එරෙහිව වාර්තාවක් නිකුත් වී නැතැයි ද ඔහු කීය.

එම සංගමයේ හිටපු උප භාණ්ඩාගාරික වර්ජින් ප්‍රනාන්දු මහතා

අතුරු පාලක මණ්ඩලයක් පත්කර මාස තුනහමාරක් ගතවී ඇතත් නව නිලධාරීන් පත්කර ගන්න මැතිවරණයක් පවත්වන්න කටයුතු කරන්නේ නැහැ. අපේ සංගමයට 2026 වෙනකම් බලයේ සිටින්න හැකියාව තිබුණා. සංගමයේ තනතුරුවලට ඡන්දයෙන් එන්න බැරි කිහිපදෙනෙක් ඇමැතිවරයාට වැරදි ප්‍රකාශ කරලා අපේ කරාතේ ක්‍රීඩාව සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කරලා තියෙනවා. මේ අතුරු පාලක මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයට ගිහින් මාස තුනහමාරක් වනවා. තාම ඒක අභියාචනාධිකරණයේ පවතින්නේ. පත් කළ අතුරු පාලක මණ්ඩලයේ පිරිස සංගමයේ මුදල් අවභාවිත කරනවා. ඒ ගැන සොයා බලන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.

මේ වනවිට කසකස්ථානයේ පැවැත්වීමට නියමිත කරාතේ තරගය, දකුණු ආසියානු තරගයේ සත්කාරකත්වය අපේ රටට හිමිවෙන්න තිබුණ. අතුරු කමිටුවක් පත්කර තිබෙන නිසා ඒ සත්කාරකත්වය නේපාලයට ගියා. ඒකටවත් අපේ රටේ නියෝජනයක් ලැබිලා නැහැ. ඒ නිසා අද ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩාව තනිවෙලා තියෙනවා.

අතුරු කමිටුව විසින් පළාත් හා දිස්ත්‍රික් නියෝජිතයෝ පත් කරලා තියෙනවා. ඒ ඇතැම් අයට චෝදනා තියෙන පිරිස්. මේ නිසා සංගමයේ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා මේ වනවිට ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්ව රැසකින් ඉල්ලා ඇතැයි ද ඔහු කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment