සංහිඳියාව ගැන හොඳම පාඩම රටට කියන පුන්නකුඩා වැසියෝ

212
පුන්නකුඩා වරාය

ශ්‍රී ලංකාව තුළ මෑත කාලයේ ඇතිවූ තිස් අවුරුදු ශාපලත් යුද්ධය, 83 කළු ජූලිය, සහරාන්ගේ පාස්කු ප්‍රහාරය, දිගන ජාතිවාදී අරගල ආදිය නිසා අප රටේ ජාතීන් අතර ඇති වූයේ එකිනෙකා කෙරෙහි බිය, සැක සංකා සහිත තත්ත්වයකි.

එහෙත් දෙමළ සහ මුස්ලිම් ජනයා 99% කට වඩා වෙසෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවූර් කොට්ඨාශයේ පුන්නකුඩා (දේවාලංකාර ගම) ගම්මානයේ සිංහල පවුල් 35 කට අධික ප්‍රමාණයක් ජීවත්වන්නේ දෙමළ, මුස්ලිම් ජනතාවගේ සහයෝගය හා සහජීවනය මධ්‍යයේ යැයි කීවහොත් ඔබ එය පිළිගන්නේ ද ?

වසර 1940-50 දශකවල දකුණේ සිට ධීවර කටයුතු සඳහා නැගෙනහිරට සංක්‍රමණය වූ ධීවරයන් පිරිසක් මඩකලපුව එරාවූර්, පුන්නකුඩා ගම්මානයේ ධීවර වරාය ආශ්‍රිතව ස්ථීර පදිංචිය කොට ගෙන ඇත.

එදා අතීතයේ මේ ප්‍රදේශයේ පාර දෙපස සැතපුම් දෙක – තුනක් ඈතට අක්කර හත්අටසියයක් පමණ පොල් ඉඩම් අයිතිව තිබුණේ සිරිමල් මුදලාලි ලෙස හැඳින්වූ දෙමළ ව්‍යාපාරිකයකුටය. ඔහු ඔහුගේ ඉඩම්වලින් අක්කර 65 ක් එදා මේ සිංහල මිනිසුන්ට ගෙවල් හදා ගන්නට වෙන්කර දුන් බව පුන්නකුඩා ගමේ පදිංචි ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා වූ අවු. 78 වයසැති W.H. රත්නපාල මහතා පවසයි.

පසු කලෙක ධීවර ඇමැතිවරයාව සිටි පෙස්ටස් පෙරේරා මහතා විසින් රජයේ වියදමින් නිවාස 100 ක් මේ ඉඩමේ ඉදිකර බෙදා දුන් බවද, එකල අඩි 28 ක් දිග විශාල ප්‍රමාණයේ බෝට්ටු 200 ක් පමණ සිංහල මිනිසුන්ට අයත්ව තිබූ බවද, එදා ඔවුන් හොඳ ආර්ථික තත්ත්වයකින් පසු වූ බවද රත්නපාල මහතා පවසයි.

ඒ කාලයේ අවට ගම්වල පදිංචිව හිටපු දෙමළ අය තමයි අපේ ධීවර කටයුතුවලට උදව් දුන්නේ. බොහෝම සහයෝගයෙන් සහජීවනයෙන් අප දෙගොල්ලම ජීවත් වුණා. එරාවූර් ඉඳල එන මුස්ලිම් අයත් එහෙමයි. යුද්ධය පටන් ගත්තාම අපිට කරදර ඇති වුණා. අපි මුහුදු ගියේ නෑ. ගමේ භාගයක් විතර පාරවල් වලදී මැරුම් කෑවා. අන්තිමේ LTTE එකෙන් ගම වට කළාට පස්සේ අපව බේරගත්තෙත් දෙමළ අයමයි. ඔවුන් අපිව බේරාගෙන එරාවූර් වලට ඇරලුවා යැයි රත්නපාල වැඩිදුරටත් සඳහන් කළා.

2009 වර්ෂයේ මැද භාගයේදී යුද්ධය අවසන් වීමෙන් පසු 2010 වසරේදී ඔවුන්ගෙන් පවුල් 20 ක් පමණ යළි පැමිණ තාවකාලික පැල්පත් තනාගෙන පදිංචි වුණා. ඒ සඳහා ඔවුන්ට ආධාර කර ඇත්තේ දිඹුලාගල විහාරස්ථානයේ හිමි නමක් විසිනි. ඊට අමතරව එරාවූර් නගරයේ මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවද වරින් වර පැමිණ මොවුන්ට සහ පන්සලට වියළි ආහාර පාර්සල් බෙදා දෙමින් උදව් පදව් කළ බවද පැවසේ.

අපි යුද්ධයෙන් පස්සේ මෙහෙ එනකොට අපේ කියලා කිසිදෙයක් තිබුණේ නැහැ. ගස් කොලන් පවා බංකර් හදන්න කපාගෙන ගිහිල්ලා. දැන් මේ ගමේ පවුල් 35 ක් ඉන්නවා. ඔවුන් කාටවත් ස්ථීර ආදායම් මාර්ගයක් නැහැ. රැකියාවක් නැහැ. ධානපතියෝ, හාමුදුරුවරු ඇවිල්ලා වරින් වර මොනවාහරි ආධාරයක් කරලා යනවා. රජයෙන් කියල කිසිදෙයක් ලැබුණේ නැහැ. මුලින්ම එරාවූර්වල මුස්ලිම් අය තමා අපිට උදව් කළේ. දැනුත් එහෙමයි. රත්නපාල මහතා දිගින් දිගටම පැවසුවේ හැඟීම් බරවය.

පුන්නකුඩා ගමේදී අපිට හමුව වැන්දඹු කාන්තාවක් වන අබේසූරිය ආරියවතී ගමේ දැනට සිටින වයෝවෘද්ධම කාන්තාවකි. වයස අවු. 69 ක් වූ ඇය ඉපදී තිබෙන්නේ එරාවූර් රෝහලේදීය. ඒ 1954 වර්ෂයේ අප්‍රේල් මාසයේදීය. දරුවන් 4 දෙනකුගේ මවක් වූ ඇගේ සැමියා ඇය අතහැර ගොසිනි.

යුද්ධය නිසා ඉන්නම බැරි වූ තැන එරාවූර්වලට ගිහින් කුලියට ගෙයක් අරන් ටික කලක් පදිංචි වෙලා හිටියා. පස්සේ දෙවුන්දර අනාථ කඳවුරට ගියා. 2010 තමයි නැවත මෙහේ ආවේ. තිබුණ ගෙවල් දොරවල් මුකුත්ම තිබුණේ නැහැ. එක එක සංවිධානවලින් මුදල් ටික ටික ඉල්ලා ගෙන තමයි ගේ ටිකක් හදා ගත්තේ. ඒ කාලේ වගේම අදත් දෙමළ, මුස්ලිම් අයත් එක්ක හොඳට ඉන්නවා. පොඩි කාලේ එකට සෙල්ලම් කළා. සහයෝගයෙන් කටයුතු කළා. අදත් එහෙමයි. අද ආර්ථික අමාරුකම් තමයි ගොඩක් තියෙන්නේ. ජීවත් වෙන්න පොඩි කඩයක් කරන්න පටන් ගත්තා. නමුත් ආදායමක් නැහැ. එදා රු.40/- තිබුණු කිරිපැකට් එක අද රු.140/- කවුද ගන්නේ? කවුරුවත් ගන්නේ නැහැ. ආරියවතී මහත්මිය එසේ පැවසුවාය.

ගමේ තරුණ කාන්තාවක් වූ දරුවන් 5 දෙනකුගේ මවක් වූ 31 හැවිරිදි R.D. නිශාදනී අපිට හමු වුණා. අද ජීවත්වීම හරිම අමාරුයි. වියදම හරිම සැරයි. එදා වියදම අද තුන්ගුණයක් ඕන. ස්වාමිපුරුෂයා මුහුදු රක්ෂාව කරන්නේ. අද ගියොත් නැවත ගෙදර එන්නේ මාස 1කට පස්සේ. යන්න කලින් දවසේ මුදලාලි රු.15,000/- දෙනවා. මහත්තයා මට ඒක දීලා යනවා. මම දරුවෝ 5 දෙනා එක්ක මම ඒ මුදල බොහොම අමාරුවෙන් පිරිමහගන්නවා. නමුත් හරි අමාරුයි. කිරිපිටි, මස්, මාළු ගෙදරට ගන්නේ නැහැ. කහට එකක් උදේට බොනවා. කන බොන දේවල් ගොඩක් අඩු කරලා තියෙන්නේ. ගේත් භාගෙට හදලා තියෙන්නේ. ළමයි 5 දෙනෙක් එක්ක ඉන්න අමාරුයි. ළමයි රණ්ඩු කරගන්නවා. මොනවා කරන්නද? ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා.

වැලිකලගේ ලහිරු මධුශාන් (29) ජීවත් වන්නේ හරි අමාරුවෙන්. හරි හමන් රැකියාවක් නැහැ. සමහර දවස්වලට මා දැල් අදින්න යනවා. එදාට රු.400/- ක් රු.500/- ක් ලැබෙනවා. එකත් හැමදාම නැහැ. ආර්ථික අමාරුකම් එමටයි. හදිස්සියක් වුණොත් රෝහලකට යන්න ත්‍රීවිල් එකකට රු.700/- ක් දෙන්න ඕන. බස් වැඩ කරන්නේ නැහැ. මාස 06 ක දරුවෙක් මට ඉන්නවා. දරුවට කවදාවත් කිරිපිටි අරන් දීලා නැහැ.

ගම්මානයටත්, ධීවර වරායටත් යාබදව මෙන් බෞද්ධ විහාරස්ථානයක් ඇත. විහාරස්ථානයේ හිමිනමක් වැඩවසන අතර ආවතේව කටයුතු සඳහා ගිහි දෙදෙනෙක් සිටිති. පන්සල සමඟ සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන් තුනම සහජීවනයෙන් කටයුතු කරති. දානමාන කටයුතු සඳහා උදව් පදව් කරති. ඒ පිළිබඳ විස්තර දැනගැනීම සඳහා අප පන්සලට ගොඩ වැදුනෙමු. එහෙත් විහාරාධිපති හිමියෝ එහි වැඩ සිටියේ නැත. උන්වහන්සේ පිට ප්‍රදේශයකට වැඩම කළ බව පන්සලේ සිටි අයකු පැවසීය.

සංහිඳියාව ගැන හොඳම පාඩම රටට කියන පුන්නකුඩා වැසියෝ

බලාපොරොත්තු කඩ කරගෙන අප පන්සලෙන් පිටතට එද්දී පුන්නකුඩා ධීවර සමිතියේ සභාපති ශිවලිංගම් ශිවරාසා (33) මහතා අපිට හමුවිය.

මේ ගමේ අපි ජාතීන් තුනම එකට ධීවර රක්ෂාව කරනවා. කවදාවත් ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මේ ගමේ පදිංචි බොහෝ දෙනෙක් සිංහල. ඒත් අපි අතර ගැටුමක් නැහැ. ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. බෞද්ධ පන්සලක් මෙතන තියෙනවා. පන්සලේ ගණදෙවි දේවාලයකුත් තියෙනවා. දෙමළ අය මුහුදු යන්න කලින් එතනට ගිහින් වැඳලා පුදලා භාර හාර වෙලා යනවා. බුදුහාමුදුරුවෝ කියල නැහැනේ පන්සල අයිති සිංහල බෞද්ධයන්ට විතරක් කියලා. අපේ හින්දු ආගමෙත් කියල නැහැ පන්සලට යන්න එපා කියලා. අපිත් පන්සල් යනවා. මුස්ලිම් අයත් යනවා. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ.

බලන්න මෙතන සිංහල හෝටලයක් තියෙනවා. එරාවූර්වලට මෙහා තියෙන එකම හෝටලය. නමුත් 90% ක් ගනුදෙනුකරුවෝ දෙමළ, මුස්ලිම් අය. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. දෙමල මුස්ලිම් අය මෙතන කඩ දාලත් නැහැ.

අපිට හමුවූ මොහොමඩ් ඉස්මයිල් මන්සූර් – 58 හැවිරිදි ත්‍රීවිල් රථ රියැදුරෙක්. ඔහු දවසේ වැඩිපුරම හයර් දුවන්නේ එරාවූර් – පුන්නකුඩා සහ පුන්නකුඩා – එරාවූර් අතරය.

මම 1995 ඉඳලා මේ රක්ෂාව කරනවා. දිනපතාම වාගේ පුන්නකුඩා ගමට එනවා. යනවා. පන්සලටත් යනවා. හාමුදුරුවෝ එක්කත් හයර් යනවා. අපි අතර කිසිම ජාතිභේද නැහැ. යාලුවෝ වගේ තමයි ඉන්නේ. යුද්ධයට ඉස්සරත් එහෙමයි. දැනුත් එහෙමයි.

අවසානයේ අපි පුන්නකුඩා ගම්මානය අයත් පරිපාලනය කොට්ඨාශය වූ සන්දරවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයා වූ කේ. තනබාල සුන්දරම් මහතාව දුරකථනයට සම්බන්ධ කර ගතිමු. ඔහු සඳහන් කළේ මෙවැන්නකි. මේ ගමේ කලින් පදිංචිව සිටි අයගේ නාමලේඛනයක් සහ නැවත පදිංචි වී සිටින අයගේ නාමලේඛනයක් අපි ළඟ තියෙනවා. ඒ අනුව කලින් පදිංචිව සිට නැවත පැමිණි අයට අපි ගෙවල් හදා ගන්න රු.75000.00 ක් සහ රජයෙන් දෙන හිමිකම් දීලා තිබෙනවා. නමුත් හුඟ දෙනෙක් පදිංචි නැහැ. එනවා දෙන දෙයක් ගන්නවා ආපහු යනවා. ස්ථීරව ඉන්නැහැ. දැන් ඉන්න අය වැඩි දෙනෙක් හාමුදුරුවෝ ගෙනත් පදිංචි කරපු අලුත් අය. ඒ අයට නැවත පදිංචි කිරීමේ අයට දෙන හිමිකම් අයිති නැහැ. නමුත් අපි ඒ අය ඉවත් කරන්නෙත් නැහැ. ඔය මහත්තුරු කියන නිසා මම නැවත වතාවක් මගේ නිලධාරීන් ඒ ගමට යවලා හොයලා බලලා කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කරලා දෙන්නම්. මාව දැනුවත් කළාට බොහොම ස්තුතියි.

වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ වර්ගවාදී කුරිරු යුද්ධයක් පැවති රටක 99% කටත් වැඩි දෙමළ, මුස්ලිම් ජාතීන් සිටින පළාතක, ප්‍රදේශයක, අඩුපාඩුවලින් යුක්තව හෝ සිංහල ජාතීන් සිටින කුඩා ගම්මානයක් මෙන්ම දෙමළ, මුස්ලිම් බහුතරයක් සිටින ධීවර වෙරළක් අසල බෞද්ධ විහාරස්ථානයක් තිබීම් හා ඔවුන් එකිනෙකාට සහයෝගයෙන්, සහජීවනයෙන් ජීවත් වීම දැකීමට ලැබීමත් මේ අවදියේ භාග්‍යයක් නොවේ ද?

රවීන්ද්‍ර මැදගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment