දඹගල්ල සැණකෙළි භූමියේ මාරක ළිඳේ පඩිපෙළින් සිඟිත්තා මරුකටට

267

මව දුරකථනය අමතද්දී දරුවා තනියෙන් පඩිපෙළ නැගලා

මොනරාගල දඹගල්ල ක්‍රීඩාපිටියේ පැවැත්වීමට සූදානම් කළ විනෝද සැණකෙළි භූමියේ තිබූ මාරක ළිඳේ පඩිපෙළ ඉහළට නැඟ ගිය මාස 23 ක් වයස දරුවකු බිම ඇද වැටී හිසට සහ මොළයට බරපතළ තුවාල ලබා බදුල්ල ඌව පළාත් ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 21 දා මියගියේය.

අනුරාධපුර, කහටගස්දිගිලිය ලයිට් පාර යන ලිපිනයේ පදිංචි ඩී. එම්. සෙහාන් බුද්ධික දිසානායක (අවු. 29) සහ මැණික්පාලගේ දිලානි සඳරේඛා (අවු. 33) යන දෙමාපියන්ගේ ඩී. එම්. තෙනුර හේෂාන් දිසානායක නමැති දරුවා එකී ඉරණමට මුහුණ පා ඇත.

හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩී. එම්. ලීලාරත්න මහතා බදුල්ල ඌව පළාත් ශික්ෂණ රෝහලේ පැවැත්වූ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් පියා වන ඩී. එම්. සෙහාන් බුද්ධික දිසානායක මහතා මෙසේ පැවැසීය.

“මම අනුරාධපුර සිට දඹගල්ල කානිවල් එකේ හදන මාරක ළිඳේ බඩු ලොරියක පටවාගෙන ආවා. බුලත් විට වතුර බෝතල් ටිකක් විකුණලා මුදලක් හම්බ කර ගන්න කතා කරගෙන බිරිඳත්, දරුවා සමග කැඳවා ගෙන ආවා.

ඉකුත් 20 දා සවස පහට පමණ බිරිඳ මාරක ළිඳට නගින පඩිපෙළ සමීපව දරුවා සමග සිටියා. එවලේ බිරිඳට දුරකථන ඇමතුමක් ලැබුණා. ඇය දුරකථන ඇමතුමට සම්බන්ධ වී සිටියදී දරුවා පඩිපෙළ මුදුණට අඩි 8 ක් පමණ උසකට නැග තිබුණා.

හදිසියේම දරුවා ඉන් පහළට ඇද වැටී අඬමින් සිටි අතර හිසෙන් ලේ ගලනවා දුටුවා. වහා දරුවා දඹගල්ල රෝහලටත් පසුව මොනරාගල මහ රෝහලටත් ගෙන ගියා. පසුව බදුල්ල මහ රෝහලට යවා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියා.

දරුවාගේ මොළයට සහ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් වූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්ලිව්. එස්. ඩී. ප්‍රනාන්දු මහතා නිගමනය කර තිබේ. සාක්ෂි මෙහෙය වන ලැබුවේ දඹගල්ල පොලිසියේ පො.සැ. (1841) සිරිසේන මහතා විසිනි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment