මෙවර අයවැයෙන් රටේ නව ආරම්භයකට පදනම වැටෙයි ද?

271

මේ වන විට ආර්ථික තත්ත්වයේ කිසියම් ස්ථාවර තත්ත්වයක් ඇති වී ඇත. එහි අදහස අපගේ විනිමය අර්බුදය විසඳී ඇති බවක් නොවේ.
අප තවදුරටත් ආර්ථික තත්ත්වය ස්ථාවර කරගනිමින් මේ බලවත් ආර්ථික අර්බුදයෙන් ගොඩට පැමිණීමට දිගු ගමනක් යායුතු වේ. ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මේ අයවැයෙන් ක්‍රියා කර ඇති බවක් මූලික වශයෙන් පෙනේ.

ලබන වසර (2023) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් පසු උදා වී ඇත්තේ එහි ගුණදොස් විචාරයට ලක් කිරීමේ අවස්ථාවයි. මේ අයවැය ඉදිරිපත් වූයේ රට බංකොලොත් වී ඉතිහාසයේ අමාරුම අඩියට වැටී සිටියදී බව අප පිළිගත යුතුය. මේ නිසාම අයවැයට පෙර මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ මෙවර ඉදිරිපත් වන්නේ ඉතිහාසයේ අභියෝගාත්මකම අයවැය ලේඛනය බවයි. මේ නිසා රට වැටී තිබෙන තැනින් ගොඩට ගෙන ඉන්පසු ක්‍රමානුකූලව ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට ඉඩහසර සලසන අයවැය ලේඛනයක් මේ මොහොතේ අවශ්‍ය කර තිබිණි. මේ ඉදිරිපත්ව ඇත්තේ එවැනි අයවැයක් ද? ජනයා මත තවත් බර පටවන අයවැයක් ද? කෙසේ වෙතත් රජය රට මුහුණ දී සිටින උග්‍ර විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතා ඇති නිසා එම අරමුදල සමග දැනටමත් එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ අයවැය ලේඛනයෙන් සිදු කිරීමට ද රජයට සිදු වේ. ඒ නිසා මෙය රජයට අවශ්‍ය පරිදිම සකස් කළ අයවැයක් නොවිය හැකිය.

මෙවර අයවැයෙන් රටේ නව ආරම්භයකට පදනම වැටෙයි ද?

ජනාධිපතිවරයා අයවැය කතාවේ තේමාව ලෙස සඳහන් කර ඇත්තේ ‘ශ්‍රී ලංකාව – නව ආරම්භයක් කරා යන්නයි.’ බිංදුවටම වැටී ඇති රට ගොඩ නැගීමට හොඳ ආරම්භයක් අවශ්‍ය කර තිබේ. ඒ අර්ථයෙන් ජනාධිපතිවරයා නව අයවැය මෙම තේමාව යටතේ නම් කළා විය හැකිය. ඒ අනුව ජනාධිපතිවරයා සිය අයවැය කතාව ආරම්භයේ දීම මෙසේ සඳහන් කරයි.

“ගෙවුණු මාස කීපය තුළ අප ගත් වෙහෙසකර සහ දුෂ්කර ක්‍රියා පිළිවෙත් නිසා ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ මාර්ගයට ආලෝකයක් වැටී තියෙනවා. දවස් ගණන් පෝලිම්වල හිටපු, තැන් තැන්වල පදිංචිවෙලා අරගල කරපු යුගය පසුකර දුක් කරදර යම් ප්‍රමාණයකට සමනය වුණු සැනසිලිදායක යුගයකට අපි ළඟා වෙලා තියෙනවා. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම චීනය සහ ඉන්දියාව සහ අනෙකුත් ණය දෙන රටවල් සමඟ අදහස් හුවමාරු කරගන්නවා. මේ සාකච්ඡාවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙතැයි අපට විශ්වාසයක් තියෙනවා.”

ඇත්ත වශයෙන්ම මේ වන විට ආර්ථික තත්ත්වයේ කිසියම් ස්ථාවර තත්ත්වයක් ඇති වී ඇත. එහි අදහස අපගේ විනිමය අර්බුදය විසඳී ඇති බවක් නොවේ. අප තවදුරටත් ආර්ථික තත්ත්වය ස්ථාවර කරගනිමින් මේ බලවත් ආර්ථික අර්බුදයෙන් ගොඩට පැමිණීමට දිගු ගමනක් යායුතු වේ. ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මේ අයවැයෙන් ක්‍රියා කර ඇති බවක් මූලික වශයෙන් පෙනේ. අයවැය යෝජනා ගැන වෙනම සාකච්ඡා කිරීමට පෙර අයවැයේ සඳහන් සමස්ත ආදායම් සහ වියදම් තත්ත්වය ගැන මේ ලිපියෙන් අපගේ වැඩි අවධානයක් යොමු වේ.

මෙවර අයවැයෙන් රටේ නව ආරම්භයකට පදනම වැටෙයි ද?

● 2023 – අයවැය ඇස්තමේන්තු සාරාංශය

අයවැය යෝජනා පිළිබඳ විමසීමට පෙර මුලින්ම 2023 සමස්ත අයවැය තත්ත්වය සලකා බලමු. මේ අනුව අයවැය ලේඛනයේ අග පළමු ඇමුණුම වශයෙන් 2023 අයවැය ඇස්තමේන්තු සාරාංශය දක්වා තිබේ. එය මේ ලිපිය සමග දක්වා ඇත. ඒ අනුව 2023 වසර සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම හා ප්‍රදාන රු. බිලියන 3415 ක් ලෙසින් දක්වා ඇති අතර මුළු වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 5819 ක් වේ. මේ අනුව ජනිත වන 2023 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 2404 කි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.9 ක් වේ. මේ වසර (2022) සඳහා ඇස්තමේන්තුගත සංශෝධිත අයවැය හිඟය රු.බිලියන 2333 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.8ක් වේ. මේ අනුව මුදල්මය වශයෙන් රුපියල් බිලියන 71 කින් එනම් රු. කෝටි 7100 කින් අයවැය හිඟය වැඩිවේ. එහෙත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අයවැය හිඟය අඩු කර ගැනීමට රජය සැලසුම් කර ඇත. මේ සියල්ල ඇස්තමේන්තු බව අප අමතක නොකළ යුතුය. අයවැයක තිබෙන දේ එලෙසින්ම ඉටු වීමට මෙන්ම නොවීමට ද ඉඩ තිබේ. විශේෂයෙන්ම දැන් තිබෙන්නේ සංකෝචනය වන ආර්ථිකයකි. සියයට 8 කට වැඩි අගයකින් මේ වසරේ (2022) ආර්ථිකය පසුබෑමට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම ලබන වසරේ දී ද ආර්ථික වර්ධනය ඍණ අගයක් ගනු ඇති බවට පුරෝකථනය කර ඇත. මෙවන් පසුබිමක් තුළ ආර්ථිකය සංකෝචනය වෙද්දී මේ අයවැයේ සඳහන් අපේක්ෂිත බදු ආදායම් එලෙසම උපයාගත හැකිවනු ඇති ද යන ප්‍රශ්නය තිබේ.

● බදු ආදායමේ වර්ධනය

දැනට බිඳ වැටී රාජ්‍ය බදු ආදායම වර්ධනය කර ගැනීම සඳහා රජය විසින් දැනටමත් බදු ප්‍රතිසංස්කරණ රැසක් සිදු කර ඇත. ඉතාම සරලව කියන්නේ නම් දැනටමත් සෑම අංශයකම පාහේ විශාල වශයෙන් බදු වැඩි කිරීම් සිදු කර ඇත. එසේ වැඩි කළ බදු ප්‍රතිශත සහ අලුත් බදු පැනවීම් අනුව 2023 වසරේ දී සැලකිය යුතු වැඩි බදු ආදායමක් උපයා ගැනීම රජයේ අපේක්ෂාව වී ඇත. මේ අනුව 2023 වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ බදු ආදායම රු. බිලියන 3130 කි. මේ වසර (2022) සඳහා ඇස්තමේන්තු කර ඇති සංශෝධිත රාජ්‍ය බදු ආදායම රු.බිලියන 1852කි. මේ අනුව මේ වසරට වඩා ලබන වසරේ (2023) දී රු.බිලියන 1278 කින් රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමට සැලසුම් කර ඇත. මෙය රාජ්‍ය බදු ආදායමේ සියයට 69 ක පමණ විශාල වර්ධනයකි. ආර්ථිකය සංකෝචනය වන විට බදු ආදායමේ මෙතරම් විශාල වර්ධනයක් ලබා ගැනීම ඉතා අසීරු ඉලක්කයක් වන අතරම බොහෝ දෙනෙකුට පීඩාකාරී තත්ත්වයක් ද උදා කරනු ඇත. මේ අනුව ආදායම් බදු ආදායම 2022 දී පවතින රු.බිලියන 558 සිට ලබන වසරේ (2023) දී රු.බිලියන 912 දක්වා ද, භාණ්ඩ හා සේවා මත බදු ආදායම 2022 දී පවතින රු.බිලියන 972 සිට ලබන වසරේ (2023) දී රු.බිලියන 1763 දක්වා සහ විදේශ වෙළෙඳාම මත බදු මේ වසරේ (2022 ) පවතින රු. බිලියන 322 සිට ලබන වසරේ (2023) දී රු.බිලියන 455 දක්වා ද වැඩි කර ගැනීමට රජය නව අයවැයෙන් සැලසුම් කර ඇත. ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් සඳහා ද අධිභාර බද්දක් පැනවෙන අතර එය ආනයන අවස්ථාවේදීම අය කර ගැනෙනු ඇත. එසේම 2020 සිට 2022 දක්වා වසර තුන තුළ සංශෝධනය නොකළ ගාස්තු සහ අය කිරීම් සියයට 20 කින් ඉහළ නැංවීමට නියමිතය. අයවැයේ සඳහන් බදු සංශෝධන බොහොමයක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 2023 අප්‍රේල් 01 දින සිටය. කෙසේ හෝ බදු ප්‍රතිසංස්කරණ කෙතරම් සිදු කළත් එම බදු අය කර ගැනීම සඳහා වන හැකියාව සහ පහසුකම් ද පුළුල් කළ යුතුව තිබේ. මේ අනුව බදු පරිපාලනය ශක්තිමත් කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇති අතර රාජ්‍ය අයවැය ලේඛනයේ 04 වැනි ඇමුණුමේ ඒවා දැක්වේ. දැනට බදු ගෙවිය යුතු විශාල පිරිසක් බදු නොගෙවන බව රහසක් නොවේ. මේ නිසා වැඩියෙන් වක්‍ර බදු පනවා සාමාන්‍ය ජනයා මත වැඩි බරක් පටවනවා වෙනුවට කළ යුතු වන්නේ බදු පදනම පුළුල් කර ගනිමින් මේ බදු නොගෙවන පිරිස බදු දැලට හසුකරගෙන ඔවුන්ගෙන් නිසි බද්ද අය කර ගැනීමයි. මේ සම්බන්ධයෙන් මෙවර අයවැයේ බදුකරණය සම්බන්ධයෙන් වන 7 වැනි ඇමුණුමේ මෙසේ සඳහන්ය.

‘බදු ගෙවිය යුතු සියලුම තැනැත්තන් බදු ක්‍රමය තුළ ලියාපදිංචි වී ඇති බව සහ නියමිත බද්ද ගෙවන බව සහතික කිරීම සඳහා ස්වයං අනුකූලතාවය දිරිගන්වන අතරම, දියුණු විගණන හා සත්‍යාපන වැඩසටහක් ද ඇතුළුව බදු බලාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ඇත.’

● රාජ්‍ය වියදම

මේ වසරේ ඇස්තමේන්තුගත සංශෝධිත මුළු රාජ්‍ය වියදම රු.බිලියන 4427 කි. එය ලබන වසරේ (2023) රු.බිලියන 5819 ක් දක්වා වැඩි කිරීමට ද සැලසුම් කර ඇත. මේ අනුව ලබන වසරේ දී මේ වසරට වඩා රාජ්‍ය වියදම රු.බිලියන 1392 කින් එනම් රු.කෝටි 139200 කින් වැඩි වේ. එනම් රාජ්‍ය වියදම 2023 දී සියයට 31.4 කින් පමණ වර්ධනය වනු ඇත. මුළු වියදම නියෝජනය වන වර්තන වියදම (රජයේ එදිනෙදා වියදම) 2022 දී පැවති රු.බිලියන 3620 සිට ලබන වසරේ (2023) දී රු.බිලියන 4609 ක් දක්වා රු. බිලියන 989 කින් වැඩිවනු ඇතැයි ද එසේම රාජ්‍ය ආයෝජනය වර්ෂ 2022 දී පැවැති රු.බිලියන 1072 සිට ලබන වසරේ (2023) දී රු.බිලියන 1220 ක් දක්වා රු.බිලියන 148 කින් ද වැඩි වනු ඇති බවට මෙවර අයවැයෙන් ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන් අයවැයේ වියදම් යෝජනා යටතේ සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රු.කෝටි 4300 ක සැලකිය යුතු මුදලක් වෙන් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ ද ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වෙන අඩු ආදායම්ලාභීන් සහ අවදානමට ලක්වෙන පිරිස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ එම සහන ලැබිය යුතු සුදුසු අයට ඒවා ලැබෙන බවට සහතික කර ගැනීමයි. අප දන්නා පරිදි උද්ධමනය අහස උසට වැඩිවී ඇත. මේ අනුව බඩු මිල සියයට තුන් සියයකින් පමණ ඉහළ ගොස් ඇත. එහෙත් ජනයාගේ ආදායම් මට්ටම් එතැනමය. එසේත් නැත්නම් ආදායම් මට්ටම් තවත් අඩු වීම් ද සිදුව ඇත. එසේ නම් ජනයාට මේ අධික උද්ධමනයට සහ බදු වැඩි වීම්වලට මුහුණ දීමට දුෂ්කර තත්ත්වයක් තිබේ. සාධාරණත්වය බදු අය කිරීමේ මූලිකම මූලධර්මයකි. එසේ නම් මේ අය කරන බදු ‘සාධාරණ’ එනම් ගෙවිය හැකි ඒවා විය යුතුය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2023 අයවැය සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සහ වෘත්තීය සමිති නායකයින් ඉකුත් නොවැම්බර් 15 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අයවැයට පක්ෂව සහ විරුද්ධව විවිධ අදහස් පළ කළ අයුරු දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව මහතා මෙසේ අදහස් පළ කර තිබුණි.

“මෙවර අයවැයේදී වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ මේ ආර්ථිකය අපි ගොඩගන්නේ කොහොම කියන එක ගැන. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුවී තිබෙනවා. ආර්ථිකයට දායක වන ලෙස රාජ්‍ය ආයතන පවත්වාගෙන යා යුතුයි. අපනයනය බිලියන 30ක් දක්වා ගෙනයන්නේ කොහොමද?… ඒ සඳහා අඩිතාලම අයවැයෙන් සකස් කරන්න තමයි වැඩි ප්‍රවණතාවයක් දීලා තියෙන්නේ. නව වෙළෙඳ කලාප ඇති කරලා, විදේශ ආයෝජන ගෙනඒම… ඒ සෑමදේකම බලාපොරොත්තුව නව මාර්ගයකට මේ රටේ ආර්ථිකය යොමුකිරීම.”

ආරක්ෂක අංශයට තවමත් විශාල වියදම් දැරීම සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය සේවයේ අධික බර ගැන විවිධ අදහස් ඉදිරිපත්ව තිබේ. මේ ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සඳහන් කරන්නේ විශාල රාජ්‍ය සේවයක් පවත්වාගෙන අපිට ඉදිරියට යෑමේ හැකියාවක් නැති බවයි. රාජ්‍ය අංශය අවශ්‍ය ප්‍රමාණයට හැකිලිය යුතු බව ද ඔහු සඳහන් කරයි. ඒ වගේම පෞද්ගලීකරණය එකම විසඳුම නොවන බවත් ඔහු පවසයි. මේ සියලු අදහස්වල සත්‍යයක් තිබේ. අන්තිමට සාමාන්‍ය ජනයා මත මේ පාඩු ලබන ආයතනවල මෙන්ම විශාල රාජ්‍ය සේවයේ වැඩි බරත් පැටවී තිබේ. ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා ගෙන යෑමේ දී මේ බොහොමයක් ව්‍යුහාත්මක දුර්වලතා නිවැරදි කරගත යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment