පාර්ලිමේන්තු සැසිවාර මැද මහ මැතිවරණ තියන්න බෑ – අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදී කියයි

126

පාර්ලිමේන්තු සැසිවාරය මැද මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) සඳහන් කළේය.

ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයන්ගෙන් තුනෙන් එකක් වාර මැද අතුරු මැතිවරණවලින් පත් කරගත හැකි වුවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ එවැන්නක් නොමැති බව ද ඔහු පැවසීය.

එබැවින් වගකීමක් නොමැති ප්‍රකාශ කර ජනතාව නොමග නොයවන ලෙස ද අගමැතිවරයා කීවේය. අගමැතිවරයා එසේ කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස ඊට පෙර දින ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

පවතින රජය ඒකාබද්ධ වූ සභාග ආණ්ඩුවක් බව ද පොදුජන පෙරමුණ, එ.ජා.ප., ම.එ.පෙ., ශ්‍රීලනිප කොටස්, ඊපීඩීපී ආදි පක්ෂ රැසක් එක්වී ආණ්ඩුවක් ගොඩනැගුවේ රට ගොඩගැනීමට බව ද අගමැතිවරයා කීය.

එබැවින් එම අරමුණට යෑමේ වැඩපිළිවෙළට බාධා නොකර අය වැයට සහය දෙන ලෙස ද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඔහු කීවේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment