අයවැයේ විශේෂත්වය සැලසුම් සහගත කළමනාකරණයයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

85

2023 අයවැය විවාදය
අනුප්‍රාප්තික ජනාධිපතිට රටේ ඉඩම් ගැන තීන්දු ගැනීමට අයිතියක් නෑ

– මහාචාර්ය චන්න ජයසුමන (ශ්‍රීලපොපෙ)
නුවරඑළියේ එළවළු ගොවීන්ටත් පොහොර සහනාධාර දෙන්න – එස්. වී. රාධක්‍රිෂ්ණන්

ඒකාබද්ධ වූත්, සැලසුම් සහගත වූත්, කළමනාකරණ ගමන් මාර්ගයකට මුල්තැන දීම ලබන (2023) අය වැයේ විශේෂත්වය බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

ප්‍රථමයෙන් ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, කාරක සභා වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2023) සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දින විවාදය ඇරැඹිණි.

විවාදය ආරම්භ කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා – “ඉතාම බරපතළ අර්බුදයක් අපි පසුකරමින් සිටින්නේ. ජනපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මෙම අවස්ථාවට එළැඹෙනකොට අපි අමතක නොකළ යුතුයි අපි ලොකු අර්බුදයක් ගතකරමින් සිටින බව. ඒ වගේම එහි බරපතළකම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ගැඹුරෙන් අවබෝධ කරගෙන ඇතැයි කියන එක සිහිපත් කරන්න කැමතියි. මෙම අයවැය ලේඛනය ජනපතිතුමා ඉදිරිපත් කරන ක්ෂේත්‍ර

ගණනාවක් ආවරණය කරමින් සමාජ, ආර්ථික, දේශපාලන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කරගනිමින්, ඉතිහාසයේ වැදගත්ම අයවැය ලේඛනයක් බවට පරිවර්තනය කර ගැනීමට අලුත් මාවතක් ඉදිරිපත් කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ අපි ඒකාබද්ධ සැලසුම් හා කළමනාකාරීත්වයට මුල්තැන දෙන ගමන් යම් මාර්ගයක අවශ්‍යතාව පිළිගැනීමයි. මෙයට දේශපාලනයක් තිබෙන්නට බෑ. කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවට මේ වෙනකොටත් අපේ රාජ්‍ය සංස්ථාවල් 150 ක් විතර තමන්ගේ වාර්තාවල් එවලා නෑ. ඉතින් මම යළිත් සිහිපත් කරන්නේ මේ ඒකාබද්ධ සැලසුම් සහගත කළමනාකරණ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිතුමාට සහයෝගය ලබාදිය යුතුයි.

පසුගිය කාලයේ කොවිඩ් වසංගතය බලපෑවා. කොවිඩ් නිසා ලෝක ආර්ථික අර්බුදයක් පැවතියා. ඒ අර්බුදය හමාර නැහැ. ලෝක ආර්ථිකය අද පසුබෑමකට පත්වී බොහොම මන්දගාමීව හිමින් යන ගමනකට පරිවර්තනය වී තිබෙන බවත්, 2023 ත් එසේ සිදුවන බවත් ප්‍රකාශයට පත්වී පිළිගෙන හමාරයි. ඒ වගේම වෙනත් ජාත්‍යන්තර ගැටුම්, ඒ වාගේම කලින් සඳහන් කළ පරිදි අපේ ඉන්ධන අර්බුදය. මේ ඉන්ධන අර්බුදය ඉවර වෙන්නේ නෑ. ඉන්ධන අර්බුදය අපේ එදිනෙදා ජන ජීවිතයට, ආර්ථිකයට, සංවර්ධනයට, අපේ ඉදිරි ක්‍රියා මාර්ගවලට බලපානවා. ඒ වගේම අනිත් රටවල්වලටත් බලපානවා. අද එංගලන්තයේ, මහා බි්‍රතාන්‍යයේ ඇති වෙච්ච ආර්ථික අර්බුදයන්, ජීවන අර්බුදයන් හමුවේ ඇතිවුණු පෙරළි ගණනාවක් මේ අවුරුද්ද තුළ සිදුවෙලා. ඒ නිසා මෙය ආර්ථිකයේ පොදු ලක්ෂණයක්.

තරුණයන් හා කාන්තාවන්ට තමයි අපි අනාගතයේ මේ වගකීම භාර දෙන්න තියෙන්නේ. ඒ සඳහා වූ නිෂ්පාදන ක්ෂේත්‍රවලට අඩුතැන් පිවිසෙන්න පුළුවන්කම යෝජනා කිරීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර වාර්තාවක් සකස් කළා. සම්පූර්ණ වැවිලි ක්ෂේත්‍රයේ අපතේ හෝ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් පිළිබඳ. අද දක්වා ඒක භාණ්ඩාගාරයේ තියෙනවා. කිසිම වැඩපිළිවෙළකට පාත්‍ර කළේ නෑ. ජනාධිපතිතුමා මේවා ගැන අවධානය යොමුකොට, මේ ඉලක්කය ජාතික ඉලක්කයක් බවට පරිවර්තනය කරන්න පාර්ලිමේන්තුවේ සහයෝගය ඉල්ලන අවස්ථාවේ හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම තමන්ගේ ජනතාව නියෝජනය කරන කොට්ඨාසවල, ඒ තරුණයන්ට, කාන්තාවන්ට මේ අවස්ථාව දීම සඳහා අත්වැල්

බැඳගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අපට වෙනස්කම් කරන්නට සිදුවී තිබෙනවා. මේවා අතරට ශ්‍රී ලංකා ගුවන් සේවය, ඒ වගේම හෝටල් ක්ෂේත්‍රය ප්‍රධාන ආයතන කිහිපයක් ටෙලිකොම්, රක්ෂණය වශයෙන් ආරම්භයට නම්කර තිබෙනවා. මගෙත් එක්ක විරුද්ධ පක්ෂයත් එකඟවෙයි. මේ තීරණය අමාරු තීරණයක් වුණත් ගත යුතුයි. මෙය වසා දැමීම ලෙස සළකන්නේ නැති බව කියන්න ඕන. අපි මේ අර්බුදයෙන් ක්ෂේත්‍රය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ගයට මේ වනවිට ශ්‍රී ලංකාවට ගමන් නොකළ ගුවන් යානා දැන් පැමිණෙන්නට පටන් ගෙන තිබෙනවා. අපේ ගුවන් තොටුපළවල් ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීම, සංචාරකයන් ගෙන ඒම, සංචාරක කර්මාන්තය යළි පණගැන්වීම සිදුවෙමින් තිබෙනවා.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් විශාල විදේශ විනිමය ධනස්කන්දයක් අපට ඉතුරු කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අපේ රටේ ඇති වී තිබෙන ඇති හා නැති පරතරය. අපි ආණ්ඩුවක් හැටියට එසේ නෑ කියන්නේ නෑ. ඇති නැති පරතරය අඩුකර ගැනීමට අවශ්‍ය සමාජ ආරක්ෂාවන් ඇතිකර ගැනීමට අවශ්‍ය කටයුතු වෙන් කරලා තිබෙනවා. මේ අයවැය ලේඛනයේ කිසිවක් නෑ කියලා ඔබ කිසිවකුට කියන්න බෑ. ජනාධිපතිතුමා අයවැය ලේඛනයේ මෙතෙක් තිබුණු ඒ දීමනාවල්, වැන්දඹු දීමනාවල්, දරුවන් සඳහා, ආරක්ෂාව සඳහා, සමෘද්ධිය සඳහා වුණු දීමනාවල් වැඩිකරලා තිබෙනවා. මම කියන්නේ යථාර්තවාදීව ඇති නැති පරතරය වැඩි වීමේදී ධනවාදීව හැම රටකම වෙළෙඳපොල ආර්ථිකවලත් මේ සමාජ සුරක්ෂිතභාවය කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යයි. ඒක අපි

පිළිගන්නවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලේ එය අන්තර්ගත කර තිබෙනවා. අමාරුකම් තිබෙනවා. මා අග්‍රාමාත්‍යතුමා හැටියට, ජනපතිතුමා ජනාධිපතිතුමා හැටියට මොහොතකට කියන්නේ නෑ මහජනයාට අමාරුකම් නෑ කියලා. මහජනයාට අමාරුයි. අපේ රට මුහුණ දෙන්නේ කවදාවත් මුහුණ නොදුන්න තත්ත්වයක්. මෙයින් අපි ගොඩ ආ යුතුයි. ඒ ගොඩ ඒමේදී අපේ අඩු ආදායම් ලබන ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවරවල්ද ආරක්ෂණ දැල තුළින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ අන්තර්ගත කර තිබෙනවා.

මූල්‍ය හා රාජ්‍ය ආයතන මේ තත්ත්වයන් පිළිබඳ මීට වඩා මේ අයවැය ලේඛන දිහා බලන්නට කියලා මම ඉල්ලා සිටිනවා. ග්‍රාමසේවක කොට්ඨාස 14,000 ක් විශේෂ පුනර්ජීවනයක් ලෙස ආහාර අතින් ස්වයං පෝෂිත වීමේ ඉලක්කයට ගමන් කරවීමට අපේ ජනාධිපතිතුමාගේ යෝජනාවට අන්තර්ගත කොට ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. ඒ සඳහා අවශ්‍ය පොහොර, බීජ ඒවාගේම ඒ සඳහා අවශ්‍ය වූ වාතාවරණය ඒ වගේම වගා කරන අයිතිය ඉදිරි කන්න දෙකට ලබාදීම වැනි අලුත් වැඩපිළිවෙළවල් ලක්ෂ

ගණනාවකට අවතීර්ණ වෙන්න අලුතෙනුත් අවස්ථාවක් අයවැය ලේඛනයේ යෝජනා කළා. අපි ගමන් කරන්නේ මහ අස්වැන්නට. මහ කන්නෙට. අමාරුකම් මධ්‍යයේ රටේ ගොවි ජනතාව ආහාර නිෂ්පාදනය කරන ගෞරවය අපේ රටට

ගෙනැල්ලා තියෙනවා. අපිට සහලින් ස්වයං පෝෂිත විය හැකියි. අපිට අනෙක් භෝග වගාවන්හි ස්වයංපෝෂිත විය හැකි බවත්, ඔප්පු කරමින් ඒ ක්‍රියාවලියට අපි රටක් හැටියට හිස ඔසවා දීම සඳහා සහයෝගය දෙමු.

පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (සජබ)-

ආදායම ඉහළ යා යුතුයි. ඒ සඳහා බදු පැනවීම ගැටලුවක් නැහැ. ඒ බද්දේ ප්‍රමාණය හා කාලය තමයි ප්‍රශ්නය. පුද්ගල බද්ද වසරකට රුපියල් ලක්ෂ 12 ට අඩු කරලා. වෘත්තියෙන් තම ගෞරවයට මොකද වෙන්නේ. පෝලිම්වල ගිහින් ආධාර ගන්න තැනට පත් කරන්න එපා. දුප්පත්කමට තල්ලු කරන්න එපා. ඒ නිසා පුද්ගල බද්ද තිබූ ප්‍රමාණයේම තබන්න.

ඩොලර් හිඟයක් තියන නිසා ආනයනයට මුල්තැන දෙන්න. බංගලාදේශයේ අපනයනයට බද්ද සියයට 12 යි. ඉතියෝපියාව, කෙන්යාව බද්ද බින්දුවයි. ලංකාවේ අපනයනයට සියයට 30 ක බද්දක් ගහනවා. දේශීය නිෂ්පාදකයාට ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යෑමට වැඩපිළිවෙළක් නැහැ. අපනයන කලාප ඇති කරනවා කීම අලුත් දෙයක් නොවෙයි.

මේ අයවැයේ කමිටු

ගණනයි කොමිෂන්

ගණනයි ගණන් කරලා බලන්න. කොයි තරම් තියෙනවාද කියලා.

ආයෝජකයෝ පැමිණ වසරක් බලා ඉන්නවා ඛනිජ සම්පත් අපනයනය කිරීමට. මේවා ඇති වීමට මූලික වී ඇති දුර්වලතා ඉවත් කරන්න. ප්‍රායෝගික වෙන්න. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලක්ෂ 15 යි. ජපානයේ ලක්ෂ 33 යි. ලංකාවේ ජනගහනය මිලියන 220 යි. අපේ රාජ්‍ය සේවය ලක්ෂ 6 කින්වත් අඩු විය යුතුයි. රාජ්‍ය සේවය නැති කළේ දේශපාලනඥයෝමයි. මේ සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ සඳහා ආණ්ඩුවෙ හා විපක්ෂයෙ එකඟතාවක් අවශ්‍යයි.

ජනාධිපතිතුමාට එතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න බැරි ඇයි? මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන ජනාධිපතිවරුන්ට තමන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරන්න බැරි ඒ අය හෙළි කළහොත් අනිත් අයට හෙළි නොකර ඉන්න බැහැ. අල්ලස් කොමිසම ස්වාධීන කරන්න. මේ නීති ඉක්මනට ගේන්න.

රාජ්‍ය ඇමැති විජිත බේරුගොඩ

වර්තමානයට වඩා අනාගතය ගැන හිතලා අපි තීන්දු තීරණ ගත යුත්තේ. අද අයවැය ඉදිරිපත් කළේ ඉතිහාසයේ ඉතා අසීරුම අවදියකයි.

මැදි කාලීන ආර්ථික රාමුවක් තුළ රට

ගොඩනැඟීම මේ අයවැයේ අරමුණයි. අපි ඉක්මනින්ම ආර්ථිකය ගොඩනඟා නොගත්තොත් මීට වඩා බරපතළ අවදානමකට රට පත් වෙනවා. ලබන වසරේදී සියයට 3.5 ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි හැම අංශයක්ම දියුණු කළ යුතුයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

ආණ්ඩුව විපක්ෂය විවේචනය කර ගත්තොත් එහි දරුණු ප්‍රතිවිපාක විඳින්න වෙන්නෙ ජනතාවටයි. වෙච්ච අඩුපාඩු ගැනම කිය කියා ඉඳලා වැඩක් නැහැ. විශාල අත්දැකීම් ඇති රනිල් වික්‍රමසිංහ මහතා රට

ගොඩනැඟීමට කටයුතු කරන බව විශ්වාසයි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී ක්‍රියා කළ විශාල පිරිසක් මේ වනවිට නිදහස් කර තිබෙනවා. ඒ නිසා ජාති ආගම්

ගැන නොබලා රට ගොඩනැඟීමට සියලු ජාතීන් එක් විය යුතුයි. උතුරේ ජනතාව කෘෂිකාර්මික අතින් විශාල කාර්යක් කරනවා. දෙමළ ඩයස්පෝරාවත් රට වෙනුවෙන් එක් විය හැකියි.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වී. රාධක්‍රිෂ්ණන් මහතා

නුවරඑළියේ එළවළු ගොවීන්ටත් පොහොර සහනාධාරය ලබාදිය යුතුයි. ඒ අයටත් ඉන්ධන, පොහොර, කෘමිනාශක ලබා දෙන්න ඕන. නැත්නම් කොහොමද ජනතාව එළවළු කන්නේ.

මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා

ජනාධිපතිතුමා මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ දරුණු ආර්ථික පරිහානියක් මධ්‍යයේයි. ජනාධිපතිතුමා පසුගිය කාලයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරලා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරලා රේගුව ආදී රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරලා තමයි මේ අයවැය ඉදිරිපත් කළේ. රටේ උද්ධමනය විශාල වශයෙන් වැඩි වුණා. එය පාලනය කිරීමට ජනාධිපතිතුමා මේ අයවැයෙන් පියවර රාශියක් අරගෙන තිබෙනවා. මෙය ඉතාමත්ම හොඳ අයවැයක්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා

නිදහසෙන් පසුව මේ රට ඉතාම බැරෑරුම් තත්ත්වයකයි තිබෙන්නේ. ඒකට හිටපු මුදල් ඇමැතිවරු විශේෂයෙන්ම වගකියන්න ඕනේ. දැන් දවසින් දවස මේ රටේ ජනතාවට අවශ්‍ය පෝෂණය ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. එක වේලක් කෑවොත් අනෙක් වේල කන්න ජනතාවට අමාරුයි. ජනාධිපතිතුමා අයවැය

මගින් ඉදිරිපත් කළ දිශානතිය ගැන අපට ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක මේ භූමිය තුළ ඇති කරන්න පුළුවන්ද කියන ගැටලුව තිබෙනවා. මේ අයවැය මගිනුත් රටේ ආරක්ෂාව වෙනුවෙන් සමස්ත වියදමෙන් සියයට 10 ක් වෙන් කරලා තිබෙනවා. මෙය ප්‍රායෝගික තත්ත්වයක් නොවෙයි, ඊට සාපේක්ෂව, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය අඩුයි.

(වසන්ත යාපා බණ්ඩාර මහතා මූලාසනයට පැමිණේ.)

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (ශ්‍රීලපොපෙ)

මෙවර අයවැය මගිනුත් සංකල්ප විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ සංකල්පවලින්ම පමණක් රට ගොඩනඟන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මට තිබෙනවා. මේ රටේ තිබෙන ඇත්ත ප්‍රශ්න මේ සංකල්ප පත්‍රිකාවෙන් වහන්න පුළුවන් ද කියලා මම අහනවා. අපේ රටේ ගත්තු මෝඩම තීරණය තමයි පොහොර තහනම් කිරීමට ගත්තු තීරණය. අද වනවිට සහල් මෙටි්‍රක් ටොන් අට ලක්ෂයක් ගෙනල්ලා තිබෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් වේවි ඉදිරියට. අපි ආදායම් උත්පාදනය කරන්නේ නැතුව ණය ගත්තා ඒක තමයි අපේ රටට විශාලම ව්‍යසනය වුණේ. මේ අයවැයෙන් කෘෂිකර්මාන්තය ගැන අමතක කරලා. මීට වඩා සහන කෘෂිකර්මාන්තයට දිය යුතුයි. නැත්නම් අපේ රටේ කෘෂිකර්මාන්තය මැරෙයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි පාඨලී චම්පික රණවක (සජබ) – අයවැයට එකතු නොවන දැවැන්ත වගවීමක් තියෙනවා. ඒවා භාණ්ඩාගාර බිල්පත් ඒවා සටහන් නැහැ. අයවැයේ නැතත් බිලියන 3800 ක භාණ්ඩාගාර බිල්පත් අපි ගෙවිය යුතුයි.

ඉන්ධන මත බදු අයකරන බව සඳහන් වෙනවා. දැනටමත් රුපියල් බිලියන 100 ක ආදායමක් ඉන් ලබනවා ඒවා අයවැයේ නෑ. අලුතෙන් බදු පැනවීමෙන් තෙල් විදුලි බිලට අතිරේක බරක් පැටවෙනවා. තෙල් භාවිතය සියයට 40 කින් හා විදුලි භාවිතය සියයට 20 කින් දැනටමත් අඩුවෙලා. ඒ ආර්ථිකය හැකිලීම නිසයි. බදු පැනවීමෙන් තවත් එම ප්‍රමාණය අඩුවේවි.

අපි දැන් පාරවල් හදන්න පුළුවන් තත්වයකද ඉන්නේ. පාරවල් හදන්නත් මුදල් වෙන් කරලා රජයේ වියදම් පාලනයට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

රජයට එක රක්‍ෂණ සංස්ථාවක් හරි අවශ්‍යයි. එනිසා විකුණන්න එපා. ආදායම් වියදම්වලට රාජ්‍ය දේපළ විකිණීම වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග ගන්න.

අපි සල්ලි අච්චුගැහුවා ඩොලරය ගැන ආඩම්බර කතා කිව්වා දැන්වත් ඒවා නවත්වලා නිවැරදි ත්තත්වයට මුහුණ දෙමු. විරැකියාව අද දෙගුණ වෙලා දුප්පත්කම 2005 තත්ත්වයට ගිහින් ඉදිරියේ දරුණු විය හැකියි. වතුකරයේ දුප්පත්කම සියයට 40 ට වැඩියි. යෙදවුම් මිල අධික නිසා සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. වෘත්තීයවේදීන් රට

රැකියාවලට යනවා. තරුණ තරුණියන් වෘත්තිකයන් රට හැර යනවා. දූෂණයට දැඩි ක්‍රියාමාර්ග නොගත්තොත් රට විනාශයට පත්වෙනවා. සංචිත බින්දුව වුණාම පස්සේ තමයි මූල්‍ය අරමුදලට ගියේ. 2021 දී මූල්‍ය අරමුදලට ගියා නම් ප්‍රශ්නය සැහැල්ලු වෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි නාලක කෝට්ටේගොඩ –

අයවැය සම්මත වු පසුව රටක් ලෙස අපි නැගිය යුතුයි. ඉදිරි වසර 10 තුළ ශ්‍රම බළකාය ශක්තිමත් කළ යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි (සජබ) – ව්‍යාපාරිකයන්ට දේශපාලනඥයන් නැගිටින්න දෙන්නේ නැහැ. ඔවුන් ස්වයංව නැගිට්ටේ. රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන අපනයන වැඩපිළිවෙළ කෙසේ ගොඩනගන්නේද යන්න සියලු පක්‍ෂ එකමුතුව වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. දේශීය නිෂ්පාදන ශක්තිමත් කළානම්

පාරිභෝගික භාණ්ඩ මිල අඩු කළ යුතු නැහැ.

අපේ අපනයනයන් ශක්තිමත් කිරීමට අපි පියවර ගත යුතුයි. අගමැතිවරයා පාර්ලමේන්තුව නොමග යැව්වා. වසර දෙකමාරකට පස්සේ ජනපතිට බලය ලැබෙනවා ඒ කරුණ ඔහු විකෘති කළා.

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර – අරගලය නිසා සිදුවු හානිය 88/89 කාලයේ සිදුවු හානියට වඩා වැඩියි.

විදේශ ශ්‍රමිකයාට මුදල් එවන්න එපා කියලා සමහරු තාම කියනවා. ආණ්ඩුවට රිද්දන්න එහෙම කිව්වහම රිදෙන්නේ අහිංසක ජනතාවට බව ඔවුන් දැන ගත යුතුයි.

අයවැය කතාව විපක්‍ෂයේ සමහරු කියවලා නැතිව කතා කරනවා. ආයෝජන දිරිගන්වන්න පියවර යෝජනා කර තිබෙනවා.

අද තියෙන්නේ දෙබිඩි විපක්‍ෂයක් මුල්‍ය අරමුදලට යන්න කියලා එක පැත්තකින් බල කරනවා. ඒකට

ගියාට පස්සේ අපි කරන හැම එකක්ම මූල්‍ය අරමුදලට ඕන විදිහට කරනවාලු.

පවුල් ලක්‍ෂ 38 ක් අද ආධාර ඉල්ලනවා. එහි වගකීම තියෙන්නේ ආණ්ඩුවටයි. ගොවියාගේ ප්‍රශ්නය තේරුම් ගත් නිසයි පොහොර ලබාදීමේ වැඩිපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ.

ශ්‍රී ලංකාව ගොඩ දාන්න පුළුවන් අවශ්‍ය හැම සම්පතක්ම රටේ තියෙනවා. මේ සම්පත් හඳුනාගෙන අදාළ ආයතනවලට ඉලක්ක දෙන්න. වැඩ කරන්න බැරි අය ඉවත් කරන්න. මේ සඳහා ජනපති, අගමැති මැදිහත් වෙන්න.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ප්‍රියන්ත ලියනගේ (සජබ) – තේවලට අවශ්‍ය පොහොර මාස තුනකින් තාම දීලා නැහැ. තේ කර්මාන්තය විශාල අර්බුදයක පවතින්නේ. කුඩා තේ වතු හිමියන්ට සහන පොලියට බැංකුවෙන් ණය ව්‍යාපෘතියක් ආරම්භ කළත් එය හිමි වුණේ ලොකු වතු හිමින්ටයි. සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා නම් වනෝiාන නැරඹීමේ ගාස්තු අඩු කරන්න. අධික ගාස්තු පැනවීම නිසා සංචාරකයින් වෙරළ සීමාවේ විතරක් රැඳී රටින් යනවා. වහාම මිල ගණන් අඩු කරන්න.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර (ශ්‍රිලපොපෙ) – රටේ ආදායම වියදම පියවා ගන්නවත් නැහැ. ආදායම හා සමාන ප්‍රමාණයක් අයවැය පරතරය වී තියෙනවා.

රටක් විදිහට බංකොළාත් වු බව ප්‍රසිද්ධියේ කිව්වා. අපට කිසි රටක් ණය දෙන්නේ නැහැ. විදේශ සංචිත වර්ධනය කර ගැනීම වැඩි කළ යුතුයි. දුප්පත්කම වැඩිවෙනවා. කාටවත් එක මතයකට ඇවිත් වැඩ කරන්න බැහැ. අපි හැමෝම කුලල් කාගන්නා තත්ත්වය දිගටම පවතිනවා. අවාසනාවන්ත තත්ත්වයක්.

අපි කඩිනමින් විසඳාගත යුතු ප්‍රශ්න මැදිකාලීනව විසඳාගත යුතුයි. අධික පොලී අනුපාත අවම කරගත යුතුයි. අද බැංකු පද්ධතිය එතරම් ශක්තිමත් නෑ.

කවුරු හරිද කවුරු වැරදිද කියා බැලිය යුතු වේලාවක් නොවෙයි. මිනිස්සු පාරට බස්සලා සටන් කරන වේලාව පහුවෙලා ඉවරයි. දැන් අපි හැමෝම එකතු වෙමු. බදු ප්‍රතිසංස්කරණ මගින් පමණක් ආර්ථික ගමන තීන්දු කරන්න බැහැ. ආර්ථික නවීකරණයට අලුත් උපාය යෙදිය යුතුයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන – රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය හොඳයි. ඉතා පරිස්සමින් කළ යුතුයි. ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගත කරලා තියෙන්නේ රටේ දත්ත සියල්ල එන්නේ ටෙලිකොම් හරහායි. කෝටි 2040ක ලාභයක් ලැබුවා. ටෙලිකොම් යටතේ ඇති අනෙක් ආයතන දේපළ විකිණෙනවා. මේ විකිණීමත් සමග සියලු දත්ත අනාරක්‍ෂිත වෙනවා.

බරපතළම තර්ජනය එල්ල වන්නේ රජයේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාවලියයි.

ප්‍රාදේශීය ලේකම් හරහා ඉඩම් පැවරීම සිදු කළහොත් ගොවි ජනපද ව්‍යාපාර සම්පුර්ණයෙන් විනාශ වීමේ අනතුරක් තියෙනවා. අනුප්‍රාප්තික ජනපති ලෙස රටේ ඉඩම් ගැන තීන්දු ගන්න ඔහුට අයිතියක් නෑ. ව්‍යාපාරිකයන්ට තැරැව්කරුවන්ට ඉඩම් අක්කර පහක්

ගන්න හැකි වෙනවා. ගොවි ජනපද නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට ඊට අත ඔසවන්න පුළුවන්ද.

රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ – ශ්‍රී ලංකාව සංවර්ධනය දෙස යාමට අවශ්‍ය යෝජනා මේ අයවැයට ඇතුළත්ව තියෙනවා. නව ආර්ථික කලාප පිහටුවීම ඇතුළු කර්යයන් නිසා ආයෝජන දිරි ගැන්වීමට හා අපනයන දිරිගැන්වීමට අවශ්‍ය පදනම යොදා තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි වාසුදේව නානායක්කාර – පොදු ජනතාව කබලෙන් ළිපට දැමූ අයවැයක්. අයවැයෙන් ජීවන තත්ත්වය තවත් උග්‍ර තත්ත්වයට පත් වෙනවා.

අනිවාර්ය බදු පොදු ජනතාවට. කොම්පැණි බදු නොගෙව්වහම ඔවුන්ට බදු සමාව ලැබෙනවා. යථාර්ථය එයයි. ජනතාවගේ පොරොන්දු හීනයක් වෙලා. වැටුපකින් ජීවත් වු ජනතාවට පොළොවට සමතලා වෙන්න සිදු වෙනවා. ලැබෙන වැටුපෙ වටිනාකම තවත් පහළ වැටෙනවා.

පාර්ලමේන්තුව අද (17දා) පෙරවරු 9.30 ට යළි රැස්වෙයි.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment