‘සිස්ටම් චේන්ජ්’ මැතිවරණ ප්‍රකාශනය

209

දෙදහස් දහසය වසරේ සිට ස්වෛරී ඡන්ද දායකයකු ලෙස රචක විසින් යෝජිත දේශපාලන හා මැතිවරණ ‘ක්‍රම වෙනස්කම්’ පැකේජයක් කලින් කලට යාවත්කාලීන කරමින් මාධ්‍ය තුළින් මෙන්ම අදාළ බලධාරීන්ට හා ඡන්ද දායකයන්ට කැපවුණු සිවිල් සංවිධානවලට ද ඉදිරිපත් කර ඇතත්, කිසිම වගතුවක් වී නොමැත. එම පැකේජයේ පදනම වූයේ ඡන්ද සමානාත්මතාවය, කුසලතා මත පදනම් වූ මහජන නියෝජිතයන් නම් කිරීම, ශ්‍රී ලාංකීය බව, සරල බව, විනිවිදභාවය, වගවීම සහ පිරිවැය ඵලදායී බව සහතික කිරීම මගින් පවතින දේශපාලන හා මැතිවරණ ක්‍රමවල මුල්බැස ගත් අඩුපාඩුවලට පිළියම් යෙදීමය.

බංකොලොත් රටක පවතින ආර්ථික දුෂ්කරතා සහ ඡන්දදායක අඩු සාක්ෂරතාවය ද සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ සියලු අපේක්ෂාවන් සම්පූර්ණ කිරීම සඳහා, රචක විසින් යාවත්කාලීන කරන ලද යෝජනාවල විෂය පථය, පවතින දේශපාලන හා මැතිවරණ ක්‍රමවලට සිදු කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම්, වෙනස් කිරීම් හා මුවහත් කිරීම්වලට සීමා කර, අදාළ බලධාරීන්ට සහ සෙසු අයට ද අපහසුතාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි, වඩාත් තාර්කික හා යථාර්ථවාදී ක්‍රමවේදයන්, උපචිත ප්‍රතිලාභ ද සමග සිංහල හා ඉංග්‍රීසි පුවත් පත් තුළින් පළකර ඇත. ජනපති අපේක්ෂක මැතිවරණ ප්‍රකාශනයට අඩංගු කළ යුතු ඡන්දදායක‘සිස්ටම් චේන්ජ්’ සාරාංශයක් පහත ඉදිරිපත් කරමි.

  1. පත්වී මාස 06 ක් ඇතුළත, ඉදිරි මහ හා පළාත් සභා මැතිවරණවලට අදාළ පහත සඳහන් නව පරපුරේ ක්‍රම වෙනස්කම් නීතිගත කිරීමට හා ජනපතිධුරය අහෝසි කර, දෙමුහුන්
    • අග්‍රාණ්ඩුකාරවරයකු පත්කිරීම ඇතුළු අනෙක් දේශපාලන ක්‍රම වෙනස්කම්, මාස 18 ක් ඇතුළත නීතිගත කිරීමට තම මැතිවරණ ප්‍රකාශනය තුළින් නිශ්චිත ප්‍රතිඥාවක් ලබාදීම.
  2. ශ්‍රී ලාංකිකත්වය මතුකිරීම සඳහා, රටපුරා වලංගු සෑම ඡන්දයකටම සමාන වටිනාකමක් දීමට අවශ්‍ය හෙයින්, පක්ෂ මැතිවරණ ආසන ගණනය සඳහා, සරල ජාතික/දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිශතයක් පමණක් භාවිතා කිරීම.
  3. ඡන්දයේ සමානත්මතාවය රැකගනිමින්, සෑම මැතිවරණ කොට්ඨාසයකටම අවම 01 මන්ත්‍රීවරයකු පත්වීම සහතික කිරීම සඳහා, කොට්ඨාස කුසලතා අනුව සැකසූ නාමයෝජනා ලැයිස්තු, දිස්ත්‍රික්ක මට්ටමේ ලියාපදිංචි කිරීම හා දිස්ත්‍රික්ක කිහිපයක පමණක් (උදා.10 ට අඩු) තරග කරන පක්ෂ/කණ්ඩායම් සඳහා මධ්‍යම සංචිත (පෙර ජවිපෙ ක්‍රමය) ලැයිස්තුවක් කුසලතා අනුව ඉදිරිපත් කිරීම.
  4. ඡන්ද අපේක්ෂකයන් කුසලතා අනුපිළිවෙළට නම් කිරීම සහතික කිරීම සඳහා, රට පුරා සියලු පක්ෂවලට, අනිවාර්ය අවම සුදුසුකම් හා ලකුණු සහිත ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදයක් පැනවීම.
  5. මැතිසබයේ හා ප. සභාවල, 20% බැගින් කාන්තා හා තරුණ නියෝජනය සහතික කිරීමට, කුසලතා අනුව චන්ද කොට්ඨාස නාම ලැයිස්තුවල, සෑම 5 දෙනකු අතර, අවම වශයෙන් 01 කාන්තාවක් හා වයස 35 ට අඩු 01 අයකු සිටීම. ඔවුන්ට විශේෂිත පූර්ව සම්මුඛ පරීක්ෂණ ලකුණු ලබා දෙන ක්‍රමවේදයක් ද සකස් කර ඇත.
  6. බහුශ්‍රැත දැනුම හා වාර්ගික ජන විකාශන ප්‍රතිශත නිරූපණය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 ක්, දිස්ත්‍රික් පදනමින් නම් කිරීම සඳහා, විනිවිද පෙනෙන නිශ්චිත නව ක්‍රමවේදයක් අනිවාර්ය කිරීම. ඔවුන් 1972 දී අහෝසි කළ සෙනේට් ක්‍රමයට ආදේශකයන් වන හෙයින්, මැතිවරණයේ තේරී පත් නොවූ අපේක්ෂකයන් නම්කළ නොහැක.
  7. පස්අවුරුදු මැතිවරණ ප්‍රකාශන, දැඩි පසුවිපරමකට යටත්, කාල වකවානු සහිත ක්‍රියාකාරී සැලැස්මක් ද සමග නඩු පැවරිය හැකි ලියවිල්ලක් බවට සන්නාමගත කිරීම තුළින්, එය බුද්ධිමත් ඡන්දදායක තීරණයක් සඳහා ප්‍රධානතම සාධකය ලෙස පිළිගනු ලැබීමට සැලැස්වීම.
  8. ප්‍රශස්ත සුදුසුකම් සහ ඉහළ මුදල් තැන්පතු අවශ්‍යතා පනවා, හතු පිපෙන්නාක් මෙන් මතුවන කූට හා තැරැව්කාර දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අධෛර්යවත් කිරීම.
  9. දූෂිත ‘පැති මාරු’ ක්‍රමය තහනම් කර, අදාළ ලියාපදිංචි කුසලතා ලැයිස්තුවේ සඳහන් අනුරූප නමකින් මන්ත්‍රී පුරප්පාඩු පිරවීමට ඉඩ දීම.
  10. මැතිවරණ හා දේශපාලන පරිපාලන ක්‍රමවල, උපරිම ඵලදායිතාවය සහතික කිරීම සඳහා, වෙනස් පාට යෙදූ ඡන්ද පත්‍රිකා යොදා සරල හා අඩු පිරිවැය පියවර තුළින් පළාත් සභා හා මහමැතිවරණය සමග අදාළ ජනමත විචාරණය ද එක දිනක පැවැත්වීම. මෙහිදී, විද්‍යුත් ඡන්ද ක්‍රමය ද සලකා බැලිය හැක.
  11. පළාත් පාලන ක්‍රමය නිර්දේශපාලනය කර ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පය අනුව,ජනතා මූලික පාලනයක් තුළ ගමේ පිළිගත් ස්වාධීන අපේක්ෂකයන් හරහා ජනතාවට අපක්ෂපාතී, දුෂණයෙන් තොර සේවයක්.
  12. ආසන දිනූ පක්ෂ විසින් මහමැතිවරණයකදී ලබාගත් ජාතික ඡන්ද ප්‍රතිශතය අනුව, ව්‍යස්ථාපිත අමාත්‍යධූර සංඛ්‍යාව බෙදා දී, තිරසාර ජාතික කැබිනට් ක්‍රමයක් ස්ථාපිත කර ශ්‍රී ලාංකිකත්වය කුළුගැන්වීම.
  13. පළාත් සභා අරමුණාත්මකව (අවශ්‍ය නම් අමතර බලතල සහිතව) ශක්තිමත් කර, පාර්ලිමේන්තු මන්ත්‍රී වගකීම් හා වරප්‍රසාද සහේතුක කිරීම.
  14. සිස්ටම් චේන්ජ් අනුමැතිය කඩිනම් කිරීම සඳහා අවසාන විසඳුම.

I. සබැඳියාවන් අතර ගැටුම වළක්වා ජනතා මූලික පාලනයක් සහතික කිරීම සඳහා, ජනපති ඇතුළු ජනතා නියෝජිතයන් වන සියලුම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීන් ස්වකීය සුදුසුකම් හා තෝරාගැනීමේ සියලු ක්‍රියාවලීන් මෙන්ම වැටුප් සහ වරප්‍රසාද තීරණය කරන සියලු ක්‍රියාවලීන්ට ද සහභාගිවීම ව්‍යවස්ථානුකූලව වැළැක්විය යුතුය. එවිට, මේ දක්වා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක ප්‍රධානීන් වන ස්වෛරී චන්දදායකයන් තම මුලික අයිතිවාසිකම බලාත්මක නොකිරීම තුළ, සියලුම ප්‍රජා කටයුතුවලදී, දේශපාලනඥයන් දෙවිවරුන් වී ඡන්දදායකයන් අසරණ බැතිමතුන් බවට පත්වීම නවතිනු ඇත.

II. දේශපාලන පරිපාලන ව්‍යුහය හා මැතිවරණ ක්‍රමවලට අදාළ සියලු කාරණා හා ක්‍රම වෙනස්කම් සම්බන්ධයෙන් අවසාන නිර්දේශයන් මෙන්ම, ඔවුන්ගේ වැටුප් ඇතුළු සියලු වරප්‍රසාදවලට අදාළ අවසාන නිර්දේශයන් ද, නිසි අනුමැතිය විධිමත් කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බලය පැවරෙන සේ, මැ. කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම/වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම්වල විෂයපථය හා කාර්යභාරය ව්‍යවස්ථානුකූලව පුළුල් කළ යුතුය.

III. මැ.කොමිසමේ කාර්යභාරය ශක්තිමත් කිරීම් සඳහා විශ්‍රාමික විනිසුරුවන්, විද්වතුන් ඡන්දදායකයන්ට කැපවූ ආයතන හා ස්වෛරී ඡන්දදායකයන් නියෝජනය කරන සිවිල් ක්‍රියාකාරීන්ගෙන් සැදුනු නිත්‍ය කාර්යසාධන බළකායක් පත් කිරීම.

මෙවැනි කාර්යසාධන බළකායන් අනෙක් අදාළ ස්වාධීන කොමිසම් සඳහා ද පත්කරමින් ජනතා මූලක පරිපාලනය පුළුල් කළ යුතුය.

සටහන

අප රටේ දැනට පවතින දේශපාලන සහ මැතිවරණ ක්‍රම පදනම් වී ඇත්තේ, මේතාක් කල් රට කරවූ ආත්මාර්ථකාමී, බලයට කෑදර බහුතර සම්ප්‍රදායානුකූල දේශපාලකයන් විසින් සරල ඡන්දදායකයන් නොමඟ යවමින්, ඊනියා ස්ථාවර රජයක අවශ්‍යතාවය මතුකිරීම මතය. ඒ සඳහා යොදාගත් සංකීර්ණ විදේශීය ආකෘති නිසා, ක්‍රමයේ විනිවිදභාවය බොඳවී, කූට දේශපාලකයන් දෙවිවරු වූහ. එහි දීර්ගකාලීන ප්‍රතිඵලයක් වශයෙන් වසර 74කට පසු රට ‘බංකොලොත්’ විය.

එනිසා,භූගෝලීය වපසරිය හා ජන විකාශනය අනුව, අනන්‍ය වූ සංවේදී ජනවාර්ගික ගැටලු සහිත, කුඩා රටක් ලෙස, ශ්‍රී ලංකාවට පැහැදිලිවම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ‘1948 -එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට‘ අනුකූලව, ‘වලංගු ඡන්ද සමානාත්මතාවය තහවුරු කරන දේශීය ආකෘතියක් ප්‍රථමයෙන් ස්ථාපනය කළ යුතුය. “ගෝලීය වන්න, නමුත් දේශීයව ක්‍රියා කරන්න!”

මෙහිදී, අවධාරණය කළ යුත්තේ, උපචිත ප්‍රතිලාභ සහ සවිස්තරාත්මක ක්‍රමවේදයන් සමඟ ඉහත තීරණාත්මක ක්‍රම වෙනස්කම් ප්‍රවේශමෙන් නිර්මාණය කර ඇති බැවින්, ඒවා අවම මූල්‍ය පිරිවැයක් සහිතව කෙටි කාලයක් තුළ නීතිගත කළ හැකි බවය.

එබැවින් මෙම ජනතා ක්‍රම වෙනස්කම් පැකේජය මැතිවරණ කොමිසමේ අවසාන නිර්දේශයන් ලෙස පාර්ලිමේන්තුවේ අනුමත කරවා ගැනීම අත්‍යවශ්‍යය.

එම කූටප්‍රාප්තිය සඳහා, සමාජ මාධ්‍ය ඇතුළු, ප්‍රධාන මාධ්‍ය, ආගමික නායකයන්, ඡන්දදායකයන්ට කැප වූ සංවිධාන, BASL, බුද්ධිමතුන්, වෘත්තීය සමිති ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් රට එකම ධජයක් යටතට ගෙන, ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ස්වෛරී ඡන්දදායකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා LEADS සංසදය විසින් යෝජනා කර ඇති පරිදි, ශේෂ්ඨාධිකරණය හරහා ජනතා ජනමත විචාරණයක් සඳහා හඬ නැඟීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, නිසි කලට මහමැතිවරණයක් පැවැත්වීමට පෙර, අපගේ මැතිවරණ සහ දේශපාලන ක්‍රමයට ඉහත සඳහන් ‘ක්‍රම වෙනස්කම්’ සිදු කළ හැක.

බර්නාඩ් ප්‍රනාන්දු –
හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු –
ලංකා බැංකුව
විද්‍යුත් තැපෑල:[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment