අයවැයෙන් කෘෂි කර්මාන්තයට මුල්තැන නොදීමෙන් රට තවදුරටත් දුගී භාවයට ඇද දමලා

61

සමස්ත ලංකා ගොවිජන සම්මේලන සභාපති නාමල් කරුණාරත්න

බරපතළ ආහාර අර්බුදයකට ලක්ව මෙරට පවුල් ලක්‍ෂ 63 ක්, එක් ආහාර වේලකට සීමා වී ඇති මොහොතක අයවැයෙන් කෘෂිකර්මාන්තයට මූලිකත්වය ලබානොදී ආරක්‍ෂාවට මූලිකත්වය ලබාදීම රටේ නිෂ්පාදනය අඩාල කර රට තවදුරටත් දුගීභාවයට ඇද දැමීමක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා “දිවයින”ට ඊයේ (16 දා) සඳහන් කළේය.

රටේ කෘෂි නිෂ්පාදනයන් අඩාල කර මහා පරිමාණයෙන් කොමිස් ගැසීම සඳහා සියල්ල පිටරටින් ගෙන්වීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇතැයි ද හෙතෙම චෝදනා කළේය.

ආරක්‍ෂාව වෙනුවෙන් බිලියන 539 ක් වෙන් කර කෘෂිකර්මාන්තයට බිලියන 115 ක් පමණක් වෙන් කිරීම, බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දී සිටින රටකට සෑහෙන්නේ දැයි

ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බවද කී ඒ මහතා මෙවර අයවැයෙන් සෞඛ්‍යට සහ අධ්‍යාපනයට වෙන් කළ මුදලද කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවද සඳහන් කළේය.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලු උපාංග අධික ලෙස මිල ඉහළ යමින් පවතින මොහොතක ගොවියා දිරිමත් කරනු වෙනුවට තවදුරටත් අගාධයේ හෙළීම පවතින බරපතළ ආහාර අර්බුදයට ගැසූ විශාල අතුල්පහරක් බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව සෑම අතින්ම දැඩි අර්බුදයකට ලක්වු රටක් ලෙස ලෝක අවධානයට ලක්ව ලොවින් හ`ිගාකමින් පසුවන මොහොතක රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාව දරුවන්ගේ පෝෂණය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය තවදුරටත් දැඩි අර්බුදයේ හෙළීමට මෙවර අයවැයෙන්ද ක්‍රියා කර තිබීම ජනතා දුක නොහඳුනන පාලකයන්ගේ සදාකාලික වැඩපිළිවෙළක තවත් එක් පරිච්ඡේදයක් පමණක් වී ඇතැයිද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment