නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක එස්එස්පී නිහාල් තල්දූව

617

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ධුරයට අමතරව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයටද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තලදූව මහතා පත්කර ඇත.

1992.08.02 වන දින උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස ශ‍්‍රී ලංකා පොලිස් සේවයට ඇතුළත්ව 2008.01.01 වන දින සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබා බදුල්ල, මොනරාගල කොට්ඨාසවල ද එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට සම්බන්ධ වී ලයිබීරියානු රාජ්‍යයේද සේවය කර ඇත.

පොලිස් අධිකාරිවරයකු ලෙස ඇල්පිටිය, යාපනය කොට්ඨාස භාර නිලධාරි ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලබා නැවත යාපනය කොට්ඨාසය භාරවද පසුව අධ්‍යක්‍ෂවරයකු වශයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය, අපරාධ කොට්ඨාසය සහ ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයන්හි රාජකාරි කර 2021.03.18 වන දින පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස පත්වන ලදී.

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන නිහාල් තලදූව මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විද්‍යා විශේෂ උපාධිධාරියෙක් මෙන්ම එම විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු පද්ධති හා දුරස්ථ සංවේදය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරා ඇත.

පොලිස් සේවයට සම්බන්ධ දෙස් විදෙස් විශේෂ පාඨමාලා රාශියක් හා පොලිසිය නියෝජනය කරමින් විදේශීය සම්මන්ත‍්‍රණ රාශියකට සහභාගි වී ඇති නිහාල් තලදූව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු ද වේ.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment