කැබිනට් වෙනස විහිළුවක් – ටිල්වින් සිල්වා

575

ආණ්ඩුවේ ඇමැති මණ්ඩල සංශෝධනය රට හමුවේ ඇති අභියෝගයන්ට මුහුණ දීම සඳහා සිදුකළ විද්‍යාත්මක විධිමත් වෙනසක් නොව පළිගැනීම සහ පවුලේ බලය වැඩිකර ගැනීම සඳහා කළ විහිළු සහගත සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (16 වැනිදා) ‘දිවයින’ට පැවසීය.

ආණ්ඩුව රටේ ජනතාව නොමග යවමින් කැමති අකැමැති අයගේ බලය අඩු වැඩි කිරීම සඳහා මෙම සංශෝධනය කර ඇති බවත් මෙය හෝද හෝදා මඬේ දැමීමක් පමණක් බවත් හෙතෙම කීවේය.

මෙම ඇමැති මණ්ඩල සංශෝධනයේදී අලූතෙන් සිදුව ඇත්තේ තරුණ කටයුතු හා ක‍්‍රීඩා ඇමැති ධුරයේ කටයුතු කරන නාමල් රාජපක්ෂ මහතාට සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ ඇමැති ධුරය ලැබීම පමණක් බවත් එය පවුලේ බලය ඉහළ නංවා ගැනීම සඳහා සිදුකළ එක් කිරීමක් පමණක් බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ආණ්ඩුව තුළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන වෛද්‍යවරුන් සිටියදී කොරෝනා රෝගීන්ගේ ජීවිත දෙවියන්ට භාර යැයි කී කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයකුට සෞඛ්‍ය ඇමැති ධුරය භාරදීමෙන් විද්‍යාත්මක ඇමැති මණ්ඩල සංශෝධනයේ තරම පැහැදිලි වන බව ද හෙතෙම සඳහන් කළේය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස හිටපු සෞඛ්‍ය ඇමැතිවරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දීමේදී ජනාධිපතිවරයා ඇමැතිවරියට බැණ වැදී ඇතැයි කියන කාරණය ඇමැති මණ්ඩල සංශෝධනය දෙස බැලීමෙන් තහවුරු වන බවත් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේය.

ජී.එල්. පීරිස් මහතාට විදේශ අමාත්‍ය ධුරයත්, දිනේෂ් ගුණවර්ධන මහතාට අධ්‍යාපන ඇමැති ධුරයත් හුවමාරු කිරීම සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ ‘දෙකම එකයි’ යන්න පමණක් බවත් හෙතෙම කීවේය.

අනෙකුත් අමාත්‍ය ධුර වෙනස් කිරීම් සම්බන්ධයෙන්ද පැවසීමට වැදගත් කාරණයක් නැති බව කී ටිල්වින් සිල්වා මහතා, මෙම සියලූ කරුණු කාරණාවලින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාඞ් කුට්ටම තුළ තුරුම්පු නැති බවත් එහි ඇත්තේ ජෝකර්ලා පමණක් බවත් වඩාත් පැහැදිලි වන බව ද හෙතෙම කීවේය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment