ඇඹිලිපිටියේ සහල් මෝල් 2 ක ජාවාරමක් – දේශීය සහල් ලෙස ආනයනික සහල් මිශ‍්‍රකර වෙළෙඳ පොළට යවලා

412

* පාරිභෝගික අධිකාරියෙන් වටලයි

දේශීය සහල් ලෙස ආනයනික සහල් මිශ‍්‍ර කර වෙළෙඳ පොළට විකිණීමේ යෙදුණු ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සහල් මෝල් දෙකක් රත්නපුර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී වටලා එහි හිමිකරුවන්ට නඩු පවරා තිබේ. ඊයේ (09දා* පස්වරුවේදී මෙම වැටලීම ඇඹිලිපිටිය, තුංකම සහ මොරකැටිය ප‍්‍රදේශයේ සහල් මෝල් දෙකකදී සිදු කර ඇත.

රුපියල් 100 ට වැනි මිලකට ලබා ගන්නා රට සහල්වලට දේශීය රතු කැකුළු සහල් මිශ‍්‍ර කර ඇතැයි ද යන්ත‍්‍ර භාවිතයෙන් මෙම සහල් සැකසීම සිදු කර ඇති බවද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසයි. රුපියල් 145 – 150 අතර මිලකට මෙලෙස සකස් කරන ලද සහල් වෙළෙඳසල් වලට විකුණා ඇතැයි ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ. එක් සහල් කිලෝවකින් රුපියල් 45 ත් 50 ත් අතර ලාභයක් උපයා ගෙන ඇතැයිද ඔවුහු පැවසූහ. වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් සහල් මෝල් දෙකේ මිශ‍්‍ර කර සැකසූ සහල් විශාල ප‍්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කර තිබූ බවත් වෙළෙඳුන්ට ලැබෙන ලාභයද වැඩි නිසා බොහෝ වෙළෙඳ සල් හිමියන්ද එම සහල් ලබා ගැනීමට පෙළඹී තිබේ. වැටලීම සිදු කරන අවස්ථාවේදී මෙම සහල් මෝල් දෙකේ ආනයනික සහල් කිලෝ 25 මිටි 200 ක්ද දේශීය රතු කැකුළු කිලෝ 50 මිටි 400 ක්ද විදේශීය සහ දේශීය සහල් මිශ‍්‍ර කර සකස් කරන ලද සහල් කිලෝ 500 ක මිටිද පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබේ. සකස් කරන ලද සහල් මිටි විකිණීම නැවැත්වීමට නිලධාරීන් පියවර ගෙන තිබේ. පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ ප‍්‍රධානී, උදය නාමල්ගම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන අජිත් ජයසුන්දර, මේඝ කන්දේවත්ත, යසිත ඉෂාන්, ඞී. යූ. විජේවීර, නදිශා ලියනගේ, දිනේෂ් උඩුගම යන මහත්ම මහත්මීන් පිරිස වැටලීමට එක් වූහ. පාරිභෝගික අධිකාරි පනත යටතේ කූට වෙළෙඳාමේ යෙදීම සහ පාරිභෝගිකයන් නොමග යැවීමේ චෝදනා මත සහල් මෝල් හිමියන් දෙදෙනාට එරෙහිව නඩු පැවරීම සිදු කරන බව පාරිභෝගික අධිකාරියේ රත්නපුර ප‍්‍රධානි, උදය නාමල්ගම මහතා පැවසීය.

කහවත්ත – සමරවීර නිරෝෂණ
 

advertistmentadvertistment
advertistmentadvertistment