මතු බුදුවන නාථ දෙවියෝ

456

මතු බුදුවන අවලෝකිතේශ්වර බෝධි සත්වයන් ලෙස සැලකෙන නාථ දෙවියන් තුසිත දෙව්ලොව වැඩ වෙසෙන බවත් මතු කේතුමතී නුවර උපදින බවත් බැතිමතුන්ගේ විශ්වාසයයි. දස දහසක් සක්වල දෙවි බඹුන්ගේ සාදුනාදය මැද තිලොව වේව්ලවා ධර්මදේශනා පවත්වා ලෝක සත්වයන්ට නිවන් දොරගුලු හැරලන බවත් කේතුමතී නම් රාජධානියේ චක්‍රවර්ති රජුගේ අග්‍ර පුරෝහිතයන්ව බ්‍රාහ්මණයෙකුට දාව අජිත කුමාර යන නමකින් උපත ලැබ ලෞකික සම්පත් අතහැර බුද්ධත්වයට පත්වෙන බව නාථදේව කන්නලව්වේ කියවේ.

හෙළරජදරුවන් තම රජකම සුරක්‍ෂිත කරගැනීමේදී නාථදෙවියන් අපමණ භක්තියකින් ඇදහූ බව පෙනේ. නාථදේව සංකල්පය හෙළ බොදු සංස්කෘතියෙහි සුවිශේෂී ස්ථානයක් ගනී. මහනුවර රාජධානිය තුළ පවතින ස්විශේෂී නාථ දේවාල කීපයක්ම වෙති. සෙන්කඩගල මහනුවර නාථ දේවාලයත් පස්ගම වේගිරිය නාථ දේවාලයත් මෙම දේවාල අතර ප්‍රධාන වේ. අවලෝකිතේශ්වර බෝධි සත්වයන්ගේ රාජ ලීලාව දක්වන සුවිශේෂී කලා කෘති දෙකක් ලෙස මහනුවර නාථ දේවාලයේ නාථ දෙවිදුන්ගේ ප්‍රතිමාවත් අනුරාපුර වෙහෙර ගලින් ලැබී තිබෙන නාථ දේව ප්‍රතිමාවත් සැලකේ. මෙම දෙවියන් පිළිබඳ සුවිශේෂීත්වය නම් අනෙක් දෙවිවරුන්ට මෙන් පුරාවෘත්ත දක්නට නොලබීමයි. භාරත දේශය හින්දුනිම්න මිටියාවත නැතහොත් ශ්‍රී ලංකාව බොහෝ දේවත්ව සම්භවයන් වුවත් නාථ දෙවිඳුන්ට එවන් සම්භවයක් නොපෙනේ. මේ නිසාම නාථ දෙවියන් කෙරෙහි මහත් ගෞරවයක් භක්ත්‍යාදරයක් බැතිමත්හු තුළ පවතී.

කි.ව. දෙවැනි ශත වර්ෂයේ සිට බුදු සසුන වෙතට බෝධි සත්ව සංකල්පය විවිධ අන්දමින් බලපා ඇති බව පෙනේ. මහායාන බුදුදහම තුළ නාථ වර්ජපානී මෛත්‍රී ආකාශගර්භ වැනි බෝධි සත්ව සංකල්ප රාශියක් පවතී.

විශේෂයෙන් රජ කෙනෙකු රාජ්‍යත්වයට පත්වෙන කල්හි රජ පවුලේ ඥාතිවරු සමූහයා සමග එක්වී නාථ දේව වන්දනාව සිදුකළ බව පැවසේ. චාරිත්‍රානුකූලව නාථ දේවාලය තුළ රාජාභිෂේකය සිදු කරනු ලැබීමෙන් පසු රජ තුමා දසවිධ පාපයන්ගෙන් වෙන්වෙන බවටද දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙන බවටද නාථ දෙවිදුන් ඉදිරියේ ප්‍රතිඥාවක් කළයුතු වන්නේය. විශේෂයෙන් රජකෙනෙකුගේ අභිෂේකයේදී එම රජතුමාට අයත් වන රාජ නාමය නැකත් කරුවන් විසින් රන් පතක ලියා නාථ දේවාලයේ තැන්පත් කර ඇති නාම ලේඛනයෙන් තෝරා ගැනීම එකල පැවති චාරිත්‍රයකි. (දේව පුරාණය 272 පිටුව) මෙහිදී නාථ දෙවිදුන්ගේ රාජ්‍ය ලීලෝපේත ශීර්ෂඅභිධානය නාථ දෙවිඳුන්ගේ හිසෙන් අභිෂේක ලබන රජුගේ හිසමත තැබීමද චාරිත්‍රයකි. එසේ කරනුයේ නාථ දෙවිඳුන්ගේ මහානු භාව සම්පන්න ලීලාව රජුට ආරෝපණය කිරීමය. නාථ දෙවියන්ගේ දේවාභරණවලට සමාන ඇදුම්කට්ටලක් රජතුමාද ඇද පළඳියි.

මෙලෙස බෝසත් සිරිතට පත්වෙන රජෙකු අතින් සිය රාජ්‍යයට මෙන්ම රජකමට අවැඩක් සිදු නොවන බවට එකල ජනතාව තුළ දැඩි විශ්වාසයක් පැවතිනි.

අවලෝකීතේශ්වර නාථ සංකල්පය මුල සිටම භාවිත වූයේ නාථ මෛත්‍රී යන නම් දෙකින්ම එකම දෙවියෙකු ලෙසය. මෙම දෙවිඳුන්ගේ ප්‍රධාන දේවාලයක් තොටගමුවේද පිහිටා ඇත. එම දේවාලය ඉතා උසස් අන්දමින් පැවති බව පරෙවි සහ ගිරා සන්දේශ පුවත්වලින් පැහැදිලි වේ. තොටගමුව විහාරයෙහි වැඩ වෙසෙන නාථ දෙවියන්ගේ ආශිර්වාදය හා රැකවරණය ලංකා සම්බුද්ධ ශාසනයට සහ රජතුමාට ලබාදීම සඳහා ජයවර්ධනපුර කෝට්ටේ සිට තොටගමුව විහාරයෙහි විජයබා පිරුවෙන්පති ශ්‍රී රාහුල හිමියන් වෙත යැවෙන අස්නක් හැටියට ගිරා සන්දේශය සැලකේ. රාහුල හිමියන් මෙන්ම ගිරා සන්දේශ කතුවරයාද නාථ දෙවියන් භක්තියෙන් අදහන්නෙකු බව මින් පැහැදිලි වේ.

“මතු බුදු රදු සැරද තොටගමු වෙහෙර නතිදු”

කාව්‍ය ශේඛරයේ එන මෙම 63 පද්‍යයෙන් කියවෙන පරිදි නාථ දෙවියන් මතුබුදුවන අවලෝකිතේශ්වර බෝධි සත්වයන් ලෙස සැලකෙණ බව පැහැදිලි වේ.

“ මහත සසර සයුරෙහි කුමුටුව සරන
අනත සත නිවන් පුරගෙන යන සිතින
සතත සොඳුරු බුදුකුරු ගුණදම් පුරන
දියත පසිදු නතිදුන් දැනගොස් සොබන”

යනුවෙන් නාථ දෙවියන් බුද්ධාංකුර ගුණදම් පූරණය කරනූ ලබන බෝධිසත්වයෙකු බව ගිරා සන්දේශයේ එන මෙම 230 පද්‍යයෙන් පැවසේ.

කි.ව. 1635 දී රජ පැමිණි දෙවැනි රාජසිංහ රජුගේ අවධියේ මහනුවර සිටි රොබට් නොක්ස් ගේ වාර්තාවකට අනුව ද වර්තමාන නාථ විෂ්ණු කතරගම පත්තිනි සිව් දෙව්වරු පෙරටුකොට ගනිමින් මහනුවර ඇසළ පෙරහැර පැවත්වූ බව සියැනෑ කෝරළයේ දෙවිවරු ග්‍රන්ථයේ සඳහන් වේ.

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රතිසංස්කරණය කර ඇති දඹුලු විහාරයේ නාථ දෙවියන්ගේ සහ මෛත්‍රී බෝසතුන්ගේ ප්‍රතිමා දෙකක් දක්නට ලැබුනත් බොහෝ විහාරස්ථානවල දක්නට ඇත්තේ මෛත්‍රී බෝසතුන්ගේ ප්‍රතිමා පමණක් වේ.

සවන සිරි පැරකුම්බා රජු දවස ඉදිකළ ලුණුගම ඓතිහාසික සිරිපැරකුම් විහාරයෙහි පිහිටි නාථ මෛත්‍රී ප්‍රතිමා පිළිබඳව සද්ධර්මරත්නාකරයෙහි මෙසේ සඳහන් වේ.

“ ලුණුගම ප්‍රාග් භාරාන්තරයෙහි දිග දසරියන් පුළුල සරියන් පිළිම ගෙයක් කරවා බෝමැඩ වජ්‍රාසනාරූඪව දිවසෙනග පිරිවරා බුදුන්ව වැඩ උන්නා සේ වඩු දෙරියන් උස වැඩවුන් පිළිමය සහ නාථ මෛත්‍රී රූප පිහිටුවා විහාර තත්රුප්පාදිය පුදමින් මතු වර්ධනය ලෙස සලස්වා” යනුවෙන් සද්ධර්ම රත්නාකරයේ සඳහන් වන ආකාරයට නාථ මෛත්‍රී යනු දෙදෙනෙක් බව පැවසෙයි.

සියැනෑ කෝරළයේ අධිකාරී පත්තුවේ මාකොළ කල්‍යාණී වංශිකාරාමයෙහිත් පස්ගම හූනාපහුර උරුලෑවත්ත බෙල්ලන්විල ද වර්තමානයේ නාථ දේවාල දක්නට ලැබේ. සෑම බැතිමත්හුම තමන්ට තම ජීවිතයේ ඇති වන්නා වූ අපල උපද්‍රව මානසික පීඩාවන්වලදී නාථ දෙවියන්ගේ ආශිර්වාදය පතා පුදපූජා පැවත්වීමට පෙළඹෙති.

නාථ දෙවියන් සඳහා කරනු ලබන දේව කන්නලව්ව මෙසේ වෙයි.

කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම සතර බුදුවරුන්ගේ ආඥාවට ආනුභාවයට මතු මෛත්‍රී බුදු පදවියට පෙරුම්පුරාගෙන දස බෝධි සම්භාරයකින් පළමුවැන්නා වූ දස පාරමිතා ධර්මය පුරන්නා වූ උතුම් වූ බුද්ධාලම්පුර නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ශාසනශ්‍රීයෙන් දසදිග ඒකාලෝක කරමින් ත්‍රී ලෝක තලය සත්වයන්ගේ දුක්ඛ කම්කටොලු දිව්‍යමය නෙතින් බලා ගනිමින් මෛත්‍රී කරුණාවෙන් විසන්දනය කරවා අනේක විධ විලාශයෙන් තුසිත පුර ඒකාලෝක කරමින් වැඩ සිටින නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට පළමුව අප අමාමෑණී බුදුපියාණන් නැමද ඒ පිං ඔබවහන්සේට මෛත්‍රී බුද්ධත්වය ප්‍රාර්ථනා කොට පින් අනුමෝදන් කරමින් ඔබ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට මේ පහන් මල් කපුරු සුවඳ දුම් ආදී සමස්ත පූජාවන් ඔප්පුකොට ඉල්ලා සිටින්නේ ඔබ දෙවියන් වහන්සේගේ ඇල්මෙන් බැල්මෙන් මට අපට පැමිණ තිබෙන්නා වූ කරදර අණ වින බාධා දුරුකොට අප සැම දෙනාට සැපවත් ජීවිතයක් ගත කිරීමට සුදුසු යහපත් වාතාවරණයක් උදාකර දෙන සේක්වා.

කලාභූෂණ ‘විශ්වාභිනන්දන’ සියැනෑ ගෞරවකීර්ති’
සරණපාල නුවරපක්‍ෂ, පූගොඩ.
දුක 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment