හදවත් රෝග ඇති අයට කොරෝනා වැළඳීම අධි අනතුරුදායකයි

523

හදවත ආශ‍්‍රිත ව කිසිදු රෝග තත්ත්වයක් නොතිබූ පුද්ගලයින් කොවිඞ්-19 රෝගය සෑදීමෙන් පසු හදිසි හෘදයාබාධකින් මිය ගිය බවට වාර්තා පවතී. කොවිඞ්-19 රෝගය හා හෘදය ආශ‍්‍රිත ව පවතින සම්බන්ධය මෙන් ම එයට අදාළ කරුණු  පිළිබඳ ව මීගමුව මූලික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය ”දිවයින” පුවත්පතට අදහස් දැක්වූවේ මෙලෙසිනි.

හදවත් රෝග ඇති අයට  කොරෝනා වැළඳීම  අධි අනතුරුදායකයි

හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  දිස්නා අමරතුංග

ප‍්‍රශ්නය – කොවිඞ්-19 රෝගය වැලඳීමෙන් හෘදයාබාධ අවදානමක් තියෙනවා ද…?

පිළිතුර – ඔව්. කොවිඞ්-19 රෝගය වැලඳීමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් තියෙනවා. කොවිඞ්-19 රෝගයට හේතුවන වෛරසය කෙලින් ම හෝ වක‍්‍රාකාර ව හෝ හෘදය වස්තුවට, කිරීටක ධමනිවලට, හෘද ස්පන්දන පද්ධතියට, රුධිරවාහිනී පද්ධතියට හා රුධිරයට වෙනස්කම් හා බලපෑම් ඇති කරනවා. එයින් හෘදයාබාධ, හෘද අකර්මණ්‍යතාව, අසාමාන්‍ය හෘද ස්පන්දන සංකූලතා, අසාමාන්‍ය ලෙස රුධිරය කැටි ගැසීම් ඇති කරන්න හේතු වෙනවා.”

ප‍්‍රශ්නය – කොවිඞ්-19 රෝගය සමාජගත ව පවතින මේ කාලයේ හෘද රෝගීන් කෙසේ සැලකිලිමත් විය යුතුද?

පිළිතුර – දැනටමත් හෘදය ආශ‍්‍රිත ව පවතින කුමන හෝ තත්ත්වයක් මත ප‍්‍රතිකාර ලබා ගන්නා

රෝගීන් සායනවලට නිසි පරිදි සහභාගි විය යුතුයි. එසේ නොහැකි නම් තමාගේ වෛද්‍යවරයාගෙන් නිරතුරුව අවශ්‍ය උපදෙස් ලබාගත යුතුයි.

ප‍්‍රශ්නය – හෘද රෝගීන්ට කොවිඞ්-19 රෝගයට අදාළ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දෙන එන්නත් ලබා ගැනීම අවශ්‍ය ද ?

පිළිතුර – ඔව් අවශ්‍ය යි. දැනටමත් හෘද රෝගයකට ප‍්‍රතිකාර ලබන රෝගීන් කොවිඞ් රෝග ආරක්ෂණ එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත යුතුයි. තමන්ට ලැබෙන එන්නත් වර්ගය කුමක් වුවත් ඒක ප‍්‍රශ්නයක් නැහැ. දැනට සක‍්‍රීය ව හෝ අක‍්‍රීය ව හෝ පවතින කිසියම් හෘද රෝගයක් මෙම එන්නත ලබාගැනීම සඳහා බාධාවක් නෙවෙයි. හෘදය ආශ‍්‍රිතව කුමන හෝ සැත්කමක් කර තිබේ නම්, උදාහරණ ලෙස බයිපාස් සැත්කමක්, පේස් මේකර් යන්ත‍්‍රයක් දමා ඇත්නම්, ස්ටෙන්ට් එකක් දමා ඇත්නම්, හෘද කපාට බද්ධ කර ඇත්නම් හෝ වෙනත් ප‍්‍රතිකාරයක් කර තිබේ නම් ඒ කුමන තත්ත්වයක වුවත් කොවිඞ් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ලබාදෙන එන්නත් මාත‍්‍රා දෙක ම ලබාගැනීමට බාධාවක් නෙමෙයි. නමුත් එන්නත් එක මාත‍්‍රාවක් ලබාගැනීමෙන් නියමිත ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. මේ නිසා නියමිත පරිදි එන්නත් දෙක ම ලබාගත යුතුයි.”

ප‍්‍රශ්නය – රුධිරයේ ඝනකම අඩුකිරීම සඳහා භාවිත කරන ඇස්ප‍්‍රීන් වැනි බෙහෙත් වර්ග භාවිත කරන රෝගීන්ට එන්නත් ලබා ගැනීම සුදුසු ද?

පිළිතුර – එවැනි ප‍්‍රතිකාර ලබා ගන්නා අය කොවිඞ් එන්නත් ලබාගැනීම සඳහා තමන් එතෙක් කරගෙන ආ එම ප‍්‍රතිකාර නතර කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එන්නත නිසා එම ප‍්‍රතිකාරවලට අවහිරයක් වන්නේ නෑ. නමුත් ”වොෆරින්” (wafarin) නමැති ඖෂධය ලබාගන්නා හෘද රෝගීන් කොවිඞ් එන්නත ලබාගැනීමට පෙර අයි.එන්.ආර්. (International Normalized Ratio) පරීක්ෂණය සිදු කර, එම INR අගය 3ට වඩා අඩු ඕනෑ ම අවස්ථාවක එන්නත ලබාගත හැකියි. දැනට පාලනය කරගෙන ඇති හෘද රෝග නැවත සක‍්‍රිය වීම වළක්වා ගැනීමට රෝගීන් කටයුතු කළ යුතුයි.”

ප‍්‍රශ්නය – හෘද රෝග ඇති අය එම රෝගය නැවත සක‍්‍රිය වීම වළක්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද?

පිළිතුර – පළවෙනිම දේ කිසි ම හේතුවක් මත දැනට භාවිත කරන ඖෂධ භාවිතය නැවැත්වීම හෝ වෙනස් කර භාවිත කිරීම හෝ නොකළ යුතුයි. උදාහරණයක් ලෙස හෘද රෝගියෙකුට එය වළක්වාගැනීම සඳහා අපි දෙන පෙති වර්ග කිසිම දෙයක් කිසිම හේතුවක් මත නතර නොකළ යුතුයි. රුධිර පීඩනය අඩු කිරීම සඳහා ලබා දෙන ප‍්‍රතිකාරවලින් කොවිඞ්-19 රෝගය වැලඳීමේ හැකියාව වැඩි වන බවට සමාජයේ විවිධ මත පැවතියත් එවැනි තත්ත්වයක් පිළිබඳ ව විද්‍යාත්මක ව ඔප්පු කරලා නැහැ. ඒ නිසා එක එක අය මොන දේ කීවත් වෛද්‍ය උපදෙස් අනුව අධි රුධිර පීඩනය සදහා ලබාදෙන සියලූම ඖෂධ වර්ග එලෙස ම භාවිත කළ යුතුයි. කොවිඞ් රෝගය හා බැඳුණු සමහර සංකූලතාවලදී කොවිඞ් රෝගය සෑදීමට පෙර ලබා ගනිමින් සිටි ඇතැම් ඖෂධ වර්ග නතර කරන්න සිද්ධ වෙන සමහර අවස්ථාවන් අපට උදාවිය හැකියි. නමුත් ඒ තීරණය ගතයුතු වන්නේ වෛද්‍යවරයා මිස රෝගියා නොවෙයි.

රෝගියා කළයුතු වන්නේ තමන්ගේ රෝග ලක්ෂණ ගැන ඉතා සැලකිලිමත් වීම හා අවශ්‍යවිටදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යි.”

ප‍්‍රශ්නය – හෘද රෝගියකුට කොවිඞ්-19 රෝගය වැලඳුනහොත් එතෙක් වෛද්‍ය උපදෙස් මත සිදු කළ ව්‍යායාම් නතර කළ යුතු ද?

පිළිතුර – කොවිඞ්-19 රෝගය වැලඳිලා නැත්තම් සාමාන්‍ය පරිදි මෙතෙක් කරගෙන ගිය ව්‍යායාම් එලෙස ම පවත්වාගෙන යා හැකියි. එහෙත් තමන්ට කොවිඞ්-19 රෝගය සෑදී ඇති බව දැනගත් වහාම දැනට කරමින් සිටි ව්‍යායාම් නතර කළ යුතුයි. ව්‍යායාම්වල යෙදීමේදී යම් අපහසුතාවක් දැනුණොත් ව්‍යායාම කිරීම නතර කර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. කොවිඞ් රෝගය සුව වූ පසුවත් සංකූලතා ඇති විය හැකි බැවින් නැවතත් තමන්ගේ පුරුදු ව්‍යායාම්වලට යා හැකිද කියන එක ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව පැහැදිලි කළ හැකියි. එම දත්ත අනුව කොවිඞ් රෝගය සුවවී සති හතරක්-හයක් ගිය පසු වෙනත් සංකූලතා නැත්නම් සුපුරුදු ව්‍යායාම්වල තනිව ම වුණත් යෙදිය හැකියි. නමුත් කොවිඞ් රෝගයෙන් කිසියම් සංකූලතාවක් පැවති කෙනෙක් නම් එවැනි අය ව්‍යායාම කිරීම ආරම්භ කළ යුත්තේ සෑම විටම තවත් කෙනෙකු තමන් ළඟ සිටින අවස්ථාවලදී යි. ඊළඟට අපි නිතර ම අවවාද කරන්නේ දැන් සමහර විට කොවිඞ් රෝගය ඇතිවීමට පෙරාතුව කිලෝමීටර් තුන හතරක් එක දිගට ඇවිදපු කෙනෙක් වුවත් රෝගයෙන් පසුව ව්‍යායාම් පටන් ගත යුත්තේ ටිකෙන් ටික ක‍්‍රමවත්ව යි.

ප‍්‍රශ්නය – කොවිඞ් රෝගය සුවවීමෙන් පසුවත් හෘදයාබාධයකින් මිය යෑමේ හැකියාව තියනවා නේද?

පිළිතුර – ඔව්. මතුපිටින් රෝගියා සුවය ලැබුවත් කොවිඞ් රෝගකාරක වෛරසය කොවිඞ් රෝගියා සුවවී තවත් ඉදිරියට මාස තුනක් නැත්නම් සති දොළහක් පමණ කාලයක් ගතවනතුරු එම වෛරසයේ සක‍්‍රීයතාවන් ශරීර අභ්‍යන්තරයේ පවතිනවා. ඒ නිසා කොවිඞ් රෝගය සෑදුණු හෘද රෝගියෙක් පමණක් නොව සෑම කෙනෙක් ම කොවිඞ් සුවවී මාස තුනක්වත් ඉතා හොඳින් පරෙස්සම් විය යුතුයි.”

ප‍්‍රශ්නය – කොවිඞ් සුව වූ පසුවත් යම් කෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකි ද?

පිළිතුර – ඔව්. වෛරසය යම් තරමකට සක‍්‍රීය ව ශරීරය අභ්‍යන්තරයේ පවතින බැවින් කොවිඞ් රෝගයේ තවත් සුලබ සංකූලතාවක් වන හුස්ම ගැනීමේ අපහසුතාවය කොවිඞ් රෝගය සුවවීමෙන් පසු කාලයේදීත් ඇති විය හැකියි. සාමාන්‍ය හෘද රෝගියෙකුට හෝ කොවිඞ් රෝගය වැලඳුණු හෝ වැලඳී සුව වුණු හෘද රෝගියකුට හෝ පියවර කිහිපයක් ඉදිරියට යනවිට හුස්ම ගැනීමේ අපහසුතාව ඉතාමත් ම දැඩි ලෙස දැනෙනවා නම්, පුටුවක වාඩිවී සිට නැගිටීමේදී දරාගන්න අපහසු ලෙස හුස්ම ගන්න අමාරු නම්, නිදාගෙන ඉන්න අවස්ථාවලදී හුස්ම ගැනීමේ අපහසුතාවය වැඩි වෙනවා නම් ඉක්මනින් ම ප‍්‍රතිකාර පැතිය යුතු අවස්ථාවක් බව කිව යුතුයි. ඒ වගේම හෘද ස්පන්දනයේ වෙනස්කම් දැනෙනවා නම්, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා නම්, ඒ සමග ම ක්ලාන්ත ගතියක් මතු වෙනවා නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ඊට අමතර ව කකුල් ඉදිමීමත් හෘද අකර්මණ්‍යතාවක විශේෂ ලක්ෂණයක් විය හැකියි. කකුලේ බත් කෙණ්ඩ ප‍්‍රදේශයේ වේදනාවක් ඇතිවීම ලේ කැටි ගැසීමක් විය හැකියි. ඒ නිසා එවැනි අවස්ථාවකත් ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. කොවිඞ් රෝගය සුව වුවත් දීර්ඝ කාලීන ව පවතින සංකූලතා තිබිය හැකියි. ඒවා මතුපිටට නොපෙනී ශරීරය අභ්‍යන්තරයේ පැවතිය හැකියි. කොවිඞ් රෝගය සක‍්‍රීය අවස්ථාවේ නැතිවුණත් පසුව සංකූලතා ඇතිවිය හැකියි. ඒ නිසා කොවිඞ් සුව වූ පසුවත් සති හතරක් සති 12ක් දක්වා සංකූලතා ශරීරය අභ්‍යන්තරයේ තිබිය හැකියි. ආසාදිත ලක්ෂණයක් නොමැතිවත්, හදිසියේ මතු වන රෝග ලක්ෂණ මතත් මරණය පවා සිදුවිය හැකි යි. රෝගය වැලඳීම වළක්වා ගතයුතු වන්නේ මෙහි ඇති භයානකකම නිසයි. අපේ සමාජ වගකීම විය යුත්තේ අපි වැළකෙන ගමන් හැකිතාක් තව කෙනෙකුට රෝගය බෝ නොවන්නට කටයුතු කිරීමයි. හැමෝ ම එන්නත ලබාගත යුතු වන්නේත් මේ නිසයි.

සාකච්ඡා කළේ : තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment