අනුරාධපුර කසළ සිද්ධිය උඩු දුවයි

254

රෝහල් පාලනාධිකාරියට එරෙහිව නීතිය හමුවට යනවා – නාගරික කොමසාරිස්
කසළ වළ දමන්න කාගෙන්වත් අවසර ඕනෑ නෑ – රෝහල් අධ්‍යක්ෂ

අනුරාධපුර ශික්ෂණ රෝහල් භූමියේ ගොඩ ගැසී ඇති සායනික අපද්‍රව්‍ය වළ දැමීමට යාමේදී පෙරේදා (14දා) පෙරවරුවේ විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් නිසා එම රෝහලේ පෞද්ගලික පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවන් විසිහය දෙනෙක් රෝහල් ගත කරනු ලැබිණි.

එලෙස රෝගීවූ දහහත් දෙනෙකු පෙරේදා (14දා) සවස් වනවිට සුව අතට හැරී තිබූ අතර රෝගීවූ කාන්තාවන් නව දෙනෙකු ඊයේ (15දා) පෙරවරු කාලය වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටියහ.

අනුරාධපුර කසළ සිද්ධිය උඩු දුවයි

එම රෝහලේ දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් එක්දහස් පන්සියයක පමණ ප්‍රමාණයක් එක්වන අතර ඒවා දහනය කරනු ලබන ඉන්සියුලේටර් යන්ත්‍රය ක්‍රියාත්මක කරවීමට ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොලැබීම නිසා කලක සිට එම සායනික අපද්‍රව්‍ය මෙලෙස ගොඩගැසී ඇති බව එහි සේවකයෝ පවසති.

මේ අනුව රෝහල් පාලනාධිකාරියේ බල කිරීම මත බැකෝ යන්ත්‍රයක් මගින් විශාල වළක් කපා පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවන් එකසිය දහතුන් දෙනෙකු යොදා ගනිමින් එම රෝහල් භුමියේ ගොඩගැසී තිබෙන සායනික අපද්‍රව්‍ය වළ දැමීමට කසළ තෝරා වෙන් කිරීමට කටයුතු කරමින් සිටියදී කසළ තුළින් හැමූ දුර්ගන්ධයක් සමග ඔවුන්ගෙන් පිරිසකට එම විෂ වායුව ආග්‍රහණය වී තිබේ.

මේ පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහල අවට පදිංචි ජනතාවගෙන්ද දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා කියා සිටියේ රෝහල් භූමියේ ගොඩ ගැසී තිබූ දිරාපත්ව ඇති කසළ තෝරා වෙන් කර වළ දැමීමට උත්සාහ කිරීමේදී ඇමෝනියා වායුව ආග්‍රහණයවීම නිසා ඇතිවූ අසාත්මිකතාවය නිසා රෝගාතුරවූ සියලු‍ දෙනාම මේවන විට සුවය ලබා ඇති බවයි.

මේ අතර එම කසළ රෝහල් භුමියේ වළ දැමීමට කිසිවෙකුගේ අවසරයක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හෙතෙම පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහල භූමියේ අවිධිමත් ලෙස ගොඩ ගසා තිබෙන සායනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකිරීමට එරෙහිව රෝහල් පාලනාධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment