ගුරුවරයාගේ කැකිල්ලේ තීන්දුවෙන් වයරයකින් පහරකෑ ශිෂ්‍යයා රෝහලේ

396

දෙමාපියන්ගෙන් පොලිසියට හා අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි

වැලිගම අර්ෆා ජාතික පාසලේ වඩු වැඩ ඉගැන්වීමේ යෙදෙන ගුරුවරයකු එම පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට වයරයකින් පහර දී ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

එම පහරදීම හේතුවෙන් ශිෂ්‍යයා දෙමාපියන් විසින් මාතර මහරෝහලට ඇතුළත් කර දින තුනක් ප්‍රතිකාර ලබාදී ඇත.

ගුරුවරයා ගේ අමානුෂික පහර දීම නිසා අසනීප වූ ශිෂ්‍යයා සිද්ධිය සම්බන්ධයෙන් සිය මවට තොරතුරු හෙළි කර ඇත. ඉන් පසුව දෙමාපියන් විසින් මෙම පහරදීම පිළිබඳව වැලිගම පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ බව වැලිගම පොලිසිය පවසයි.

පහර කෑමට ලක්වූ සිසුවා සහ එම පාසලේ නව වන වසරේ ඉගෙනුම ලබන ගුරුවරයාගේ පුතා සමග ඇතිවූ ගැටලුවක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. පාසලේ විවේක කාලය නිමවීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා සිසුවාගේ පන්තියට පැමිණ උඹ මගේ දරුවාට පහර දුන්නේ ඇයි දැයි කියා ශිෂ්‍යයා පන්තියෙන් එළියට ඇදගෙන විත් වයරයක් භාවිතා කර පහරදීම සිදු කර ඇත. පසුව ඔහු ශිෂ්‍යයා විද්‍යාලයේ ක්‍රීඩාංගණය දෙසට ඇදගෙන යෑමට සැරසී ඇත. පසුව එය වෙනත් ගුරුවරියක දැක එහිදී එම ගුරුවරිය විසින් ගුරුවරයාගේ ග්‍රහණයෙන් ශිෂ්‍යයා මුදාගෙන තිබේ. මෙම පහරදීම පිළිබඳව දෙමාපියන් විසින් වැලිගම පොලිසියේ සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ ගුරුවරයාට එරෙහිව පැමිණිල්ලක් දමා ඇත. අද 17 දින එම පැමිණිල්ල විභාග කිරීම සඳහා දෙපාර්ශවයම වැලිගම පොලිසියට කැඳවා තිබෙන අතර වැලිගම පොලිසියේ මූලස්ථාන පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ සිදුකරයි.
මාතර අතිරේක – ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment