ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තීරණාත්මක අවස්ථාවේදී ලබාදෙන සහයෝගීතාව සාදරයෙන් පිළිගන්නවා

160

* ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආසියා-පැසිෆික් ජල සමුළුව අමතමින් පවසයි
තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම වෙනුවෙන් ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 ජපානයේ කුමමොටෝහි ඇරඹි 4 වැනි ආසියා – පැසිෆික් දෙදින ජල සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් පෙරේදා (23දා) පෙරවරුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 “තිරසර සංවර්ධනය සඳහා ජලය හොඳම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගි වූහ. සමුළුවේ ප්‍රගතිය 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේදී “කුමමොටෝ ප්‍රකාශය” ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතය.

 සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

 අපගේ මුතුන් මිත්තන් විසින් අතිවිශාල ජල විද්‍යාත්මක ව්‍යාපෘති හරහා අපගේ භූ දර්ශනය පරිවර්තනය කර නවීන කෘෂිකර්මාන්තයක් පවත්වා ගෙන යමින් ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස කීර්තියක් අත්පත් කර දෙන ලදී. ජලය ආශ්‍රිත තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මාගේ රජයේ කැපවීම මෙම පොහොසත් උරුමය මගින් මෙහෙයවනු ලබන අතර, එය තිරසර බව අවධාරණය කරන අපගේ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසකි. අපගේ ජල පද්ධතිවල තිරසර බව සහ ප්‍රත්‍යාස්ථතාව ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාවයකි. වඩාත් කාබනික සහ තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක අධික

 ලෙස භාවිතා කිරීම අප විසින් අධෛර්යමත් කිරීම මෙම අවශ්‍යතාවයේ කොටසක් ලෙස පදනම් විය.

 කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පවා, පසුගිය වසරවල වාර්ෂිකව ලබා දුන් ජල සම්බන්ධතා සංඛ්‍යාවට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ලබා දෙන නව ජල සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට මගේ රජයට හැකි විය. මගේ රජයේ සංවර්ධන ප්‍රයත්නවල මූලික හරය වන සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සියලු දෙනා එක්කර ගත් සහ සහභාගි කරගත් සංවර්ධනයක් වැඩි දියුණු කිරීම සඳහා අප ලබාදෙන අවධානය මෙම ජයග්‍රහණවලින් පිළිබිඹු වේ. මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා අපගේ තිරසාර ප්‍රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව

 ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. අද ජීවත්ව සිටින අප සැවොම අනාගත පරපුර වෙනුවෙන් මේ මිහිතලයේ භාරකරුවන් ලෙස කටයුතු කරයි. අපගේ අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධනය සඳහා ජලය කළමනාකරණය කිරීම අප සැමගේ යුතුකමකි. අපේ ජනතාව සහ අපේ පෘථිවිය වෙනුවෙන් අපි මේ සඳහා නොපසුබටව කටයුතු කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment