ජල සම්පාදන හිඟ ණය 140%කින් නැගලා – විගණනයෙන් කියයි

64

ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුළු හිඟ ණය මුදල 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී සියයට 140 කින් ඉහළ ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. ඒ අනුව රුපියල් බිලියන 240 සිට රුපියල් බිලියන 335 දක්වා එම හිඟ ණය වැඩි වී තිබේ.

ඉකුත් වර්ෂයට සාපේක්ෂව ලබාගත් ණය සඳහා පොලී අනුපාත වැඩිවීම, කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවිය යුතු හිඟ මුදල් සහ ණය ශේෂයන් ඉහළයෑම, විදේශ ණය නිරාවරණය වැඩිවීම සහ ණය වාරික නොගෙවීම හේතුවෙන් ණය ශේෂය ඉහළ ගොස් ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. කෙසේ වුවද 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට ජලගාස්තු වැඩිවීම හේතුවෙන් ජලසම්පාදන මණ්ඩලයේ ශුද්ධ අලාභය ඉකුත් වර්ෂයට වඩා 2022 වර්ෂයේ සියයට දෙකකින් අඩුවී තිබුණි.

මුළු හිඟ ණය මුදල බිලියන ගණනකින් ඉහළ ගොස් තිබුණ ද ජලසම්පාදන මණ්ඩලය විසින් එකාබද්ධ අරමුදලට ලාභාංශ හෝ බදු බෙදාහැරීමකින් තොරව ප්‍රසාද දීමනා වෙනුවට නිෂ්පාදන දිරිදීමනා ලෙස ඉකුත් වර්ෂයේ දී එහි සේවකයන්ට රුපියල් විසිහය කෝටි අසූතුන් ලක්ෂ විසිතුන්දහස් අනූ දෙකක මුදලක් (269,323,092) ගෙවා තිබුණි.

මේ සම්බන්ධව ජලසම්පාදන මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ මෙය ප්‍රසාද දීමනාවක් නොව භාණ්ඩාගාර චක්‍රලේඛය අනුව ගෙවනු ලැබූ දිරිදීමනාවක් බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment