පිස්සුවක් නෙමේ මේක ලෝකයම රකින සංරක්ෂණ විද්‍යාවක්…

ලෝකයේම තෙත් බිම් යා කරන්නේ කුරුල්ලෝ…

කුරුල්ලන් පිළිබඳ මිනිසාගේ උනන්දුව අනාදිමත් කාලයක් පුරාවට දිවයන අතර, කුරුල්ලන්ගෙන් යම් යම් කාර්යයන් ඉටුකරගැනීම, සුරතලයට ඇති දැඩි කිරීම හැරුණු කොට, කුරුල්ලන් පිළිබඳව හැදෑරීම නොහොත් කුරුල්ලන් පිළිබඳව උගෙනීම ආරම්භ වන්නේ කවදා කොතැනකින්ද යන්න පැහැදිලි නැත. නමුත්, මිනිසා තමන්ගේ එක් එක් කාර්යයන් සඳහා ඊට අනුගත වන පරිදි කුරුල්ලන් තම කාර්යයේ සංකේත ලෙස භාවිත කළ අයුරු ඉතිහාසය පිරික්සීමේදී දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ වුවද සාහිත්‍යය කාව්‍ය රචනා කළ සාහිත්‍යධරයින් තම නිර්මාණ කුරුල්ලන්ගේ නම්වලින් නම්කර ඇත්තේ කුරුල්ලන්ට ඇති ආකර්ෂණය නිසාම මෙන්ම, කුරුල්ලා යනු එක් තැනක සිට ඉතා ඉක්මනින් තවත් තැනකට යාහැකි සත්ත්වයකු බැවින් කුරුල්ලා සන්නිවේදන මාධ්‍යයක් ලෙස සංකේතාත්මකව සලකාය. සැළලිහිණි සංදේශය, ගිරා සංදේශය, සැවුල් සංදේශය, පරෙවි සංදේශය, හංස සංදේශය මෙම සංදේශ කාව්‍යයනට නිදසුන්ය. ඒවාට මෙසේ නම් තබා ඇත්තේ සැබැවින්ම මෙම කුරුල්ලන් අදාළ පණිවිඩය හෝ සංදේශය සත්‍ය ලෙසම රැගෙන ගිය නිසා නොව, හුදු මනඃකල්පිතව සිතා පණිවිඩකරුවකු ලෙස ඊට කුරුල්ලෙකු ආදේශ කිරීමෙන්ය.

කෙසේ හෝ ප්‍රවාහන හෝ සන්නිවේදන දියුණුව ඉතා ප්‍රාථමික මට්ටමක පැවැති යුගයේ පුහුණු කරන ලද පරෙවියන්, උකුස්සන් වැනි කුරුල්ලන් සැබෑ ලෙසම පණිවිඩ දූතයින් ලෙස යොදාගත් අවස්ථා ඇත. ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ්ට් දූපතේ ඇති පැරණි පරෙවි කූඩුව ලන්දේසීන් හෝ පෘතුගීසින් විසින් එසේ පුහුණු කරන ලද පරෙවියන් පණිවිඩ සමග මුදාහරින්නට භාවිත කරන ලද්දක් බව පවතින විශ්වාසයයි.

කුරුල්ලන් පිළිබඳව ඇල්මෙන් කටයුතු කරන කණ්ඩායම් තුනක් සාමාන්‍යයෙන් සමාජයේ දක්නට ඇත. එනම් කුරුලුලෝලීන් (Bird Lovers), කුරුලු නරඹන්නන් (Bird Watchers) සහ කුරුලුවේදීන් (Birders) ලෙසය. කුරුලුලෝලියකු හෝ කුරුලු නරඹන්නකු වීමට ඉතා පුළුල් දැනුමක් අවශ්‍ය නොවන නමුත්, ඔවුන්ගේ භාවිතයට කුරුලුවේදීන් විසින් සම්පාදනය කරන කුරුලු දැනුම හා තොරතුරු ඉතා වැදගත් වේ. කුරුලුවේදීන් කුරුල්ලන් පිළිබඳව හදාරන්නවුන් (Birders) වන බැවින් මූලිකවම කුරුලු ලෝලියකු සහ කුරුලු නරඹන්නකු ලෙස සිටි තත්ත්වයෙන් එහා ගොස් එය විද්‍යාවක් ලෙස ඔවුහු උගත යුතු වන අතර, ඔවුන්ගේ දැනුම අනෙකුත් කාණ්ඩ දෙකේ උදවියට හා එතැනින් එහා ගොස් පුළුල් ජන සමාජයකට සම්ප්‍රේෂණය කරයි. මේ නිසාම වර්තමානය වන විට කුරුල්ලන් පිළිබඳව හැදෑරීම සඳහා වෙනම විද්‍යාවක් ලොව විකාශනය වී ඇත. එය කුරුලු විද්‍යාව (Ornithology) නම් වේ. කුරුලු විද්‍යාව හදාරන පක්‍ෂි විද්‍යාඥයන් (Ornithologists) සුළුතරයක් කුරුල්ලන් පිළිබඳ පර්යේෂණ කරන අතර සිය දහස් ගණනක කුරුලුවේදීහු අදත් ලොව පුරා තම අධ්‍යයන කටයුතුවල නිරතව සිටිති.

කුරුල්ලන්ට සැටලයිට් දාන්නේ ඇයි?
චන්ද්‍රිකා සංවේදී උපාංගයන්

එසේම, කුරුලු විද්‍යාවට අදාළව කුරුල්ලන් පිළිබඳව කරනු ලබන පර්යේෂණ ඇසුරෙන් නව මානයන් සොයා යෑම විද්‍යාඥයන් මෙන්ම කුරුලුවේදීන්ගේ වෘත්තීයමය භාවයකි. විටෙක එය ලෝකය ගැන අලුතෙන් සිතන්නට, අලුතෙන් සිතා ක්‍රියාකරන්නට මං පෙත් විවර කරදීමකි.

පෙර අප සාකච්ඡා කළ පරිදි අතීතයේදී වෙඩි තබා බිම හෙළා කුරුල්ලන් පිළිබඳව හැදෑරීම සිදුකළ කුරුලු නිරීක්ෂකයන් අනතුරුව කාලයත් සමග කුරුල්ලන්ට යකඩ මුදු පැළඳවීම, කුරුල්ලන්ගේ පාදවලට සැහැල්ලු වර්ණ පා මෙවලම් (ෆ්ලෑග්ස්) දැමීම, රේඩියෝ සංඥා උපකරණ භාවිතය මගින් කුරුල්ලන්ගේ සංචරණ විධි නිරීක්ෂණය (රේඩියෝ ට්‍රැකින්) වැනි පරම්පරා කිහිපයක් ඔස්සේ අත්කරගත් ආයාසකර ප්‍රගතිය “චන්ද්‍රිකා තාක්ෂණික උපකරණ භාවිතයෙන් කුරුල්ලන් හැදෑරීම” දක්වා මේ වන විට පැමිණි ගමන සුළු පටු කාරණයක් නොවේ. වර්තමානයේ කුරුල්ලන්ගේ සංචරණ විධි, හැසිරීම් රටා, පර්යටනික ගමන් මාර්ග, කුරුල්ලන් දිවිගෙවන පරිසර තත්ත්වයන් වැනි දෑ පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට පක්‍ෂි විද්‍යාඥයෝ විශාල දියුණුවක් අත්කරගෙන සිටිති. පසුගිය සති කිහිපයේදී අපි ඒ පිළිබඳව කතා කළෙමු. චීනය, යුරෝපය, ඇමෙරිකාව ඇතුළු රටවල් මගින් නිෂ්පාදනය කරන සැහැල්ලු “සැටලයිට් ටැගින්” උපකරණ මගින් එය සම්බන්ධ කර ඇති කුරුල්ලා පියාඹන උස, දුර, යම් තැනක ගතකරන කාලය, පියාසරණ වේලාවන්, ගමන් කරන මාර්ගය, වසා සිටින පරිසරයේ උෂ්ණත්වය, වායුගෝලීය ජලවාෂ්ප ප්‍රමාණය (ආර්ද්‍රතාවය) වැනි කරුණු රැසක් දත්ත ලෙස ලබාගත හැකිය. කුරුල්ලන්ට පළඳවනු ලබන මෙවන් නවීන චන්ද්‍රිකා සංවේදී උපාංගයන් (Satellite Tags) හා ඉන් සිදුකරගත හැකි සේවාවන් සහ නිරීක්ෂණ ගැන අප වර්තමානයේ කතා කරනමුත්, තවමත් ඒවායේ අවසන් නිගමන ගැන කතා කරන්නට මේ කාලය නොවේ. ඒ සඳහා අදාළ විද්‍යාඥයින් සහ එම පර්යේෂණ ආයතන මගින් විද්‍යාත්මක පත්‍රිකා මගින් තම සොයාගැනීම් විද්‍යාත්මකව ප්‍රකාශයට පත් කළ යුතුව ඇත. ඊට පෙර අප මේ ඉදිරිපත් කරන තොරතුරු කුරුල්ලන් පිළිබඳ වාර්තාවන නවතම චන්ද්‍රිකා තාක්ෂණික තොරතුරු බවද සිහිපත් කළ යුතුය.

මෙම ලිපියෙන් නිදසුන් සහිතව අප තව දුරටත් කතා කරන්නට සැරසෙන්නේ “සැටලයිට් (නොහොත් චන්ද්‍රකා) ටැග්ස්” භාවිතයෙන් නිරීක්ෂණය කරන හෝ අධ්‍යයනය කරන කුරුල්ලන්ගේ තොරතුරු හා එම තොරතුරු වැදගත් වන්නේ කුමක් සඳහාද යන්න පිළිබඳව ය. ශ්‍රී ලංකාවේ මෙම පර්යේෂණ පිළිබඳව කටයුතු කරන ප්‍රධානතම ආයතනය කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය (FOGSL-UOC) යි. දෙස් – විදෙස් ආයතන රැසක අනුග්‍රාහක හා දායකත්වය ඇතිව මෙම අධ්‍යයන කවය මගින් සිදුකරන පර්යේෂණ ගැන සඳහන් කරන එම පර්යේෂණයේ ප්‍රධාන විද්‍යාඥ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා කියන පරිදි මෙම කුරුල්ලන් පිළිබඳ අධ්‍යයන කටයුතු යනු සමස්ත මානව වර්ගයා ඇතුළු ජීව පරිසරය ගැනම වැදගත් දත්ත රාශියක් සපයා දෙමින් මිහිකත සුරක්ෂිත කිරීම සඳහාම සිදුකරන අධ්‍යයනයන්ය. එසේම මධ්‍යම ආසියානු කුරුලු පර්යටනික ගමන් මාර්ගයේ දකුණු අර්ධගෝලයේ කුරුල්ලන්ගේ අවසන් නවාතැන වන ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඇතුළු සංචාරක හා ආර්ථික සංවර්ධනයක් කරා යන ගමනේ බොහෝ තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන හා පිටත්ව යන කුරුල්ලන් පිළිබඳව හැදෑරීම ශ්‍රී ලාංකික අපට රටක් ලෙස ඉතා වැදගත් වෙයි. එසේම ලෝකයම යාකරන කුරුලු අමුත්තන්ගේ ප්‍රධාන නවාතැනක් වන ශ්‍රී ලංකාව මොනතරම් ලෝකයේ පරිසර පද්ධති හා සම්බන්ධවෙමින් “ගෝලීයකරණයට” දක්වන දායකත්වය මේ මගින් ඉතා හොඳින් හඳුනාගන්නට අවස්ථාව උදාවේ. ඒ නැතිව කුරුල්ලන් පිළිබඳව අධ්‍යයන කටයුතු යනු හුදෙක් එක කණ්ඩායමකට අවශ්‍ය පරිදි සිදුකරන කාලය හා මුදල් කාදැමීමක් යයි කවුරුන් හෝ සිතන්නේ නම් එය වරදවා වටහා ගැනීමකි. මේ ඔස්සේ ලැබෙන නිරීක්ෂණ හා නිගමන අපගේ රටට මෙන්ම, ලෝකය ආරක්ෂා කරගැනීම සඳහා මෙන්ම ලෝකය වර්ණවත් කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වන්නකි.

“සැටලයිට් තාක්ෂණය මගින් ලැබෙන කුරුල්ලන්ගේ වැදගත් දත්ත නිරීක්ෂණ මෙතෙක් අපි සිතාගෙන සිටියාට වඩා වෙනස්. එසේම මේ තාක්ෂණයෙන් ලැබෙන දත්ත නිරවද්‍යතාවෙන් උසස්. ඒ නිසා අපට අලුත්ම අලුත් තොරතුරු මේ තාක්ෂණය භාවිතයෙන් ලැබෙමින් පවතිනවා. අපි කළින් කිව්වා වගේ දකුණු ආසියාවේ තාක්ෂණික බලවතුන් හිටියට මේ චන්ද්‍රිකා තාක්ෂණය පළමුව කුරුල්ලන් ඇසුරෙන් අත්හදා බලපු පළමු රට ශ්‍රී ලංකාව. ආසියාවේ රටවල් අතරත් මේ තාක්ෂණය භාවිතා කළ රටවල් අතර අපි ඉදිරියෙන්ම සිටිනවා. ඒ කොහොම වුණත් කලාපයේ අපි මේ චන්ද්‍රිකා තාක්ෂණය කුරුල්ලන්ට භාවිතා කරන්නේ ඉතා සහයෝගයකින්. අපට අවශ්‍ය කලාපයක් වශයෙන් අපේ කලාපයේ හෝ අපේ කලාපයට එන-යන කුරුල්ලන්ගේ තොරතුරු නිවැරදිව හඳුනාගෙන විශේෂයෙන් කුරුල්ලන්ගේ පැවැත්මට හා පරිසර පද්ධති සංරක්ෂණයට වගේම අපේ රට, කලාපය, ලෝකය ලෙස ගත්තත් කුරුල්ලන් ඇසුරෙන් ජන සමාජයට ලබාගත හැකි වටිනාකම් ඉස්මතු කර දීමට. සැබවින්ම මේ නවීන තාක්ෂණ භාවිතය ඔස්සේ අපට දැන් කුරුල්ලන් ගැන ඉතා උසස් දැනුම ලැබෙමින් පවතිනවා. මේ පිළිබඳ වැදගත් නිගමන ගණනාවකට අපට ඉදිරි කාලයේදී එන්න පුළුවන් වෙයි” මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසයි.

“දැන් උදාහරණයක් විදිහට ගන්න අපේ රටට එන දහසකුත් කුරුල්ලන් අතර, ආර්ක්ටික් ප්‍රදේශයෙන් එන “හියුග්ලින් ගලුවියන්” ගැන අපි සැටලයිට් ටැග් යොදා විශේෂ පර්යේෂණයක් කළා. ඒකෙන් අපි හොයාගත්තා ඉන්දියන් සාගරයේ සිට රුසියාවේ ආර්ක්ටික් ප්‍රදේශය දක්වා නිත්‍ය කුරුලු ගමන් මාර්ගයක් තියනවා කියලා. මේ කුරුල්ලන් ශ්‍රී ලංකාව ඇතුළු සමකයාසන්න තෙත්බිම්වලට එන යන කුරුල්ලෝ. අවුරුදු දහස් ගාණක් තිස්සේ උතුරු-දකුණු තෙත් බිම් කුරුල්ලන් ආශ්‍රයෙන් සම්බන්ධවෙලා තියනවා. එතකොට මේ තෙත්බිම් අතර බැඳීමක් තියෙනවා. කුරුල්ලන් නිසා මේ තෙත්බිම් සම්බන්ධ වෙන නිසා, ආර්ක්ටික් ප්‍රදේශයේ ඇතිවන වෙනසක්, ලෙඩක් වැනි දෙයක් වුණත් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයට එන්න ඉඩ තියනවා. ඒ වගේම අපේ කලාපයේ ඇතිවන පාරිසරික වෙනසක්, ලෙඩක්, දිලීරයක්, වෛරසයක්, පරපෝෂිතයෙක් ආර්ක්ටික්වලට හුවමාරු වෙන්න පුළුවන්. මේ ඔක්කොටම වඩා තෙත්බිම් අතර ඇතිව තිබෙන බැඳීම. මෙහෙම බැලුවොත් ලෝකයේම තෙත්බිම් වෙන වෙනම තිබුණට කුරුල්ලන්ගෙන් බැඳිලා තියෙන්නෙ. කුරුල්ලන්ගේ වසුරුවලින් සිය දහස් ගණනක දිලීර, බැක්ටීරියා අනෙක් තෙත් බිමට එකතු වෙනවා. එක තෙත්බිමක තියන මත්ස්‍ය බිත්තර, වෙනත් ජලජ ජීවී බිත්තර වගේ දේවල් ලෝකයේ තවත් තෙත්බිමකට යනවා. සන්නිවේදන තාක්ෂණයෙන් ලෝකය විශ්ව ගම්මානයක් කිව්වත්, ඇත්තටම සංක්‍රමණික කුරුල්ලන් ඇතුළු සත්වයින් තමයි පළමුව මේ විශ්ව ගම්මානය ඇති කළේ. අපි අද කරන්නේ සන්නිවේදන තාක්ෂණයෙන් ඒවා හදාරන එක. මේ නිසා කුරුලු විද්‍යාව කියන්නේ වෙනම විෂයක්, වෙනම විද්‍යාවක්. ඒවා හදාරන්න ඕන. ඒ දත්ත පෙරළා සමාජ යහපතට ආපසු ලැබෙනවා. කුරුල්ලන් ගැන අධ්‍යයන කරන එක නිකම්ම නිකං පිස්සු වැඩක් නෙමේ. මේ නිසා දැන් කුරුලු විද්‍යාර්තීන් බිහිවෙනවා. අලුත් සන්නිවේදන ක්ෂේත්‍රයක් බිහිවෙනවා. කුරුල්ලන් නිසා ආචාර්ය – මහාචාර්යවරු බිහිවෙනවා. ඒ සඳහා තමයි අපි මේ කුරුල්ලන් ඇසුරෙන් චන්ද්‍රකා තාක්ෂණය භාවිත කරල තවත් මේ ගැන සොයන්නේ. ඒ භාවිතය නිසාම කුරුල්ලන්ටත්, ලෝකයටත් අලුත් වටිනාකම් ලැබෙනවා. පරිසරය සංරක්ෂණය කියන මාතෘකාවට මේ ඔස්සේ අලුත් වටිනාකම් ලැබෙනවා. රටක් හැටියට අපේ රටටත් වටිනාකමක් ලැබෙනවා. ආර්ථික වටිනාකම් ලැබෙනවා.” මහාචාර්ය සෙනෙවිරත්න පවසයි.

“චන්ද්‍රිකා තාක්ෂණික ඩිවයිස් (Satellite Tags) යෙදූ ඇතැම් කුරුල්ලන්ගේ හැසිරීම් අපට හිතාගන්නවත් බැහැ. උදාහරණයක් ගන්නම්, සාමාන්‍යයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෙත්බිම්වලින් වාර්තා නොවන, එහෙත් ලංකාවේ මන්නාරම වගේ උතුරු තෙත්බිම්වලින් වාර්තා වන “ක්‍රැබ් ප්ලෝවර්” (කකුළු ඔලෙවියා) කියන කුරුලු විශේෂයේ කුරුල්ලන් 7 දෙනකුට විතර අපි 2021 වසරේදී අල්ලලා “චන්ද්‍රිකා ටැග්ස්” දැම්මා. ඒ කුරුල්ලා සාමාන්‍යයෙන් බිත්තර දමා පැටවුන් බිහිකරන්නේ ඕමාන්, සෞදි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වගේ උණුසුම් කාලගුණයක් තියන මැදපෙරදිග කලාපයේ. මන්නාරමේදී ටැග් කරපු “අලී” කියල අපි නම දාපු කුරුල්ලා දවසක් 10 ට විතර රට හරහා අනුරාධපුරය පැත්තෙන් ගිහින් මඩකලපුවට ඇවිත් පාන්දර අම්පාරටත් ආවා. ඉන්පස්සේ අම්පාරෙ දින 3 ක් ඉඳල, හම්බන්තොට කහඳමෝදර (කලමටිය) තෙත්බිමට ආවා. එතන ටික දවසක් ඉඳල දකුණු මුහුදෙන් පහළට ගියා. අපි හිතන්නෙ එයා ගියේ මැඩගස්කර් පැත්තට කියල.

කුරුල්ලන්ට සැටලයිට් දාන්නේ ඇයි?
කුරුල්ලන්ට සැටලයිට් දාන්නේ ඇයි?

තවත් ඒ විශේෂයේ “රාජා” කියල අපි නම් දැම්ම කකුළු ඔලෙවියා ඉන්දියාවේ කැලිමර් තුඩුවේ කාලයක් ගත කළා. එයා මැදපෙරදිග ගියේ නෑ. නමුත් මාස හයකට පස්සෙ ආපහු ලංකාවට ආවා පැටවු එක්ක. ඒ කියන්නේ එයා ඉන්දියාවෙ බිත්තර දාල, පැටව් හැදුවා. ඒක අලුත් තොරතුරක්. ඊට පස්සෙ ඉන්දියාවට පියාඹලා ඉන්දියාවේ බටහිර වෙරළට යනවා අපි චන්ද්‍රිකා තාක්ෂණයෙන් නිරීක්ෂණය කළා. ඊට පස්සේ අපට දත්ත ආවෙ නැහැ, ඌ බොහෝ වෙලාවට මැදපෙරදිග පැත්තට යන්න ඇති.

අපි මේ සිද්ධිවලින් තේරුම් ගත්තේ මන්නාරම-මඩකලපුව-අම්පාර-කහඳමෝදර-කලමටිය තෙත්බිම් වෙන වෙනම තිබුණත්, කුරුල්ලන්ගෙන් එකිනෙක සම්බන්ධ වෙනවා කියන එක. එතකොට තෙත්බිම්වල වතුර අංශුවක ඉඳන්, දිලීර, බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයින්, ඇල්ගී, ශාක ප්ලවාංග, සත්ත්ව ප්ලවාංග, ඛනිජ ද්‍රව්‍ය මේ සියල්ලක් හුවමාරු වෙනවා. වෙන රටකට ගියොත් ඒ රටේ තෙත්බිම් අපේ ඒවත් එක්ක “ලින්ක්” වෙනවා. මොනතරම් සම්බන්ධයක් ද මේ. දවසින් දෙකෙන් මේ සම්බන්ධතා සිදුවෙනවා. ඉතින් ලෙඩක් වුණත් පැතිරෙන්න පුළුවන්. කුරුලු උණ නිදසුනකට ගන්න පුළුවන්. නමුත් අපි ධනාත්මකව හිතන්න ඕන. නරකට වඩා හොඳ සිද්ධවෙනවා වැඩියි. ලෝකයම එකම තෙත්බිම් ජාලයක් කරන්නේ පර්යටනික කුරුල්ලෝ. ජෛවගෝලය ජෛව ජාලයකින් සම්බන්ධ කරන්නේ කුරුල්ලෝ. ලෝකය සුන්දර තැනක් කරන්නේ කුරුල්ලෝ. ආර්ක්ටික්වල ඉඳන් මන්නාරමේ අපේ තෙත්බිමකට කිලෝමීටර් 20,000 ක් විතර දුර වුණත්, නිරන්තරයෙන් අපි ආර්ක්ටික් එක්ක බැඳිලා ඉන්නවා. ඒක කරන්නේ කුරුල්ලෝ. ඒ නිසා අපි තව තවත් කුරුල්ලෝ ගැන පරීක්ෂණ කරන්න ඕන. නවීන තාක්ෂණය ඒ සඳහා භාවිත කරන්න ඕන. ඉතිං චන්ද්‍රිකා තාක්ෂණය අපට මහඟු පිටිවහලක් මේ පර්යේෂණ කරන්න හා අලුත් තොරතුරු ලෝකයට කියන්න.” මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මේ කියන්නේ “කුරුල්ලන්ට පළඳින සැටලයිට් ටැග්”වලින් කියැවෙන අලුත්ම අලුත් කතා ගැන අපව ඉතා හොඳින් දැනුවත් කරමිනි.

ජගත් කණහැරආරච්චි
මන්නාරමේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment