හැමෝම හොයපු ක්‍රිස්ටිනාගේ විස්තරේ… – ක්‍රිස්ටිනා බණ්ඩාර

7048

කලා පවුල් දෙකක් නියෝජනය කරනවා

ක්‍රිස්ටිනා ගැන බොහෝ දෙනෙක් හොයන්න පටන්ගත්තෙ සමාජමාධ්‍යවල සැරිසැරූ ඇය ගායනා කරන ගීතයක් නිසා. ඇයගේ පෙනුම මේ කුතුහලය තවත් වැඩි කළා. කොහොම වුණත් වටින් ගොඩින් හොයන තොරතුරුවලට වඩා නිවැරදිම දේ දැනගන්න මීවිත අපි ක්‍රිස්ටිනා බණ්ඩාරට කතා කළා.

● ක්‍රිස්ටිනා බණ්ඩාර කියන්නෙ කවුද කියල අපි මුලින්ම කියමු?

මගේ තාත්තා අප්‍රිකානු ජාතිකයෙක්. අම්මා ශ්‍රී ලාංකිකයි. වයස අවුරුදු හතරෙ ඉඳන් මම ජීවත් වෙන්නෙ ලංකාවේ. මම ගියේ ලංකාවේ පාසල් දෙකකට. මට ඉන්නෙ සිංහල යාළුවො. කසාද බැඳල ඉන්නෙ සිංහල කෙනෙක්ව. මම දැන් මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක්.

හැමෝම හොයපු ක්‍රිස්ටිනාගේ විස්තරේ… - ක්‍රිස්ටිනා බණ්ඩාර

● පසුගිය කාලයේ ඔබේ ගීත දෙකක් බොහොම ජනප්‍රිය වුණා?

‘දුහුවිල්ලෙන්. ගීතය ගිය අවුරුද්දෙ ගෙදර පාර්ටි එකක් වෙලාවේ මම ගායනා කළ එකක්. පරණ වීඩියෝ ඩිලීට් කරද්දි දැකල ඒක මගේ ටික් ටොක් එකවුන්ට් එකට අප්ලෝඩ් කළා. ඊට පස්සෙ හිතාගන්නවත් බැරි විදිහට බොහෝ දෙනෙක් ඒක ඩවුන්ලෝඩ් කරල පේජස්වල අප්ලෝඩ් කරල තිබුණා වගේම හැමෝම ඒකට ගොඩක් කැමති වුණා. Desert Flower නමින් කවර් සෝන්ග් කරල අප්ලෝඩ් කරන මගේ පේජ් එකක් තියෙනව. මගේ මහත්තයා තමයි ඒ හැම එකකම සංගීතය නිර්මාණය කරන්නෙ. ඔහු නිර්මාණය කරදුන් මෑෂප් එක ඉතාම ජනප්‍රිය වුණා. එයින් පස්සෙ මගේ පේජ් එකට දාන හැම වීඩියෝ එකක්ම ෂෙයාර් වෙනවා.

● ඔබ කලා පවුලකට සම්බන්ධයි?

මගේ සැමියා තිසර බණ්ඩාර එක්ක ආදර සම්බන්ධයක් ඇතිවෙද්දි මම දැනගෙන හිටියෙ නැහැ ඔහු කලා පවුලකට සම්බන්ධ අයෙක් කියල. මම පාසලේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක්. වැඩිපුරම ආසා ගීතය වුණේ ලතා වල්පොල මහත්මියගෙ ‘නමෝ මරියනේ.. ඒ කාලේ මම දැනගෙන හිටියෙ නැහැ එතුමිය කවුද කියලවත්. ඒ හැරුණාම හින්දි ගීත තමයි බොහෝ දුරට අහන්නෙ.

● ඇත්තටම ලතා වල්පොලට තියෙන ඥාති සම්බන්ධය මොකක්ද?

ලතා වල්පොල කියන්නෙ මගේ හස්බන්ගෙ ආච්චි. ඔහුගේ මව දම්මිකා වල්පොල. ඥාති සම්බන්ධය ඇති වෙන්නෙ එහෙමයි.

ඔබ සංගීතය වැඩිදුර හදාරා තිබෙනවාද?

මම පාසල් ගියේ වෙන්නප්පුව සෙන්ට් මාර්ටින් ද පෝරස් පාසලට සහ නුවර හිල්වුඩ් විද්‍යාලයට. මේ පාසල්වල ගායක කණ්ඩායමේ හිටියාට වැඩිදුර සංගීතය හැදෑරීමක් කරල නැහැ.

● ලැබෙන ප්‍රතිචාර ගැන අදහස කොහොමද?

සමහර අය කියනව මගේ කටහඬ නිරෝෂා විරාජිනී මහත්මියට සමානයි කියල. සමහර අය කියනව ආච්චිගෙ කටහඬ වගේ කියල. සමහර අය කියනව අම්මගෙ හඬ වගේ කියල. මේ වගේ විවිධ ප්‍රතිචාර ලැබෙනව. නමුත් මට ඒවාට පිළිතුරු ලබාදෙන්න වෙලාවක් නැහැ. ඒ ගැන සමාව ඉල්ලනවා.

● සැමියාගේ ආච්චි” ලතා වල්පොල මොකද ඔබ ගැන කියන්නෙ?

මම තිසර එක්ක සම්බන්ධයක් ඇති බව දැනගත්තාම ආච්චි ඇහුවෙ සිංදුවක්වත් කියාගන්න පුළුවන්ද කියල. තිසර කිව්වා පොඩ්ඩක් පුළුවන් කියල. ඊට පස්සෙ මට කිව්වා කියල පෙන්නන්න කියල. රටේ ඉන්න ජ්‍යෙෂ්ඨම” ජනප්‍රියම ගායිකාවක් ඉස්සරහා සිංදුවක් කියන්න කිව්වාම ඒ හැඟීම මොන වගේද කියල කියන්න ඕන නැහැනෙ. මාව වෙව්ලනව. කොහොම හරි ‘දුහුවිල්ලෙන්. සිංදුව මම කිව්වා. ආච්චි ඒ වෙලාවෙ කිව්වා මේ සිංදුව කවර් එකක් කරල රෙකෝඩ් කරන්න කියල. එදාම හස්බන් මියුසික් එක හදල අපි ගීතය රෙකෝඩ් කළා. ඉන් පස්සෙ අපි බැඳලා අවුරුද්දක් විතර ගියාට පස්සෙ ගීතය අවුට් කළා. ඒක ලක්‍ෂ හයකට අධික පිරිසක් නරඹලා තිබුණා. මේ දේවල්වලින් තමයි ආච්චි දැනගත්තෙ මට සිංදු කියන්න පුළුවන් කියල. මම සුජාතා අත්තනායක මහත්මියගෙ ගීත ගායනා කරනකොට ආච්චි අහනව ඇයි ඔයා මගේ ගීතයක් ගායනා කරන්නෙ නැත්තෙ කියල. මම ඒ වෙලාවට කියනව” ඔයාගෙ ගීත ගායනා කරන්න ටිකක් අමාරුයි” ඒ වුණාට මම උත්සාහ කරනව කියල. දැන් ඒ ගීතත් ගායනා කරනවා.

● සිංහල ගීත ගායනා කළත් ක්‍රිස්ටිනා කියන්නෙ විදේශීය කාන්තාවක් කියන කතාව ප්‍රසිද්ධ වුණා?

ඔව්” තාත්තාගේ පැත්තෙන් ගත්තාම මම කොහොමත් විදේශීය කාන්තාවක්. නමුත් මට වයස අවුරුදු හතරෙදි මගේ තාත්තා මිය යනව. ඒ සිද්ධියෙන් පස්සෙ අපි ලංකාවට එනව. සිංහල පාසල්වලට ඇතුළත්වෙලා සිංහලෙන් ඉගෙනගන්නවා. අදටත් මගේ හොඳම යහළුවො දෙන්න සිංහල. මගේ මහත්තයාත් සිංහල.

● ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවාද?

ප්‍රසංගවලට ආරාධනා නම් ලැබෙනව. නමුත් ඒ හැම එකකටම සහභාගී වෙන්න ලැබෙන්නෙ නැහැ. මම කලා පවුල් දෙකක් නියෝජනය කරන්න ඕන. එකක් මහින්ද බණ්ඩාර” ඒ මහත්තයාගේ තාත්තා. ඔහු ලංකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක්. අනෙක මහත්තයාගේ ආච්චිලාගේ පැත්ත බලන්නත් ඕන. මම ගොඩක් වෙලාවට මහත්තයාගෙන් අහල” තාත්තාගෙනුත් උපදෙස් අරගෙන තෝරාබේරාගෙන තමයි ඒවාට සහභාගි වෙන්නෙ.

● මහත්තයාගෙන් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?

ඔහු තමයි මට හැමදේටම සහයෝගය ලබාදෙන්නෙ. මට හැම වෙලාවෙම කියන්නෙ” ඔයාට මෙච්චර දේවල් තියෙනව” නමුත් ඔයා හරිම කම්මැලි ළමයෙක්. ඒ නිසා කරුණාකරල ඔයාගෙ වොයිස් එකෙන් ප්‍රයෝජනයක් ගන්න කියල. ඔහු මේ වනවිටත් මට ගීත තුනක් හතරක්ම හදල දීල තියෙනව. මම තවම වොයිස් කරල නැහැ.

● මේ ගැන මහින්ද බණ්ඩාර මොකද කියන්නෙ?

මියුශීෂියන් කෙනෙක් වැඩක් භාරගත්තාම පවුලේ කෙනෙක් නැති වුණත් ඒ භාරගත්ත වැඩේ මගහරින්න බැහැ. මීට කාලෙකට කලින් එස්.එල්.බී.සී. එකේදි ආච්චි වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත් වුණා. එතනදි මුල්වරට මම වේදිකාවේ ගීත ගායනා කළා. එදා මම තාත්තාට කිව්වා ඔයා එනවනම් මට සතුටුයි” පුළුවන්නම් එන්න බලන්න කියල. එදා ජීවිතේ පළවෙනි වතාවට ඔහු කරන වැඩක් අතරමග නවත්වල ඒ අවස්ථාවට එකතු වුණා. ඒ වගේම පසුගිය 23 වැනිදා සීයා වෙනුවෙන් තිබුණ උපහාර උළෙලෙදි අප්පච්චි ඔයත් එන්න කියල මං කිව්වාම ඔහු ඒ අවස්ථාවටත් සහභාගි වුණා. ඒක ගෙදර අයටත් හරි පුදුමයි. එවැනි අවස්ථාවන්වලදි පුතේ ඔයා හොඳටම ගායනා කළා කියල ඔහු කියන වචන ටික මට මහ පුදුම විදිහට වටිනව.

● තිසරව මුණගැහුණ විදිහත් කියමු?

මම කාලෙකට කලින් වොයිස් ටේ්‍රනින් කරන්න කොහුවල තියෙන කීර්ති පැස්කුවෙල් මහත්මයාගේ ක්ලාස් එකකට ගියා. ඒ අතරතුර මට ඔහුව එක වතාවක් මුණගැහෙනව. කලින් පුරුදු මතකයක් වගේ දැණුන නිසා නම දැනගෙන ෆේස් බුක් සර්ච් කරද්දි ඔහු මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නව. අවුරුදු තුන හතරක යහළුකමක් තිබුණට හායි කියල මැසේජ් එකක්වත් අපි අතර හුවමාරු වෙලා නැහැ. ඉන් පස්සෙ දවසක කොන්සර්ට් එකක් ගැන දැනගන්න මං හායි කියල තිසරට දාපු මැසේජ් එක නොහිතන තරම් දුර ගියා. දවස් තුනකට විතර පස්සෙ මගෙන් ඇහුවා අපි මුණගැහිල කතාකරමුද කියල. මමත් කැමති වුණා ඒකට. එදාම ඔහු කිව්වා මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනව” ඒ කසාදයක් වෙනුවෙන්මයි” ඒ වෙනුවෙන් කාලයක් තිස්සේ බලාගෙන හිටියා කියල. මගේ හිතේ කැමැත්තක් තිබුණත් ඔහු ගැන එකවරම කියන්න බැරි නිසා අපි ආශ්‍රය කරල බලමු කියල කිව්වා. ඒ ආශ්‍රය අද වන විට ඔහු මගේ සැමියා වන තරමටම මට ළං කළා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment