පාසල් ගුරුවරිය වැල්ලවත්තේ මහල් නිවාසයෙන් පැන දිවිනසා ගනී

1147

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි පාසල් ගුරුවරියක එහි 8 වැනි මහලෙන් බිමට පැන සියදිවි නසාගෙන ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

පෙරේදා (08 වැනිදා) සවස 4.30ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 06, වැල්ලවත්ත, දයා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ නිවසක පදිංචිව සිටි ප්‍රෙමිලා ඥානගනේෂන් නමැති 49 හැවිරිදි ගුරුවරියකි. ඇය කොළඹ පාසලක ගුරුවරියක බවද පොලිසිය කියයි.

මියගිය ගුරුවරිය විවාහක කාන්තාවක් වූ අතර ව්‍යාපාරිකයකු වූ ඇයගේ සැමියා 07 වැනිදා පෞද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට ගොස් තිබේ.

මෙම සිද්ධිය වූ දින ඇගේ පුතා නිවසේ සිට ඇත. මේ දිනවල පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවකු වූ ඔහු නිවසේ පාඩම් කරමින් සිටිය දී එම ගුරුවරිය නිවසේ පුටුවක් රැගෙන එම මහල් නිවාස සංකීර්ණයේ 8 වැනි මහලට ගොස් තබා එයට නැඟ ජනේලයකින් පැන ඇතැයි මූලික විමර්ශනවල දී හෙළිවූ බව ද පොලිසිය කියයි.

අපොස උසස් පෙළ විභාගය ලියන දරුවා සිය මවගේ වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටින බවත්, ඔහුගේ සිත හදා ඊයේ (09දා) දිනයේ පැවැති අපොස උසස් පෙළ විභාගය සඳහා සහභාගි කරවූ බව ද පොලිසිය පවසයි.

දිවි නසාගත් ගුරුවරිය මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගන්නා තැනැත්තියක බව හෙළිවූ බවද පොලිසිය කියයි.

දිවි නසාගත් ගුරුවරිය බිම වැටී මියගොස් සිටි ස්ථානයට පැමිණි කළුබෝවිල දකුණ කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක ජානක කොඩිකාර මහතා පරීක්‍ෂණ කටයුතු කළේය.

මේ පිළිබඳව වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුභාෂ් කහඳවල මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංගන ද සිල්වා මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් සැරයන් බණ්ඩාර (36228), කාන්තා පොලිස් කොස්තාපල් සචිනි (12038) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment