කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙන් කෝටි 1 1/2ක යකඩ සොරා ගත් 22ක් මාට්ටු

125

දැනට වසා දමා ඇති යාපනයේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ගොඩ ගසා තිබූ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා යකඩ තොගයක් සොරකම් කළ පුද්ගලයන් විසි දෙදෙනකු කන්කසන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙන් කෝටි 1 1/2ක යකඩ සොරා ගත් 22ක් මාට්ටු

සිමෙන්ති කම්හලේ පාලන නිලධාරියකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය සිදු කළ පරීක්ෂණයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සොරා ගත් යකඩ පිටස්තර ව්‍යාපාරිකයකුට අලෙවි කොට ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. සැකකරුවන් විසිදෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කන්කසන්තුරේ පොලිසිය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය මහතා පවසන්නේ මේ වන විට එම සිමෙන්ති කම්හලේ තිබූ යකඩවලින් කෝටි 22කට වඩා වැඩි වටිනාකමකින් යුත් යකඩ හොරුන් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි.

එම සිමෙන්ති කම්හලට සපයා ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම නිසාත් මේ දිනවල වෙළෙඳ පළ වටිනාකම අනුව යාපනයෙන්ම යකඩ කිලෝවක් රුපියල් 100 බැගින් අලෙවි කිරීමට හැකියාව තිබීමත් නිසා කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ වසා දමා ඇති කොටසේ යකඩ සොරකම් වැඩි වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment