හොඳ ලී පාට නැත එහෙත් පාඨලී ගේ හොඳ ඇත

1755

වාමාංශික දේශපාලනය, උග්‍ර වාමාංශික දේශපාලනය, දක්ෂිණාංශික දේශපාලනය, අන්ත දක්ෂිණාංශික දේශපාලනය සහ ආගමික දේශපාලනය යන සියල්ලම try කර බැලූ පළපුරුදු දේශපාලනඥයකු වන පාඨලී චම්පික රණවක ගේ නූතන සමාජ කියවීම ඉතා සාරවත්ය. මේ බව නිරූපණය වන ප්‍රකාශයක් ඔහු පාර්ලිමේන්තුවේදී කර ඇත. කතුවැකි එකක් නොව දහයක් පමණ ලිවීමට අවශ්‍ය බඩු මේ කතාවේ තිබේ. එහෙත් අප සතුව ඇති සීමිත ඉඩකඩ ගැන සලකා ඔහුගේ කතාවෙන් තෝරාගත් කොටස් කිහිපයක් සාකච්ඡා කිරීමට අපි අපේක්ෂා කරමු.

පූර්ණ මිනිසකු ගොඩනැඟීම සඳහා සංස්කෘතියත්, ආගමත් අවශ්‍ය නමුදු ආගමික අයිතිය තිබෙන්නේ මානව අයිතියට පහළින් බව පාඨලී චම්පික රණවක සිය කතාවේදී සඳහන් කර ඇත. මෙය විද්‍යාත්මක තර්කයක් ලෙස බැලුවද ඉතා වැදගත් සත්‍යයකි. මුලින්ම පහළ වුණේ මිනිසාය. කැලෑවල් පුරා හෙළුවැල්ලෙන් දුවමින් සතුන් මරාගෙන අමුවෙන් කෑ ආදිකල්පික මිනිසුන්ට ආගමක් තිබුණේ නැත. දෙවියන් නමැති සාධකය ප්‍රාදුර්භූත වන්නේ මිනිසා ගින්දර සොයාගැනීමෙන් පසුවය. ඒ නිසා දෙවියන්ගේ නිර්මාපකයා වශයෙන් මනුෂ්‍යයාට විශාල වැදගත්කමක් හිමිවෙයි. එසේ නම් දෙවියන්ගේ දේව අයිතියට ඉහළින් මනුෂ්‍යයන්ගේ මානව අයිතිය පිහිටයි. මේ බව තේරුම් නොගත් ජන කොට්ඨාස එදත් ලෝකයේ සිටියහ. අදත් ලෝකයේ සිටිති. උදාහරණයක් ලෙස අල්කයිඩා, අයි.එස්.අයි.එස් වැනි සංවිධාන මානව හිමිකම්වලට ඉහළින් ඇසට නොපෙනෙන දෙවියන් තබති. ඔවුන් දෙවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ඉතා කෲර ලෙස මනුෂ්‍ය ඝාතනවල යෙදෙති. ලොකුම පුදුමය නම් උසස් විශ්වවිද්‍යාලවලින් උගෙන, සමාජය සම්බන්ධයෙන් විද්‍යාත්මක විග්‍රහයන් කළ හැකි මහාචාර්යවරුන් පවා මෙවැනි සංවිධානවල සිටීමය. මෙයට අවුරුදු 40 ට පෙර අයි.එස්.අයි.එස්. හෝ අල්කයිඩා සංවිධාන තිබුණේ නැත. එය ජංගම දුරකථනය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පැවති අවධියයි. මේ කාලයේදී ලෙබනනයේ ක්‍රියාත්මක වූ අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක උසස් සුදුසුකම් ඇති රසායන විද්‍යාඥයෙක් වැඩ කළේය. ඔහු Engineer නමැති සංකේත නාමයෙන් හඳුන්වන ලදී. ඔරලෝසු බැටරියක් තරම් කුඩා බෝම්බයක් ජංගම දුරකථනවලට සෙට්කර එම ජංගම දුරකථනය පාවිච්චි කරන විරුද්ධවාදියා මැරීමට ඔහු දැන සිටියේය. ජංගම දුරකථනයේ අයිතිකරුට ඇමතුමක් එන විට, ඔහු එම ඇමතුමට උත්තර දුන්නොත් බෝම්බය පිපිරූ අතර එවිට හක්ක පටස් කෑවාක් මෙන් ඔහුගේ යටි හක්ක සම්පූර්ණයෙන්ම ගැලවී ගියේය. ඒ කාලයේ Drone තාක්ෂණය නැත. එසේම සතුරාගේ ජාන අනුක්‍රමය හඳුනාගෙන ඒ මත යැපෙමින් දුරස්ථව සිට පහරදීමේ මිසයිල තාක්ෂණයක් එකල තිබුණේද නැත. මේ නිසා Engineer මරාදමන ලද්දේ ඉතා අමාරුවෙනි. මේ Engineer බිහිවන්නේ මිනිස් අයිතිවාසිකම් නොව දෙවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිසය.

මේ රටේ භික්ෂු පරපුර ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතින ආකාරයද පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී විස්තර කළේය. ඔහු කියන පරිදි මෑතක පටන් හැම අවුරුද්දකම භික්ෂුන් වහන්සේ දෙදහසක් පමණ සිවුරු හැර යති. භික්ෂුන් වහන්සේ සිවුරක් පොරවාගෙන පන්සලට වී දානමානාදිය වළඳා චූන් එකේ සිටින බවට පිළිගැනීමක් මේ රටේ ජනතාව අතර තිබේ. එහෙත් භික්ෂු ජීවිතය ගිහි ජීවිතයට වඩා ඉතා දුෂ්කරය. කොළඹ සහ නුවර තිබෙන සරු පන්සල්වලට කජු මාළුව සහ එළු මස් සහිතව දාන මානාදිය ලැබුණත් දුර බැහැර තිබෙන පන්සල් බොහොමයකට දානය තබා ප්ලේන් ටී එකක්වත් නොලැබේ. සමහර පළාත්වල කුඹුරු වැඩ කිරීමට සිදුව ඇත්තේ භික්ෂුන් වහන්සේටය. උදැල්ලක් ගෙන පොළොව කෙටීම භික්ෂුවකට අකැපය. එහෙත් ලොකු හාමුදුරුවන් කුඹුරු වැඩ නොකොළොත් පුංචි හාමුදුරුවන්ට දානය නැත. කොළඹින් දුර බැහැර පන්සල් හුඟ හරියක ලොකු හාමුදුරුවරු තාත්තාගේ පාට් එක රඟ දක්වති. භික්ෂු සමාජයේ පැවැත්ම ආර්ථික අර්බුදයත් සමග ඉතා දරුණු තර්ජනයකට මුහුණ දී තිබේ. භික්ෂු සමාජය රැකගත හැක්කේ මිනිස් සමාජය රැකුණොත් පමණි. ඒ සඳහා ආගමික අයිතියට ඉහළින් මිනිස් අයිතිය තිබිය යුතුමය.

පාඨලී චම්පික රණවක ඊළඟට කියන්නේ මේ රටේ කාන්තා අයිතිය ගැන කතාකරන අය ගැනය. ඒ අය එසේ කතාකරන අතර රට පුරා මසාජ් ක්ලිනික් හෙවත් ිච් ව්‍යාප්ත වුණ හැටි ඔහු පෙන්වා දෙයි. මේ මසාජ් ක්ලිනික් වැඩිහරියක සිටින්නේ කඩාවැටුණු ඇඟලුම් කර්මාන්තය සහ ආර්ථික අර්බුදය නිසා වැසීගිය ආයතනවල සේවය කර පාරට වැටුණු තරුණියන්ය. ඔවුන් කොළඹ සහ වෙනත් නගරවල තිබෙන ස්පා වලදී සල්ලාල පිරිමින් අතින් මසාජ් වන බවක් දුර බැහැර පිහිටි ඔවුන්ගේ ගෙවල්වල අය නොදනිති. ඇතැම් තරුණියන් කොළඹදී ඇඟ විකුණා උපයන සල්ලි වලින් මුළු පවුලක් නඩත්තු කරනු ලැබේ. ස්පාවල සිටින තරුණියන් සහ ගණිකා නිවාසවල සිටින තරුණියන් මාසිකව අති විශාල මුදලක් උපයති. එහෙත් ඉතා සුළු කලක් තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී හෝ සමාජ රෝග වැළඳී හෝ ඒ දෙකටම එකවර ගොදුරු වී හෝ ඔවුහු මිය යති. පාඨලී ගේ කතාව ඉතා වැදගත් කරුණු රාශියක් ඉතා පුළුල් ලෙස සංවාදයට ලක්කළ දේශනයකි. අපේ ඇතැම් දේශපාලන ගොබ්බයන්ට මේ කතා තේරෙන්නේවත් නැත. පාට – ලී හොඳ නැත. එහෙත් පාඨලී හොඳ ය.

advertistmentadvertistment
advertistmentadvertistment