ඇඳුම් අලෙවි කරන මුවාවෙන් ඇවිත් ගවයන් මරා මස් කොළඹට රැගෙන යන සැක තුනක් දැලේ

110

නිමි ඇඳුම් අලෙවි කරන ජංගම වෙළෙඳුන් ලෙස පෙනී සිටිමින් දිගු කාලයක සිට පන්නල ඇතුඵ දිවයිනේ විවිධ ප්‍රදේශ රැසක ගවයන් ගාල්කර ඇති ස්ථානවලින් බැහැරට ගෙන ඒ ආසන්නයේදීම ඝාතනය කර එම සතුන්ගේ මස් ටික කපාගෙන කොළඹට රැගෙන එන මහා පරිමාණයේ මිලේච්ඡ ජාවාරමක යෙදුණු බවට සැක කෙරෙන පුද්ගලයින් 03 ක් මස් ප්‍රවාහනයට යොදාගත් බවට පැවසෙන වෑන් රථයක් පිහි සහ ලේ තැවරුණ ඇඳුම් කිහිපයක් සමග පන්නල නගරයේ දී අත්අඩංගුවට ගත්බව පන්නල පොලිසිය කියයි.

මෙම සැකකටයුතු වෑන් රථය නගරයේ සුපිරි වෙළෙඳ සැලක් අසල දිඟු වේලාවක් නවතා තිබෙණු දැකීමත් සමග සැකසිතී රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් රථය පරීක්ෂා කර ඇති අතර එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයන් පොලිස් නිලධාරීන් වෙත රුපියල් පහළොස් දහසක අල්ලසක් ලබා දී පලායෑමට උත්සාහ කිරීමත් සමග එය ප්‍රතික්ෂේප කර මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දිනකට රුපියල් පන්දහස බැගින් වූ කුලීපදනම මත ලබාගෙන ඇති මෙම වෑන් රථය සමග සැකකරුවන් පොලිසිය වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබී විවිධ ප්‍රමාණයේ ගව ඝාතනවලට යොදාගන්නා බවට සැකකෙරෙන පිහි 10ක් කම්බි කපන අඬුවක්, පිහි මුවහත් කිරීමට යොදාගන්නා ගිනි ගලක්, මස් ඇසුරුම් සඳහා යොදාගන්නා ඉටි කොල රෝල් 03ක්, පෝර උර 15ක්, ගව ලේ තැවරුණ රෙදි සහ නිමිඇඳුම් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් නිට්ටඹුව කහටෝවිට තලයිමන්නාර සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29 33 හා 44 වයසේ පසුවන්නන් බවත් මොවුන් විවිධ ප්‍රදේශවලට දහවල් කාලයේ ගොස් ගවයන් බැඳ සිටින ප්‍රදේශ නිරීක්ෂණය කර රාත්‍රී කාලයේ ගොස් ඵම ගවයන් මරා අවයව එම ස්ථානයේම දමා මස් රැගෙන යන බවත් එසේ ගෙනයන මස් පෑලියගොඩ සහ දෙමටගොඩ යන ප්‍රදේශවල ගවමස් වෙළෙඳුන් දෙදෙනෙකුට මස් කිලෝවක් රුපියල් 1200 සහ 1500ත් අතර මිලකට අලෙවි කර ඇති බවට පොලිස් පරීක්ෂණවල දී අනාවරණය කරගෙන ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගිරිඋල්ල පන්නල ඇරෑපොළ, දුම්මලසූරිය, හෙට්ටිපොළ, නාරම්මල, වාරියපොළ ඇතුඵ පොලිස් වසම් 13කත් දඹුල්ල මැල්සිරිපුර යන ප්‍රදේශවලත් මෙසේ ගව සොරකම් සිදුකර ඇති අතර මොවුන් මසකට ගවයන් 05ක් පමණ ඝාතනය කර මස් අලෙවිකරන බවට ද සැකකරුවන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව ද පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ මස 12 වැනි දින දක්වා රැඳවුම් නියෝගමත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සියලු නඩු භාණ්ඩ සමග ඉදිරිපත් කිරීමට නියමිතයි.

කුලියාපිටිය කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නෙරංජ අබේවර්ධන සහකාර පොලිස් අධිකාරී දිස්ත්‍රික් 03 අතුල උදයකුමාර යන මහ්වරුන්ගේ අධීක්ෂණය යටතේ පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක, පොලිස් සැරයන්වරුන් වන (42239) සමරතුංග (63173) වසන්ත පොලිස් කොස්තාපල්වරුන් වන (31001) වසන්ත (72069) මධුවන්ත යන නිලධාරීහූ මෙම වැටලීම සිදුකළහ.

සඳලංකාව – ධම්මික රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment